ලූක් 20:1-47

  • යේසුස් දේවල් කරන්නේ කාගේ අවසරෙන්ද කියලා ප්‍රශ්න කරයි (1-8)

  • මිනී මරපු වගාකරුවන් ගැන උදාහරණය (9-19)

  • දෙවියන් සහ සීසර් (20-26)

  • නැවත නැඟිටීම ගැන අහපු ප්‍රශ්නය (27-40)

  • ක්‍රිස්තුස් දාවිත්ගේ පුතාද? (41-44)

  • නීතිය පිටපත් කරන අය ගැන අනතුරු අඟවයි (45-47)

20  දවසක් යේසුස් දේවමාලිගාවේ උගන්වමින් සහ ශුභාරංචිය ගැන කියමින් ඉද්දී නායක පූජකයනුයි, නීතිය පිටපත් කරන අයයි, වැඩිමහල්ලෝයි ඔහු ළඟට ඇවිල්ලා,  මෙහෙම ඇහුවා. “මේ දේවල් කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද? කවුද ඔයාට මේවා කරන්න අවසර දුන්නේ?”+  එතකොට යේසුස් මෙහෙම කිව්වා. “මමත් ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලා ඒකට උත්තර දෙන්න.  යොහන් මිනිස්සුන්ව බව්තීස්ම කළේ දෙවියන්ගේ* අවසරයෙන්ද නැත්නම් මිනිස්සුන්ගේ අවසරයෙන්ද?”  එතකොට එයාලා මෙහෙම කතා වුණා. “අපි ‘දෙවියන්ගේ අවසරයෙන්’ කියලා කිව්වොත් එයා අහයි ‘එහෙනම් ඇයි ඔයාලා යොහන්ව විශ්වාස කළේ නැත්තේ’ කියලා.  ඒත් අපි ‘මිනිස්සුන්ගේ අවසරයෙන්’ කියලා කිව්වොත් සෙනඟ අපිට ගල් ගහයි. මොකද යොහන් අනාගතවක්තෘවරයෙක් කියලා එයාලා තදින්ම විශ්වාස කරනවා.”+  ඉතින් එයාලා කිව්වා, ඒකට උත්තරේ දන්නේ නැහැ කියලා.  එතකොට යේසුස් මෙහෙම කිව්වා. “එහෙනම් මං මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියලා මාත් ඔයාලට කියන්නේ නැහැ.”  ඊටපස්සේ ඔහු සෙනඟට මේ උදාහරණය කිව්වා. “එක මිනිසෙක් මිදිවත්තක් වවලා+ වගා කරන අයට ඒක බද්දට දුන්නා. ඊටපස්සේ එයා වෙන රටකට ගියා. එයා එහේ සෑහෙන කාලයක් හිටියා.+ 10  පලදාව නෙළන කාලය ආවාම එයා පලදාවෙන් කොටසක් ලබාගන්න වත්ත බද්දට දීපු අය ළඟට දාසයෙක්ව යැව්වා. ඒත් එයාලා ඒ දාසයාව අල්ලගෙන එයාට හොඳටම ගහලා එයාව හිස් අතින් යැව්වා.+ 11  පස්සේ අයිතිකරු තවත් දාසයෙක්ව එයාලා ළඟට යැව්වා. එයාලා ඒ දාසයාටත් හොඳටම ගහලා එයාට ලැජ්ජා* කළා. එයාලා එයාවත් යැව්වේ හිස් අතින්. 12  එයා තුන්වෙනි වතාවටත් දාසයෙක්ව යැව්වා. එයාලා ඒ දාසයාටත් තුවාල කරලා එයාව එළියට ඇදලා දැම්මා. 13  ඒක ආරංචි වුණාම මිදිවත්තේ අයිතිකරු මෙහෙම හිතුවා. ‘මං දැන් මොනවාද කරන්නේ? මං ගොඩක් ආදරේ කරන මගේ පුතාව මං එයාලා ළඟට යවනවා.+ සමහරවිට එයාලා මගේ පුතාට ගරු කරයි.’ 14  ඒත් මිදිවත්ත වගා කරපු අය පුතාව දැක්කාම මෙහෙම කතා වුණා. ‘මෙයා තමයි මිදිවත්තේ උරුමක්කාරයා. අපි කට්ටිය එකතු වෙලා මෙයාව මරලා දාමු. එතකොට එයාට ලැබෙන උරුමය අපිට අයිති කරගන්න පුළුවන්.’ 15  ඉතින් එයාලා පුතාව අල්ලගෙන එයාව මිදිවත්තෙන් එළියට අරන් ගිහින් මරලා දැම්මා.+ මිදිවත්තේ අයිතිකරු ඒ අයට මොනවා කරයිද? 16  එයා ඇවිත් ඒ කට්ටියව මරලා දාලා මිදිවත්ත වෙන කට්ටියකට භාර දෙයි.” ඒක ඇහුවාම එයාලා මෙහෙම කිව්වා. “ඒ වගේ දෙයක් නම් කවදාවත් වෙන්න එපා.” 17  ඒත් යේසුස් එයාලා දිහාම බලාගෙන මෙහෙම ඇහුවා. “එහෙනම් ‘ඉදි කරන්නන් ඉවතට දාපු ගල දැන් ප්‍රධාන ගල* වෙලා’+ කියලා ලියලා තියෙන දෙයින් අදහස් කරන්නේ මොකක්ද? 18  ඒ ගල උඩට වැටෙන හැමෝටම දරුණු විදිහට තුවාල වෙයි.+ ඒ වගේම ඒ ගල කාගේ හරි ඇඟ උඩට වැටුණොත් ඒ කෙනා සුනුවිසුනු වෙලා යයි.” 19  යේසුස් ඒ උදාහරණේ කිව්වේ එයාලව මනසේ තියාගෙන කියලා නීතිය පිටපත් කරන අයයි, නායක පූජකයෝයි තේරුම්ගත්තා. ඒ නිසා එයාලා හැදුවේ ඒ වෙලාවෙම ඔහුව අල්ලගන්න. ඒත් සෙනඟට බය වුණ නිසා ඒ දේ කරගන්න එයාලට බැරි වුණා.+ 20  ඉතින් එයාලා යේසුස් කරන දේවල් දිහා හොඳට බලන් හිටියා. ඊටපස්සේ එයාලා හොරෙන්ම මිනිස්සු කීපදෙනෙක්ට සල්ලි දීලා යේසුස් ළඟට යැව්වා. එයාලා ඒ මිනිස්සුන්ට කිව්වා ධර්මිෂ්ඨ අය වගේ රඟපාලා යේසුස් කියන දේක වරදක් අල්ලගන්න කියලා.+ එයාලට ඕනෙ වුණේ එහෙම කරලා යේසුස්ව බලධාරීන්ට සහ ආණ්ඩුකාරයාට අල්ලලා දෙන්නයි. 21  ඉතින් ඒ මිනිස්සු යේසුස් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ගුරුතුමනි, අපි දන්නවා ඔබ කියන දේවල්, උගන්වන දේවල් හරියි කියලා. ඔබ හැමෝටම එක වගේ සලකනවා කියලත් අපි දන්නවා. දෙවියන් ගැන ඔබ උගන්වන්නෙත් සත්‍ය දේවල්. 22  ඉතින් අපිට කියන්න සීසර්ට බදු ගෙවන එක හරිද, වැරදිද?” 23  ඒත් එයාලාගේ කපටිකම තේරුම් අරන් යේසුස් මෙහෙම කිව්වා. 24  “මට ඩිනාරි* කාසියක් පෙන්නන්න. මේකේ තියෙන්නේ කාගේ රූපේද? කාගේ නමද?” “සීසර්ගේ” කියලා එයාලා උත්තර දුන්නා. 25  “එහෙනම් සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න.+ දෙවියන්ට අයිති දේ දෙවියන්ට දෙන්න”+ කියලා යේසුස් එයාලට කිව්වා. 26  ඉතින් සෙනඟ ඉස්සරහා යේසුස්ගේ කටින් වරදක් අල්ලගන්න එයාලා උත්සාහ කළත් එයාලට ඒක කරගන්න බැරි වුණා. ඇත්තටම යේසුස් දීපු උත්තරේ ගැන එයාලා පුදුම වෙලා ඔහුගෙන් වෙන කිසිම දෙයක් අහන්න ගියේ නැහැ. 27  ඊටපස්සේ නැවත නැඟිටීමක් නැහැ කියලා කියන සද්දුසිවරු* පිරිසක්+ ඔහු ළඟට ඇවිත් මෙහෙම කිව්වා.+ 28  “ගුරුතුමනි, ‘දරුවෝ නැතුව කෙනෙක් මැරුණොත් එයාගේ සහෝදරයා එයාගේ බිරිඳව විවාහ කරගන්න ඕනෙ කියලත් එයාලට ලැබෙන දරුවන්ව මැරුණ සහෝදරයාගේ දරුවන් විදිහට සලකන්න ඕනෙ කියලත්’ මෝසෙස් ලියලා තියෙනවා.+ 29  එක පවුලක අයියලා මල්ලිලා හත්දෙනෙක් හිටියා. වැඩිමලා විවාහ වුණා. ඒත් එයාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න කලින් එයා මැරුණා. 30  ඊටපස්සේ දෙවෙනියා ඒ කාන්තාවව විවාහ කරගත්තත් එයාත් දරුවන් ලැබෙන්න කලින් මැරුණා. 31  තුන්වෙනියාත් ඒ කාන්තාවව විවාහ කරගත්තා. එයාත් මැරුණා. ඔය විදිහට හත්දෙනාම එයාව විවාහ කරගත්තත් දරුවන් නැතුව එයාලා මැරුණා. 32  අන්තිමට ඒ කාන්තාවත් මැරුණා. 33  ඉතින් නැවත නැඟිට්ටාම ඒ කාන්තාව කාගේ බිරිඳ වෙයිද? මොකද අයියලා මල්ලිලා හත්දෙනාම එයාව විවාහ කරගත්තානේ.” 34  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මේ සමාජයේ* ජීවත් වෙන අය නම් විවාහ වෙනවා. 35  ඒත් ඉස්සරහට එන කාලයේදී* ජීවත් වෙන්න වගේම නැවත නැඟිටීමක් ලබන්න සුදුසුකම් ලබන අය විවාහ වෙන්නෙත් නැහැ, විවාහ කරලා දෙන්නෙත් නැහැ.+ 36  ඇත්තටම එයාලා ආයෙත් මැරෙන්නෙත් නැහැ. මොකද එයාලා දේවදූතයන් වගේ වෙනවා. ඒ වගේම නැවත නැඟිටීමක් ලබන නිසා එයාලා දෙවියන්ගේ දරුවන් වෙනවා. 37  මැරුණ අයව ආයෙත් නැඟිට්ටවනවා කියලා කටු පඳුර ගැන සිද්ධිය ලියද්දී මෝසෙසුත් පැහැදිලි කළා. ඒකෙදී එයා යෙහෝවාව* හැඳින්නුවේ ‘ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත් දෙවියන්’ විදිහටයි.+ 38  ඔහු මිය ගිය අයගේ දෙවියන් නෙමෙයි ජීවත් වෙන අයගේ දෙවියන්. මොකද එයාලා මැරිලා හිටියත් දෙවියන් එයාලව සලකන්නේ ජීවත් වෙන අය හැටියටයි.”+ 39  එතකොට නීතිය පිටපත් කරන අය කීපදෙනෙක් කිව්වා “ගුරුතුමනි, ඔබ දීපු උත්තරේ හරි” කියලා. 40  ඉතින් ඔහුගෙන් තව එක ප්‍රශ්නයක්වත් අහන්න කාටවත් ධෛර්යයක් තිබුණේ නැහැ. 41  ඊටපස්සේ යේසුස් එයාලාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. “ක්‍රිස්තුස් දාවිත්ගේ පුතා කියලා මිනිස්සු කියන්නේ ඇයි?+ 42  මොකද ගීතාවලිය පොතේ දාවිත්ම මෙහෙම කියනවා. ‘යෙහෝවා* දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා. “මගේ දකුණු පැත්තේ ඉඳගන්න. 43  මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියන කල් එහෙම ඉන්න.”’+ 44  දාවිත් ඔහුට ‘ස්වාමීන්’ කියලා කියනවා නම් ඔහු දාවිත්ගේ පුතා වෙන්නේ කොහොමද?” 45  ඊටපස්සේ හැමෝම ඔහු කියන දේවල් අහගෙන ඉද්දී ඔහු තමන්ගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. 46  “නීතිය පිටපත් කරන අයගෙන් පරෙස්සම් වෙන්න. දිග ඇඳුම් ඇඳගෙන එහෙට මෙහෙට ඇවිදින්නත් වෙළඳපොළේදී හැමෝම එයාලට ලොකු ගෞරවයක් දීලා ආචාර කරනවාටත් එයාලා හරිම කැමතියි. එයාලට ඕනෙ සිනගෝගවල ඉස්සරහින්ම තියෙන* ආසනවල ඉඳගන්න. උත්සවවලට ගියාම විශේෂ අමුත්තන්ට වෙන් කරපු ආසනවල ඉඳගන්නයි එයාලා ආස.+ 47  එයාලා වැන්දඹුවන්ගේ ගෙවල් දොරවල් උදුරගන්නවා. හැමෝටම පේන්න දිග යාච්ඤා කරනවා. එයාලට ලැබෙන්නේ අනිත් අයට වඩා බරපතළ විනිශ්චයක්.”

පාදසටහන්

මූ.අ., “ස්වර්ගයේ.”
හෝ, “නින්දා.”
මූ.අ., “ඉහළින්ම තියෙන ප්‍රධාන ගල.”
උප. B14 බලන්න.
මූ.අ., “ඒ සමාජ ක්‍රමයේදී.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
හෝ, “හොඳම.”