ලූක් 21:1-38

  • දුප්පත් වැන්දඹුව දාපු කාසි දෙක (1-4)

  • ඉස්සරහට වෙන්න යන දේ ගැන දුන්න ලකුණ (5-36)

    • යුද්ධ, දරුණු භූමිකම්පා, වසංගත, කෑම හිඟකම් (10, 11)

    • යෙරුසලම වටේ කඳවුරු බඳියි (20)

    • ජාතීන් වෙනුවෙන් නියම කරපු කාලය (24)

    • මනුෂ්‍ය පුත්‍රයා එන විදිහ (27)

    • අත්තික්කා ගහ ගැන උදාහරණය (29-33)

    • අවදියෙන් ඉන්න (34-36)

  • යේසුස් දේවමාලිගාවේ උගන්වයි (37, 38)

21  යේසුස් වටපිට බලද්දී ඔහු දැක්කා පොහොසත් අය මුදල් බඳුන්වලට එයාලාගේ පරිත්‍යාග දානවා.+  ඔය අතරේ දුප්පත් වැන්දඹුවක් ඇවිත් හරිම සුළු වටිනාකමක් තියෙන පොඩි කාසි දෙකක්* මුදල් බඳුනට දැම්මා.+  ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ මේ දුප්පත් වැන්දඹුව දාපු සල්ලි අනිත් හැමෝම දාපු සල්ලිවලට වඩා ගොඩක් වටිනවා.+  මොකද ඒ හැමෝම පරිත්‍යාග කළේ එයාලට වැඩිපුර තිබුණ දේ. ඒත් මේ වැන්දඹුව දැම්මේ එයාට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබුණ දේ. එයාට තිබුණ ඔක්කොම එයා දැම්මා.”+  පස්සේ වෙලාවක සමහරු දේවමාලිගාව ගැනත් ඒක වටිනා ගල්වලින් සහ දෙවියන්ට කැප කරපු දේවලින් ලස්සන කරලා තියෙන විදිහ ගැනත් කතා කරන්න පටන්ගත්තා.+  එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ඔයාලට පේන මේ හැම දේම දවසක නැති වෙනවා. ගලක් උඩ තව ගලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ හැම ගලක්ම බිමට ඇදලා දානවා.”+  එයාලා ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ගුරුතුමනි, ඒ දේවල් වෙන්නේ කවදාද කියලා අපිට කියන්න. ඒ දේවල් සිද්ධ වෙන කාලය ළං වෙලා කියලා දැනගන්න තියෙන ලකුණ මොකක්ද?”+  ඔහු මෙහෙම කිව්වා. “කාටවත් ඔයාලව රවට්ටන්න ඉඩ දෙන්න එපා.+ මොකද හුඟදෙනෙක් ඇවිත් මගේ නම පාවිච්චි කරලා ‘මම ක්‍රිස්තුස්’ කියලත් ‘නියමිත කාලය ළං වෙලා’ කියලත් කියයි. එයාලා පස්සේ යන්න එපා.+  ඒ වගේම යුද්ධ ගැනත් නොසන්සුන්කාරී දේවල්* ගැනත් ඔයාලට ආරංචි වෙයි. ඒත් බය වෙන්න එපා. මොකද ඒ දේවල් මුලින්ම සිද්ධ වෙන්න ඕනේ. ඒත් අවසානය ඒ එක්කම එන්නේ නැහැ.”+ 10  ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “ජාතියක් ජාතියකට විරුද්ධවත්+ රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත්+ සටන් කරයි. 11  දරුණු භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම හැම තැනකම වගේ වසංගත සහ කෑම හිඟකම් ඇති වෙයි.+ මිනිස්සු හුඟක් බය හිතෙන දේවල් දකියි. අහසේ* පුදුම හිතෙන ලකුණුත් දකින්න ලැබෙයි. 12  “ඒත් ඒ හැම දෙයක්ම වෙන්න කලින් මිනිස්සු ඔයාලට පීඩා කරයි.+ එයාලා ඔයාලව අල්ලලා සිනගෝගවලටත් සිරගෙවල්වලටත් භාර දෙයි. ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට ඔයාලව අරන් යයි.+ 13  ඒකෙන් ඔයාලට සාක්ෂි දරන්න අවස්ථාවක් ලැබෙයි. 14  ඉතින් ඔයාලා නිදොස් කියලා ඔප්පු කරන්නේ කොහොමද කියලා කලින්ම හිතහිත ඉන්න එපා. එහෙම කරන්නේ නැහැ කියලා හිතින් අධිෂ්ඨාන කරගන්න.+ 15  මොකද ඒ අවස්ථාවේදී කියන්න ඕනෙ මොනවාද කියලා මං ඔයාලට කියලා දෙනවා. ඔයාලට ඕනෙ කරන ප්‍රඥාවත් මං දෙනවා. ඒ නිසා විරුද්ධකාරයන් හැමෝම එකතු වෙලා ඔයාලට විරුද්ධ වුණත් ඔයාලා එක්ක වාද කරලා දිනන්න එයාලට බැරි වෙනවා.+ 16  ඒ වගේම දෙමාපියන්, සහෝදරයන්, නෑදෑයන් සහ යාළුවන් වුණත් ඔයාලව විරුද්ධකාරයන් අතට භාර දෙයි.* ඒ නිසා ඔයාලාගෙන් සමහර අයව මරලා දායි.+ 17  ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ 18  ඒත් ඔයාලාගේ එක කෙස්ගහකටවත් හානියක් වෙන්නේ නැහැ.+ 19  දිගටම විඳදරාගෙන විශ්වාසවන්තව හිටියොත් ඔයාලාගේ ජීවිත ගැලවෙයි.+ 20  “සේනාවන් ඇවිත් යෙරුසලම වටේට කඳවුරු බැඳගෙන ඉන්නවා+ දකිද්දී යෙරුසලමේ විනාශය ළං වෙලා කියලා තේරුම්ගන්න.+ 21  එහෙම වෙද්දී යුදයේ ඉන්න අය කඳුවලට පලා යන්න ඕනේ.+ යෙරුසලමේ ඉන්න අය එහෙන් පිට වෙලා යන්න ඕනේ. ගම්බද පළාත්වල ඉන්න අය නුවරට ඇතුල් නොවී ඉන්න ඕනේ. 22  මොකද ඒ දවස්වලදී දෙවියන් ඔහුගේ විනිශ්චය ගේනවා. එහෙම වෙන්නේ ලියලා තියෙන හැම දෙයක්ම ඉටු වෙන්න ඕනෙ නිසයි. 23  ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් ඒක කොච්චර අමාරු කාලයක් වෙයිද!+ මොකද දේශයේ ජීවත් වෙන අයට දරාගන්න අමාරු දුක් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දවස්වලදී දෙවියන් ඔහුගේ සෙනඟට දඬුවම් කරනවා. 24  මිනිස්සු එයාලව කඩුවෙන් මරලා දායි. හැම ජාතියකම අය එයාලව වහලුන් විදිහට අරන් යයි.+ ජාතීන් වෙනුවෙන් නියම කරලා තියෙන කාලය ඉවර වෙන කල් වෙනත් ජාතීන් යෙරුසලම පාගගෙන ඉඳියි.+ 25  “ඒ වගේම ඉර, හඳ සහ තාරකාවල ලකුණු දකින්න ලැබෙයි.+ මුහුද කැලඹිලා ඒකෙන් ලොකු ඝෝෂාවක් ඇති වෙන නිසා මොනවාද කරන්නේ කියලා හිතාගන්න බැරුව ජාතීන් ලොකු බයකුත් වේදනාවකුත් අද්දකියි. 26  අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි. ඒ නිසා ලෝකයට සිද්ධ වෙන්න යන දේවල් ගැන හිතහිත මිනිස්සු කලන්තේ දාන තරමටම බය වෙයි. 27  එතකොට මනුෂ්‍ය පුත්‍රයා+ ලොකු බලයක් සහ තේජසක් ඇතුව වලාකුළක එන විදිහ මිනිස්සු දකියි.+ 28  ඒත් ඒ දේවල් සිද්ධ වෙන්න පටන්ගත්තාම හිතට ධෛර්යය අරගෙන ඔයාලාගේ හිස ඔසවලා නැඟිටින්න. මොකද ඔයාලාගේ ගැලවීම ළඟයි.” 29  යේසුස් ඊළඟට එයාලට මේ උදාහරණය කිව්වා. “අත්තික්කා ගහ ගැනත් අනිත් ගස් ගැනත් හිතන්න.+ 30  ඒ ගස්වල දලු දාද්දී ඔයාලා දන්නවා ගිම්හානය ළඟයි කියලා. 31  ඒ වගේ, මේ දේවල් වෙනවා දකිද්දී දෙවියන්ගේ රාජ්‍යය ළඟයි කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්. 32  ඇත්තටම මම ඔයාලට කියන්නේ ඒ හැම දෙයක්ම වෙන කල් මේ පරම්පරාව කොහොමටවත් නැති වෙලා යන්නේ නැහැ.+ 33  අහසයි, පොළොවයි නැති වෙලා යයි. ඒත් මගේ වචන කවදාවත් නැති වෙලා යන්නේ නැහැ.+ 34  “ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න. එහෙම කළේ නැත්නම් අධික විදිහට කන බොන නිසා,+ එදිනෙදා ජීවිතයේ ඇති වෙන කරදර නිසා+ ඔයාලාගේ හිත් බර වෙන්න පුළුවන්. එතකොට හදිස්සියේම ඔයාලා හිතන්නේ නැති වෙලාවක ඒ දවස එයි. 35  කෙනෙක් හදිස්සියේ උගුලකට*+ අහු වෙනවා වගේ හිතන්නේ නැති වෙලාවක ඔයාලට ඒ දවසට මුහුණ දෙන්න වෙයි. මොකද පොළොවේ ඉන්න හැමෝටම අනිවාර්යයෙන්ම ඒ දවසට මුහුණ දෙන්න වෙනවා. 36  ඉතින් අවදියෙන් ඉන්න.+ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඒ හැම දේකින්ම බේරිලා මනුෂ්‍ය පුත්‍රයා ඉස්සරහා පෙනී ඉන්න+ ඔයාලට උදව් කරන්න කියලා නිතරම දෙවියන්ට කන්නලව් කරන්න.”+ 37  යේසුස් දවස පුරාම දේවමාලිගාවේ ඉගැන්නුවා. රෑට ඔහු ඔලීව කන්ද විදිහට හඳුන්වපු කන්දට ගිහින් එහේ තිබුණ තැනක නවාතැන් ගත්තා. 38  සෙනඟ හැමදාම උදේ ඔහු උගන්වන දේවල් අහන්න දේවමාලිගාවට ආවා.

පාදසටහන්

මූ.අ., “ලෙප්ටන් දෙකක්.” උප. B14 බලන්න.
හෝ, “කෝලහල; උද්ඝෝෂණ.”
මූ.අ., “ස්වර්ගයෙන්.”
හෝ, “මගේ නම දරන නිසා.”
හෝ, “ඔයාලට ද්‍රෝහි වෙයි.”
හෝ, “මගේ නම දරන නිසා.”
මූ.අ., “දැලකට.”