ලූක් 22:1-71

  • පූජකයන් යේසුස්ව මරලා දාන්න කුමන්ත්‍රණය කරයි (1-6)

  • අන්තිම පාස්කුව සමරන්න සූදානම් වෙයි (7-13)

  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි (14-20)

  • “මාව පාවලා දෙන කෙනා මාත් එක්කම මේ මේසයේ ඉඳගෙන ඉන්නවා” (21-23)

  • උසස්ම කෙනා කවුද කියන එක ගැන ලොකු වාදයක් ඇති වෙයි (24-27)

  • යේසුස් රාජ්‍යයක් වෙනුවෙන් ගිවිසුමක් ඇති කරගනියි (28-30)

  • යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා පේතෘස් කියන එක ගැන යේසුස් කලින්ම කියයි (31-34)

  • සූදානම් වෙලා යන එකේ වැදගත්කම; කඩු දෙකක් (35-38)

  • යේසුස් ඔලීව කන්දේදී කරපු යාච්ඤාව (39-46)

  • යේසුස්ව අත්අඩංගුවට ගනියි (47-53)

  • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියයි (54-62)

  • යේසුස්ට සමච්චල් කරයි (63-65)

  • මන්ත්‍රණ සභාව ඉස්සරහා කරපු නඩු විභාගය (66-71)

22  පාස්කු උත්සවය+ විදිහටත් හඳුන්වපු මුහුන් නොදැමූ රොටි උත්සවය පවත්වන කාලය ළං වෙලයි තිබුණේ.+  සෙනඟට බයෙන් හිටිය නිසා+ නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය යේසුස්ව මරලා දාන්න පුළුවන් හොඳ විදිහක් ගැන හිතහිත හිටියා.+  ඔය අතරේ දොළොස්දෙනාගෙන් කෙනෙක් වුණ යූදස් ඉස්කාරියොත්+ සාතන්ගේ බලපෑමට අහු වුණා.  ඉතින් එයා නායක පූජකයන්ව සහ දේවමාලිගාවේ ප්‍රධානීන්ව හම්බ වෙලා යේසුස්ව එයාලට පාවලා දෙන්න පුළුවන් විදිහක් ගැන කතා කරගත්තා.+  යූදස්ගේ අදහස අහලා එයාලා ගොඩක් සතුටු වෙලා යූදස්ට රිදී කාසි දෙන්න එකඟ වුණා.+  එයාලා දෙනවා කියපු ගාණට යූදස් කැමති වුණා. ඉතින් සෙනඟ නැති වෙලාවක යේසුස්ව පාවලා දෙන්න අවස්ථාවක් එන කල් යූදස් බලාගෙනයි හිටියේ.  පාස්කු පූජාව ඔප්පු කරන, මුහුන් නොදැමූ රොටි උත්සවය පවත්වන දවස ආවා.+  ඉතින් යේසුස් පේතෘස්ටයි, යොහන්ටයි කිව්වා “ඔයාලා ගිහින් අපිට පාස්කු කෑම වේල ලෑස්ති කරන්න” කියලා.+  එතකොට එයාලා ඔහුගෙන් ඇහුවා “පාස්කු කෑම වේල ගන්න අපි කොහෙද ලෑස්ති කරන්න ඕනේ” කියලා. 10  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා නගරෙට යද්දී වතුර පුරවන මැටි භාජනයක් අරගෙන යන මනුස්සයෙක්ව ඔයාලට හම්බ වෙයි. එයා පස්සෙන් ගිහින් එයා යන ගෙදරට ඇතුල් වෙන්න.+ 11  ගෙදර අයිතිකාරයාව හම්බ වෙලා මෙහෙම කියන්න. ‘ගුරුතුමා ඔයාගෙන් අහනවා “මගේ ගෝලයෝ එක්ක පාස්කුව සමරන්න පුළුවන් කාමරේ තියෙන්නේ කොහෙද” කියලා.’ 12  එතකොට එයා ඔයාලට ලොකු උඩුමහල් කාමරයක් පෙන්නයි. අපිට ඕනෙ කරන දේවල් ඒකේ තියෙනවා. අපිට පාස්කුව සමරන්න එතන ලෑස්ති කරන්න.” 13  ඉතින් එයාලා නගරයට ගියාම යේසුස් කියපු විදිහටම දේවල් වුණා. ඊටපස්සේ පාස්කුව සමරන්න ඕනෙ කරන හැම දෙයක්ම එයාලා ලෑස්ති කළා. 14  නියමිත වෙලාව ආවාම යේසුස් ඔහුගේ නියෝජිතයන් එක්ක මේසේ වටේට ඉඳගත්තා.+ 15  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “දුක් විඳින්න කලින් ඔයාලා එක්ක මේ පාස්කු කෑම වේල කන්න මං ගොඩක් කල් ඉඳන් බලාගෙනයි හිටියේ. 16  මොකද දෙවියන්ගේ රාජ්‍යයේදී හැම දෙයක්ම ඉටු වෙන කල් මම ආයෙත් පාස්කු කෑම වේල කන්නේ නැහැ.” 17  ඊටපස්සේ ඔහු නියෝජිතයෙක්ගෙන් කුසලානයක් අරන් දෙවියන්ට ස්තුති කරලා එයාලට මෙහෙම කිව්වා. “මේක අතින් අත යවන්න. 18  මොකද මං ඔයාලට කියන්නේ, දෙවියන්ගේ රාජ්‍යය එන කල් අදින් පස්සේ මම ආයෙත් වයින් බොන්නේ නැහැ.” 19  ඊටපස්සේ යේසුස් රොටියක් අරගෙන+ දෙවියන්ට ස්තුති කරලා, රොටිය කඩලා එයාලට දුන්නා. ඒක දෙන ගමන් ඔහු මෙහෙම කිව්වා. “මේකෙන් නියෝජනය වෙන්නේ මං ඔයාලා වෙනුවෙන් පූජා කරන්න යන+ මගේ ශරීරයයි.+ මාව සිහි කරන්න මේ දේ දිගටම කරන්න.”+ 20  පාස්කු කෑම වේල කෑවාට පස්සේ කරපු විදිහටම යේසුස් කුසලානය අරන් එයාලා අතට දීලා මෙහෙම කිව්වා. “මේ කුසලානයෙන් නියෝජනය වෙන්නේ අලුත් ගිවිසුමයි.+ ඒ ගිවිසුම ස්ථිර වෙන්නේ ඔයාලා වෙනුවෙන් වගුරුවන+ මගේ ලේවලින්.+ 21  “ඒත් බලන්න, මාව පාවලා දෙන කෙනා මාත් එක්කම මේ මේසයේ ඉඳගෙන ඉන්නවා.+ 22  ඇත්ත, කලින් කියලා තියෙන විදිහටම මනුෂ්‍ය පුත්‍රයා ඔයාලාගෙන් වෙන් වෙලා යනවා.+ ඒත් මනුෂ්‍ය පුත්‍රයාව පාවලා දෙන කෙනාට වෙන්නේ හරිම දරුණු දෙයක්.”+ 23  ඒක ඇහුවාම යේසුස් මේ කවුරු ගැනද කියන්නේ කියලා එයාලා කතා වෙන්න පටන්ගත්තා.+ 24  ඊටපස්සේ එයාලාගෙන් උසස්ම කෙනා කවුද කියන එක ගැන එයාලා අතරේ ලොකු වාදයක් ඇති වුණා.+ 25  ඒත් යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ජාතීන්ව පාලනය කරන රජවරු මිනිස්සුන්ව යටත් කරගෙන ඉන්නවා. ඒ වගේම මිනිස්සු උසස් තනතුරුවල ඉන්න අයට ගරුනම්බු දීලා කතා කරනවා.*+ 26  ඒත් ඔයාලා අතරේ එහෙම වෙන්න හොඳ නැහැ.+ ඔයාලා අතරේ ඉන්න උසස්ම කෙනා බාලම කෙනා වගේ වෙන්න ඕනේ.+ පෙරමුණ අරන් වැඩ කරන කෙනා ඔයාලාගේ සේවකයා වෙන්න ඕනේ. 27  උසස් කෙනා කවුද? කෑමට ඉඳගෙන ඉන්න කෙනාද නැත්නම් සේවය කරන කෙනාද? කෑමට ඉඳගෙන ඉන්න කෙනා නේද? ඒත් මම ඔයාලා එක්ක වැඩ කරන්නේ ඔයාලාගේ සේවකයා විදිහටයි.+ 28  “ඒත් මං දුෂ්කරතාවලට මුහුණ දෙද්දී+ මාව අත්හරින්නේ නැතුව මාත් එක්කම හිටියේ ඔයාලයි.+ 29  ඒ නිසා මගේ තාත්තා මාත් එක්ක රාජ්‍යයක් වෙනුවෙන් ගිවිසුමක් ඇති කරගත්තා+ වගේ මමත් දැන් ඔයාලා එක්ක රාජ්‍යයක් වෙනුවෙන් ගිවිසුමක් ඇති කරගන්නවා. 30  එතකොට ඔයාලට පුළුවන් වෙනවා මගේ රාජ්‍යයේ මගේම මේසයේ ඉඳගෙන කන්න බොන්න.+ ඒ වගේම සිංහාසනවල ඉඳගෙන+ ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 විනිශ්චය කරන්නත්+ ඔයාලට අවස්ථාව ලැබෙනවා. 31  “සීමොන්, සීමොන්, මං කියන දේ අහන්න. කෙනෙක් තිරිඟු පොළනවා* වගේ ඔයාලා හැමෝවම පරීක්ෂා කරන්න සාතන් ඔයාලව ඉල්ලලා තියෙනවා.+ 32  ඒත් ඔයාගේ විශ්වාසය දුර්වල වෙන්න ඉඩ දෙන්න එපා කියලා+ මම ඔයා වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරලා තියෙනවා. ඔයා ඔයාගේ විශ්වාසය ආයෙත් ශක්තිමත් කරගත්තාට පස්සේ ඇවිත් ඔයාගේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න.”+ 33  එතකොට පේතෘස් “ස්වාමීනි, ඔයා එක්ක හිරේට යන්න විතරක් නෙමෙයි ඔයා එක්ක මැරෙන්න වුණත් මම ලෑස්තියි”+ කියලා ඔහුට කිව්වා. 34  ඒත් යේසුස් මෙහෙම කිව්වා. “පේතෘස්, මං ඔයාට කියන්නේ කුකුළෙක් හඬලන්න කලින් ඔයා අදම මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක්ම කියනවා.”+ 35  ඔහු එයාලාගෙන් මෙහෙම ඇහුවා. “මුදල් පසුම්බියක්වත් කෑම මල්ලක්වත් පාවහන්වත් නැතුව මම ඔයාලව යැව්වත්+ ඔයාලට කිසිම දේකින් අඩුවක් තිබුණාද?” එයාලා කිව්වා “නැහැ” කියලා. 36  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඒත් දැන් මං ඔයාලට කියන්නේ ඔයාලට මුදල් පසුම්බියක්, කෑම මල්ලක් තියෙනවා නම් ඒවා අරන් යන්න. ඔයාලට කඩුවක් නැත්නම් පිට වස්ත්‍රය විකුණලා කඩුවක් ගන්න. 37  මොකද ‘වරදකරුවෙක් විදිහට ඔහුවත් ගණන් ගත්තා’+ කියලා මං ගැන ලියලා තියෙන දේ ඉටු වෙන්න ඕනේ. ඇත්තටම ඒ දේ ඉටු වෙනවා.”+ 38  එතකොට එයාලා කිව්වා “ස්වාමීනි, මෙන්න කඩු දෙකක්ම තියෙනවා” කියලා. ඔහු කිව්වා “ඒ ඇති” කියලා. 39  යේසුස් පිටත් වෙලා සුපුරුදු විදිහට ඔලීව කන්දට ගියා. ඔහුගේ පිටිපස්සෙන් ගෝලයොත් ආවා.+ 40  ඔහු එතනට ගියාම එයාලට මෙහෙම කිව්වා. “වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න නම් දිගටම යාච්ඤා කරන්න.”+ 41  ඊටපස්සේ ඔහු එයාලා හිටපු තැන ඉඳන් ටික දුරක් තනියම ඇවිදගෙන ගිහින්* දණින් වැටිලා යාච්ඤා කරන්න පටන්ගත්තා. 42  ඔහු මෙහෙම කිව්වා. “තාත්තේ, ඔයා කැමති නම් මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+ 43  එතකොට ස්වර්ගයෙන් දේවදූතයෙක් ඇවිත් ඔහුව ශක්තිමත් කළා.+ 44  ඒත් ඔහුගේ හිතට කොච්චර වේදනාවක් දැනුණාද කියනවා නම් ඔහු තව තවත් ඕනෑකමින් යාච්ඤා කළා.+ ඔහුගේ දහඩිය ලේ බින්දු වගේ පොළොවට වැටුණා. 45  ඔහු යාච්ඤා කළාට පස්සේ ආයෙත් ගෝලයන් හිටපු තැනට ගියා. හිතේ වේදනාව නිසා හෙම්බත් වෙලා හිටපු එයාලට නින්ද ගිහිනුයි තිබුණේ.+ 46  ඒ වෙලාවේ ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා නිදාගෙන ඉන්නේ ඇයි? වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න ඇහැරගෙන ඉඳලා දිගටම යාච්ඤා කරන්න.”+ 47  යේසුස් කතා කරකර ඉද්දීම එතනට ලොකු සෙනඟක් ආවා. එයාලව එතනට අරන් ඇවිත් තිබුණේ දොළොස්දෙනාගෙන් කෙනෙක් වුණ යූදස්. යූදස් යේසුස් ළඟට ඇවිත් ඔහුගේ මූණ ඉම්බා.+ 48  එතකොට යේසුස් “යූදස්, ඔයා මනුෂ්‍ය පුත්‍රයාව පාවලා දෙන්නේ මේ විදිහට මූණ ඉඹලාද” කියලා එයාගෙන් ඇහුවා. 49  වෙන්න යන දේ දැක්කාම යේසුස් වටේ හිටපු ගෝලයෝ ඇහුවා “ස්වාමීනි, අපි මෙයාලට කඩුවෙන් පහර දෙන්නද” කියලා. 50  එයාලාගෙන් එක් කෙනෙක් එයාගේ කඩුව අරගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නා. ඒ දාසයාගේ දකුණු කන කැපිලා ගියා.+ 51  ඒත් යේසුස් “දැන් ඇති. ඕක නවත්තන්න” කියලා කිව්වා. ඊටපස්සේ ඔහු ඒ දාසයාගේ තුවාලය අල්ලලා එයාගේ කන සුව කළා. 52  යේසුස් ඔහුව අරන් යන්න ආපු නායක පූජකයන්ටයි, දේවමාලිගාවේ ප්‍රධානීන්ටයි, වැඩිමහල්ලන්ටයි මෙහෙම කිව්වා. “ඔයාලා කඩු, පොලු අරගෙන මාව අල්ලගන්න ආවේ මං හොරෙක් කියලා හිතාගෙනද?+ 53  මං හැම දවසකම දේවමාලිගාවේ හිටියානේ.+ එතකොට මාව අල්ලගත්තේ නැත්තේ ඇයි?+ ඒත් දැන් ඔයාලාගේ අවස්ථාව ඇවිත්. මොකද මේක අන්ධකාරය රජ කරන වෙලාව.”+ 54  ඊටපස්සේ එයාලා යේසුස්ව අත්අඩංගුවට අරගෙන උත්තම පූජකයාගේ ගෙදරට අරන් ගියා.+ පේතෘස් ටිකක් දුරින් ඉඳන් එයාලාගේ පස්සෙන් ගියා.+ 55  ඒ පිරිස උත්තම පූජකයාගේ ගෙදර මැද මිදුලේ ගිනිමැලයක් ගහලා එතන ඉඳගෙන හිටියා. පේතෘස් එයාලත් එක්කම ඉඳගත්තා.+ 56  එක සේවිකාවක් ගිනිමැලය ළඟ ඉඳගෙන ඉන්න පේතෘස්ව දැක්කා. එයා පේතෘස්ගේ මූණ දිහා හොඳට බලලා මෙහෙම කිව්වා. “මේ මනුස්සයාත් අරයා එක්ක හිටියා.” 57  ඒත් එයා කියපු එක වැරදියි කියලා පෙන්නන්න පේතෘස් මෙහෙම කිව්වා. “මං එයාව දන්නේ නැහැ.” 58  ටික වෙලාවකට පස්සේ තවත් කෙනෙක් එයාව දැකලා “ඔයාත් එයාලාගෙන් කෙනෙක් නේද” කියලා ඇහුවා. ඒත් පේතෘස් කිව්වා “නැහැ, මං එයාලාගෙන් කෙනෙක් නෙමෙයි” කියලා.+ 59  පැයකට විතර පස්සේ තවත් මනුස්සයෙක් ඇවිත් තදින්ම මෙහෙම කිව්වා. “මේ මිනිහාත් එයා එක්ක හිටපු කෙනෙක් තමයි. ඒ ගැන නම් කිසිම සැකයක් නැහැ. මොකද මෙයා ගලීලයෙන් ආපු කෙනෙක්.” 60  ඒත් පේතෘස් “ඔයා මොනවා කියනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ” කියලා කිව්වා. එයා කතා කරකර ඉද්දීම කුකුළෙක් හැඬලුවා. 61  ඒත් එක්කම ස්වාමීන් පේතෘස් දිහා හැරිලා බැලුවා. එතකොට එයාට ස්වාමීන් කියපු මේ දේ මතක් වුණා. “කුකුළෙක් හඬලන්න කලින් ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා අද තුන් පාරක් කියනවා.”+ 62  ඒ නිසා එයා එළියට ගිහින් හොඳටම ඇඬුවා. 63  මේ අතර යේසුස්ව අත්අඩංගුවට ගත්ත අය ඔහුට පහර දිදී+ ඔහුට සමච්චල් කරන්න පටන්ගත්තා.+ 64  එයාලා ඔහුගේ මූණ වහලා කීප සැරයක්ම මෙහෙම කිව්වා. “ඔයා අනාගතවක්තෘවරයෙක් නම් ඔයාට ගැහුවේ කවුද කියලා කියන්න.” 65  ඒ වගේම එයාලා ඔහුට අපහාස කරන්න තවත් ගොඩක් දේවල් කිව්වා. 66  උදේ වෙද්දී සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්, ඒ කියන්නේ නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය එකතු වෙලා+ මන්ත්‍රණ සභාව* රැස් වෙන ශාලාවට යේසුස්ව අරන් ගියා. එහෙදී එයාලා යේසුස්ට මෙහෙම කිව්වා. 67  “ඔයා ක්‍රිස්තුස් නම් ඒක අපි ඉස්සරහම කියන්න.”+ එතකොට යේසුස් මෙහෙම කිව්වා. “මම ඒ දේ ඔයාලට කිව්වත් ඔයාලා ඒක කොහොමටවත් විශ්වාස කරන්නේ නැහැ. 68  ඔයාලාගෙන් ප්‍රශ්නයක් ඇහුවත් ඔයාලා ඒකට උත්තර දෙන්නේ නැහැ. 69  කොහොමවුණත් මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන ඉන්න විදිහ+ ඔයාලා ඉස්සරහට දකියි.” 70  එතකොට එතන හිටපු හැමෝම මෙහෙම කිව්වා. “ඔයා කියන්නේ ඔයා දෙවියන්ගේ පුතා කියලද?” යේසුස් එයාලට කිව්වා “ඔව් ඒක හරි”* කියලා. 71  එතකොට එයාලා මෙහෙම කිව්වා. “ඇහුණා නේද එයාගේ කටින්ම කියපු දේ?+ අපිට තවත් සාක්ෂි මොකටද?”

පාදසටහන්

එයාලා අනිත් අයට දේවල් දීලා උදව් කරපු නිසා එයාලව විශේෂ පදවි නම්වලින් හැඳින්නුවා.
පොළනවා කියන්නේ ඇටවලින් ඉවත් කරපු පොතු වෙන් කරන එකටයි.
මූ.අ., “ගලක් වීසි කළාම වැටෙන තරම් දුරකට ගිහින්.”
මූ.අ., “ඒක එහෙමයි කියලා ඔයාලම කියනවා.” ඒක ප්‍රශ්නයකට “ඔව්” කියලා උත්තර දෙන විදිහක්.