ලූක් 23:1-56

  • යේසුස්ව පිලාත් සහ හෙරොද් ඉස්සරහට අරන් යයි (1-25)

  • යේසුස්වයි, අපරාධකාරයෝ දෙන්නෙක්වයි කණුවල එල්ලයි (26-43)

    • “ඔයා මාත් එක්ක පාරාදීසයේ ඉන්නවා” (43)

  • යේසුස්ගේ මරණය (44-49)

  • යේසුස්ගේ දේහය තැන්පත් කරයි (50-56)

23  ඒ මුළු සභාවම නැඟිටලා යේසුස්ව පිලාත් ඉස්සරහට අරන් ගියා.+  එතනදී එයාලා යේසුස්ට විරුද්ධව මේ වගේ චෝදනා එල්ල කළා.+ “මේ මිනිහා අපේ රජට විරුද්ධව කැරලිගහන්න අපේ සෙනඟව උසිගන්වනවා. එයා සීසර්ට බදු ගෙවන්න එපා කියනවා.+ ඒ වගේම එයාම කියනවා ක්‍රිස්තුස් කියන රජ එයා කියලා.”+  එතකොට පිලාත් ඇහුවා “ඔයා යුදෙව්වන්ගේ රජද” කියලා. “ඔව්, ඒක හරි”* කියලා යේසුස් කිව්වා.+  පිලාත් නායක පූජකයන්ටයි, රැස් වෙලා හිටපු සෙනඟටයි මෙහෙම කිව්වා. “මේ මනුස්සයා අපරාධකාරයෙක් කියලා මට නම් පේන්නේ නැහැ.”+  ඒත් එයාලා තදින්ම මෙහෙම කිව්වා. “එයා යූදා දේශය පුරාම එක එක දේවල් උගන්වලා සෙනඟව උසිගන්වනවා. එයා පටන්ගත්තේ ගලීලයෙන්. දැන් එයා මේ පැත්තටත් ඇවිල්ලා.”  ඒක අහලා පිලාත් එයාලාගෙන් ඇහුවා යේසුස් ගලීලයේ කෙනෙක්ද කියලා.  යේසුස් හෙරොද්ගේ පාලනය යටතේ තියෙන පළාතක+ කෙනෙක් කියලා දැනගත්තාම පිලාත් යේසුස්ව හෙරොද් ළඟට යැව්වා. ඒ දවස්වල හෙරොද් හිටියේ යෙරුසලමේ.  යේසුස්ව දැක්කාම හෙරොද්ට ලොකු සතුටක් දැනුණා. මොකද යේසුස් ගැන හුඟක් දේවල් ආරංචි වෙලා තිබුණ නිසා+ හෙරොද් සෑහෙන කාලයක් තිස්සේ යේසුස්ව දකින්න ආසාවෙන් හිටියේ. එයාට ඕනෙ වුණේ යේසුස් හාස්කමක් කරනවා දකින්න.  හෙරොද් යේසුස්ගෙන් එක දිගටම ප්‍රශ්න ඇහුවත් යේසුස් ඒ එකකටවත් උත්තර දුන්නේ නැහැ.+ 10  ඒත් නායක පූජකයෝයි, නීතිය පිටපත් කරන අයයි සැරින් සැරේට නැඟිටලා කෑගගහා ඔහුට විරුද්ධව චෝදනා එල්ල කළා. 11  හෙරොද් එයාගේ සෙබළු එක්ක එකතු වෙලා ඔහුට සැලකුවේ හරිම පහත් විදිහට.+ ඊටපස්සේ එයා යේසුස්ට සමච්චල් කරන්න+ ඔහුට දිලිසෙන ඇඳුමක් අන්දවලා ඔහුව ආයෙත් පිලාත් ළඟට යැව්වා. 12  සෑහෙන කාලයක් තිස්සේ හතුරන් වෙලා හිටපු හෙරොද් සහ පිලාත් එදා ඉඳන් හොඳ යාළුවෝ වුණා. 13  ඊටපස්සේ පිලාත් නායක පූජකයන්ටයි, පාලකයන්ටයි, සෙනඟටයි එන්න කියලා, 14  මෙහෙම කිව්වා. “ඔයාලා මේ කෙනාව මං ළඟට අරන් ඇවිත් කිව්වේ එයා සෙනඟව කැරලිගහන්න උසිගන්වනවා කියලයි. ඔයාලා හැමෝම ඉස්සරහා මං එයාගෙන් ප්‍රශ්න කළානේ. හැබැයි ඔයාලා කරන චෝදනාවලට කිසිම පදනමක් නැහැ.+ 15  හෙරොද්ටත් බැරි වුණා එයාගේ කිසි වරදක් හොයාගන්න. එයාව ආයෙත් අපි ළඟට එවලා තියෙන්නේ ඒ නිසයි. ඇත්තටම මේ මනුස්සයා මරණ දඬුවම ලබන්න තරම් කිසිම දෙයක් කරලා නැහැ. 16  ඒ නිසා මම එයාට දඬුවමක් දීලා+ නිදහස් කරනවා.” 17 * —— 18  එතකොට රැස් වෙලා හිටිය සෙනඟ හැමෝම එක හඬින් මෙහෙම කිව්වා. “මේ මිනිහාව මරලා දාන්න. අපිට බරබ්බස්ව නිදහස් කරලා දෙන්න.”+ 19  (බරබ්බස් කියන්නේ නුවරේදී ආණ්ඩුවට විරුද්ධව කැරලිගහපු, මිනී මරපු කෙනෙක්. ඒ නිසා එයාව හිරේ දාලා තිබුණා.) 20  ඒත් පිලාත්ට ඕනෙ වුණේ යේසුස්ව නිදහස් කරන්නයි.+ ඉතින් එයා සෙනඟට ආයෙත් ඒ ගැන කිව්වා. 21  එතකොට සෙනඟ “එයාව කණුවක ඇණ ගහලා මරන්න! එයාව කණුවක ඇණ ගහලා මරන්න”+ කියලා කෑගහන්න පටන්ගත්තා. 22  තුන්වෙනි වතාවටත් පිලාත් සෙනඟගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයාලා එහෙම කියන්නේ? මොකක්ද එයා කරපු වරද? මරණ දඬුවම දෙන්න තරම් වරදක් එයා කරලා නැහැ. මම එයාට දඬුවමක් දීලා එයාව නිදහස් කරනවා.” 23  එතකොට එයාලා තවත් හයියෙන් කෑගහලා දිගින් දිගටම කිව්වා එයාව මරලා දාන්න* කියලා. අන්තිමට පිලාත් එයාලා කියපු දේ ඇහුවා.+ 24  ඉතින් එයාලා කියන විදිහට කරන්න කියලා එයා අණ කළා. 25  සෙනඟ ඉල්ලපු විදිහට ආණ්ඩුවට විරුද්ධව කැරලිගහපු නිසාත් මිනී මරපු නිසාත් හිරේට දාපු කෙනාව පිලාත් නිදහස් කළා. ඒත් සෙනඟගේ කැමැත්තට ඉඩ දීලා එයා යේසුස්ව එයාලට භාර දුන්නා. 26  එයාලා යේසුස්ව අරන් යද්දී, සිරේනිය නගරයේ වැසියෙක් වුණ සීමොන්ව එයාලට හම්බ වුණා. එයා පිටිසර පැත්තක ඉඳන් එන ගමන් හිටියේ. එයාලා එයාව අල්ලගෙන යේසුස්ගේ වධකණුව* එයාගේ කරේ තියලා ඒක උස්සගෙන යේසුස්ගේ පිටිපස්සෙන් යන්න කියලා එයාට කිව්වා.+ 27  ලොකු සෙනඟක් යේසුස් පිටිපස්සෙන් ඇවිදගෙන ආවා. ඒ අතරේ හිටපු කාන්තාවන් ලොකු දුකකින් පපුවට ගගහා හයියෙන් අඬඅඬ හිටියේ. 28  යේසුස් ඒ කාන්තාවන් දිහා බලලා මෙහෙම කිව්වා. “යෙරුසලමේ දූවරුනි, මං නිසා අඬන්න එපා. ඒ වෙනුවට ඔයාලා ගැනයි, ඔයාලාගේ දරුවන් ගැනයි හිතලා අඬන්න.+ 29  මොකද ඉස්සරහට හරිම අමාරු කාලයක් එනවා. එදාට මිනිස්සු මෙහෙම කියයි. ‘දරුවන් බිහි කරන්න බැරි, දරුවන් හදා වඩා ගත්තේ නැති, දරුවන්ට කිරි දුන්නේ නැති කාන්තාවන්ට සතුටු වෙන්න පුළුවන්.’+ 30  ඒ කාලයේදී එයාලා කඳුවලට ‘අපේ ඇඟ උඩට වැටෙන්න’ කියලත් හෙල්වලට ‘අපිව වහගන්න’ කියලත් කියයි.+ 31  ගහට පණ තියෙද්දී එයාලා මෙහෙම අඬනවා නම් ගහ මැරිලා ගියාම එයාලා මොනවා කරයිද?” 32  යේසුස් එක්කම මරලා දාන්න අපරාධකරුවන් දෙන්නෙක්වත් අරන් ගියා.+ 33  එයාලා හිස්කබල+ කියන තැනට ඇවිත් ඒ අපරාධකරුවන් දෙන්නා මැද්දේ යේසුස්ව කණුවක ඇණ ගැහුවා. එක අපරාධකාරයෙක් හිටියේ යේසුස්ගේ දකුණු පැත්තේ. අනිත් කෙනා හිටියේ ඔහුගේ වම් පැත්තේ.+ 34  ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. “තාත්තේ, එයාලට සමාව දෙන්න. මොකද එයාලා මොනවාද කරන්නේ කියලා එයාලට තේරෙන්නේ නැහැ.” එතන හිටපු අය දාදු දාලා යේසුස්ගේ ඇඳුම් එයාලා අතරේ බෙදාගත්තා.+ 35  සිද්ධ වෙන දේවල් දිහා සෙනඟ බලාගෙන හිටියා. ඒත් ප්‍රධානීන් ඔහුට නින්දා කරලා මෙහෙම කිව්වා. “එයා අනිත් අයව නම් බේරගත්තා. එයා කියනවානේ එයා දෙවියන් තෝරගත්ත ක්‍රිස්තුස් කියලා. එහෙනම් එයාට පුළුවන්නේ එයාවම බේරගන්න.”+ 36  එතන හිටපු සෙබළුත් ඇවිත් ඔහුට සමච්චල් කරකර ඔහුට බොන්න ඇඹුල් වයින් දීලා,+ 37  “ඔයා යුදෙව්වරුන්ගේ රජ නම් ඔයාවම බේරගන්න” කියලා කිව්වා. 38  ඔහුගේ ඔළුවට උඩින් “මේ යුදෙව්වරුන්ගේ රජ”+ කියලා ලියලා තිබුණ ලියවිල්ලක් එල්ලලා තිබුණා. 39  ඔහු ළඟ එල්ලලා හිටිය එක අපරාධකරුවෙක් ඔහුට අපහාස කරලා+ මෙහෙම කිව්වා. “ඔයා ක්‍රිස්තුස් නේද? ඉතින් ඔයාත් බේරිලා අපිවත් බේරගන්නකෝ!” 40  ඒක අහලා අනිත් අපරාධකරුවා එයාට බැණලා මෙහෙම කිව්වා. “ඔයාට ලැබිලා තියෙන්නෙත් මේ මිනිසාට ලැබුණ දඬුවම නේද? ඉතින් ඔයාට දෙවියන් ගැන කිසි බයක් නැද්ද? 41  අපි කරපු වැරදිවලට අපිට ලැබෙන්න ඕනෙ දඬුවම තමයි අපිට ලැබුණේ. ඒක සාධාරණයි. ඒත් මේ මිනිසා කිසිම වරදක් කරලා නැහැ.” 42  ඊළඟට එයා යේසුස්ට මෙහෙම කිව්වා. “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වෙද්දී මාව අමතක කරන්න එපා.”+ 43  එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයා මාත් එක්ක පාරාදීසයේ ඉන්නවා+ කියලා අද මම ඔයාට සහතිකවම පොරොන්දු වෙනවා.” 44  හයවෙනි පැයේදී විතර* මුළු පළාතම අන්ධකාරයෙන් වැහිලා ගියා. ඒ අන්ධකාරය නමවෙනි පැය* වෙන කල්ම තිබුණා.+ 45  මොකද ඒ වෙලාවේ හිරුගෙන් කිසිම එළියක් ලැබුණේ නැහැ. එකපාරටම ශුද්ධස්ථානයේ තිරය+ ඉරිලා දෙකට මැදින් වෙන් වුණා.+ 46  එතකොට යේසුස් “තාත්තේ, මම මගේ ජීවිතේ* ඔයාගේ අතට භාර දෙනවා”+ කියලා කෑගහලා කිව්වා. ඊටපස්සේ යේසුස් මිය ගියා.*+ 47  සිද්ධ වෙච්ච දේවල් දැක්කාම හමුදා නිලධාරියා දෙවියන්ට ගෞරවය දීලා “ඇත්තටම මේ මිනිසා ධර්මිෂ්ඨ කෙනෙක්” කියලා කිව්වා.+ 48  යේසුස්ට සිද්ධ වෙන දේ බලන්න ආපු හැමෝම වෙච්ච දේවල් දැක්කාම පපුවට ගගහා දුකෙන් එයාලාගේ ගෙවල්වලට ගියා. 49  ඒත් යේසුස්ව දැනන් හිටපු හැමෝම ටිකක් ඈතට වෙන්න බලාගෙන හිටියා. ගලීලයේ ඉඳන්ම යේසුස් එක්ක ඇවිත් හිටපු කාන්තාවනුත් එතන හිටියා. වෙච්ච හැම දෙයක්ම එයාලත් දැක්කා.+ 50  යෝසෙප් කියලා මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක් හිටියා. එයා යහපත්, ධර්මිෂ්ඨ කෙනෙක්.+ 51  (මන්ත්‍රණ සභාවේ කුමන්ත්‍රණයට සහ එයාලා යේසුස්ට විරුද්ධව කරපු දේවල්වලට එයා එයාගේ කැමැත්ත දීලා තිබුණේ නැහැ.) එයා යුදෙව්වරුන්ගේ නගරයක් වුණ අරිමාතියෙන් ආපු කෙනෙක්. යෝසෙප් දෙවියන්ගේ රාජ්‍යය එන කල් බලාගෙනයි හිටියේ. 52  එයා පිලාත් ඉස්සරහට ගිහින් යේසුස්ගේ දේහය අරගෙන යන්න අවසර ඉල්ලුවා. 53  යෝසෙප් යේසුස්ගේ දේහය කණුවෙන් පහතට අරගෙන+ හොඳම ලිනන් රෙදිවලින් ඒක එතුවා. ඊටපස්සේ පර්වතයක් කපලා හදලා තිබුණ සොහොන් ගේක*+ යේසුස්ගේ දේහය තැන්පත් කළා. ඒ වෙනකොට කිසිම කෙනෙක්ව ඒ සොහොන් ගේ තැන්පත් කරලා තිබුණේ නැහැ. 54  එදා සූදානම් වීමේ දවස.+ සබත් දවස+ පටන්ගන්න තව වැඩි වෙලාවක් තිබුණේ නැහැ. 55  ගලීලයේ ඉඳන් යේසුස් එක්ක ආපු කාන්තාවනුත් සොහොන් ගේ ළඟට ගිහින් ඔහුගේ දේහය තැන්පත් කරපු විදිහ බැලුවා.+ 56  ඊටපස්සේ එයාලා සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල් සූදානම් කරන්න ආපහු ගියා. ඒත් නීතියේ කියලා තියෙන විදිහට එයාලා සබත් දවසේදී කිසි වැඩක් කළේ නැහැ.+

පාදසටහන්

මූ.අ., “ඔබම ඒකට උත්තරේ දුන්නා.” ඒක ප්‍රශ්නයකට “ඔව්” කියලා උත්තර දෙන විදිහක්.
උප. A3 බලන්න.
හෝ, “කණුවක ඇණ ගහන්න.”
ඒ කියන්නේ දවල් 12ට විතර.
ඒ කියන්නේ හවස 3ට විතර.
හෝ, “අවසන් හුස්ම හෙළුවා.”
මූ.අ., “ජීවන හුස්ම.”
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගේක.”