ලූක් 24:1-53

  • යේසුස්ව නැවත නැඟිට්ටවයි (1-12)

  • එම්මාවුස් ගමට යන ගමන් (13-35)

  • යේසුස් ගෝලයන් අතරට යයි (36-49)

  • යේසුස් ස්වර්ගයට යයි (50-53)

24  සතියේ පළවෙනි දවසේදී ඒ කාන්තාවන් පාන්දරින්ම එයාලා සූදානම් කරගත්ත සුවඳ ද්‍රව්‍ය අරගෙන සොහොන් ගෙට* ගියා.+  එතනට යද්දී එයාලා දැක්කා සොහොන් ගේ වහලා තිබුණ ගල අහකට පෙරළලා දාලා කියලා.+  ඉතින් එයාලා ඇතුළට ගිහින් බැලුවා. ඒත් ස්වාමීන් වන යේසුස්ගේ දේහය එතන තිබුණේ නැහැ.+  වෙලා තියෙන්නේ මොකක්ද කියලා එයාලට හිතාගන්න බැරි වුණා. ඒ වෙලාවෙම දීප්තියෙන් බැබළෙන ඇඳුම් ඇඳගෙන හිටිය පුරුෂයන් දෙන්නෙක් එයාලා ළඟ හිටගත්තා.  එයාලව දැක්කාම ඒ කාන්තාවන් හොඳටම බය වෙලා ඔළුව උස්සන්නෙවත් නැතුව බිම බලාගෙනම හිටියා. එතකොට ඒ පුරුෂයන් දෙන්නා මෙහෙම කිව්වා. “ජීවත් වෙලා ඉන්න කෙනාව මැරුණ අය අතරේ හොයන්නේ ඇයි?+  ඔහු දැන් මෙහේ නැහැ. මොකද ඔහුව මරණයෙන් නැඟිට්ටවලා. ඔහු ගලීලයේ ඉද්දී ඔයාලට කියපු දේ මතකද?  මනුෂ්‍ය පුත්‍රයාව පව්කාර මිනිස්සුන්ගේ අතට පාවලා දෙනවා කියලත් ඔහුව කණුවක ඇණ ගහලා මරලා දානවා කියලත් තුන්වෙනි දවසේදී ඔහුව මරණයෙන් නැඟිට්ටවනවා කියලත් ඔහු ඔයාලට කිව්වා.”+  යේසුස් කියපු ඒ දේවල් එයාලට මතක් වුණේ එතකොටයි.+  ඉතින් එයාලා සොහොන් ගේ ළඟින් ගිහින් එකොළොස්දෙනාටත් අනිත් හැමෝටමත් වෙච්ච හැම දේම කිව්වා.+ 10  ඒ කාන්තාවන්ගේ නම් තමයි මරියා මග්දලේනා, යොවානා සහ යාකොබ්ගේ අම්මා වුණ මරියා. එයාලා එක්ක හිටපු අනිත් කාන්තාවනුත් වෙච්ච දේවල් ගැන නියෝජිතයන්ට කිව්වා. 11  ඒත් එයාලා ඒ කාන්තාවන් කියපු දේවල් විශ්වාස කළේ නැහැ. එයාලා හිතුවේ ඒ කාන්තාවන් පිස්සු විකාර කියවනවා කියලා. 12  ඒත් පේතෘස් සොහොන් ගේ ළඟට දුවගෙන ගියා. එයා එතනට ගිහින් එබිලා බලද්දී එයා දැක්කේ දේහය ඔතලා තිබුණ ලිනන් රෙදි පටි ටික විතරයි. මොනවා වෙන්න ඇද්ද කියලා හිතහිත පේතෘස් එතනින් ගියා. 13  එදාම යේසුස්ගේ ගෝලයන් දෙන්නෙක් එම්මාවුස් කියන ගමට ඇවිදගෙන ගියා. ඒ ගම තිබුණේ යෙරුසලමේ ඉඳන් හැතැක්ම හතක්* විතර දුරකින්. 14  එයාලා ඇවිදගෙන යන ගමන් වෙච්ච හැම දෙයක් ගැනම කතා කරකරයි ගියේ. 15  එයාලා ඒ දේවල් ගැන කතා කරකර යද්දී යේසුස් එතනට ඇවිත් එයාලත් එක්කම ඇවිදගෙන ගියා. 16  ඒත් එයාලා ඔහුව අඳුරගත්තේ නැහැ.+ 17  ඔහු එයාලාගෙන් ඇහුවා “ඔයාලා මෙච්චර උනන්දුවෙන් කතා කරකර යන්නේ මොනවා ගැනද” කියලා. එතකොට එයාලා නතර වෙලා ඔහු දිහා දුකෙන් බලාගෙන හිටියා. 18  ඒ වෙලාවේ ක්ලෙයෝපස් කියන කෙනා ඔහුට මෙහෙම කිව්වා. “ඔයා පිට ගමකින් ඇවිත් මෙහේ තනියෙන් ජීවත් වෙන කෙනෙක්ද?* ඒ නිසාද මේ දවස්වල යෙරුසලමේ වෙච්ච දේවල් ගැන ඔයාට ආරංචි වුණේ නැත්තේ?” 19  ඔහු “මොන දේවල්ද” කියලා එයාලාගෙන් ඇහුවා. එයාලා මෙහෙම කිව්වා. “අපි කතා කළේ නාසරෙත් ඉඳන් ආපු+ යේසුස්ට වෙච්ච දේවල් ගැන. ඔහු බලවත් අනාගතවක්තෘවරයෙක්. ඔහු දෙවියන් ඉස්සරහත් මිනිස්සු ඉස්සරහත් හරිම පුදුම දේවල් කරපු, දක්ෂ විදිහට උගන්වපු කෙනෙක්.+ 20  ඒත් අපේ නායක පූජකයන් සහ පාලකයන් ඔහුට මරණ දඬුවම+ දෙන්න කියලා නිලධාරීන්ට ඔහුව භාර දුන්නා. එයාලා ඔහුව කණුවක ඇණ ගහලා මරලා දැම්මා. 21  අපි හිතාගෙන හිටියේ ඊශ්‍රායෙල් සෙනඟව ගලවගන්න කෙනා+ ඔහු කියලයි. ඒ හැම දෙයක්ම වෙලා අදට දවස් තුනක් වෙනවා. 22  ඒ විතරක් නෙමෙයි, අපි අතරේ ඉන්න කාන්තාවන් කීපදෙනෙක් හරිම පුදුම දෙයක් කිව්වා. උදේ පාන්දරින්ම එයාලා සොහොන් ගේ ළඟට ගියාම,+ 23  ඔහුගේ දේහය එතන තිබිලා නැහැ. එයාලා අපිට කිව්වා එයාලා දේවදූතයන්වත් දැක්කා කියලා. ඒ දේවදූතයෝ කිව්වාලු යේසුස් ජීවත් වෙනවා කියලා. 24  ඉතින් අපි එක්ක හිටපු කීපදෙනෙක් සොහොන් ගේ+ බලන්න ගියා. ඒ කාන්තාවන් කිව්වා වගේම යේසුස්ගේ දේහය එතන තිබුණේ නැහැ.” 25  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලට තාමත් කිසිම දෙයක් තේරුණේ නැද්ද? අනාගතවක්තෘවරුන් කියපු දේවල් විශ්වාස කරන්න ඔයාලා අදිමදි කරන්නේ ඇයි? 26  එයාලා කියපු විදිහට ක්‍රිස්තුස් තේජසට+ පත් වෙන්න නම් ඔහු ඒ හැම දුකක්ම+ විඳින්න ඕනෙ නේද?” 27  ඊටපස්සේ ඔහු තමන් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙලා තියෙන දේවල් එයාලට පැහැදිලි කළා. ඔහු මෝසෙස් කියපු දේවලින් පටන් අරන් අනාගතවක්තෘවරුන් කියපු හැම දෙයක්මත්+ එයාලට පැහැදිලි කළා. 28  අන්තිමේදී එයාලා යන්න හිතාගෙන හිටපු ගම කිට්ටුවටම ආවා. ඒත් ඔහු එතන නතර වෙන්නේ නැතුව දිගටම ඇවිදගෙන යනවා කියලා දැක්කාම, 29  එයාලා ඔහුව නවත්තගන්න මෙහෙම කිව්වා. “දැන් හොඳටම හවස් වෙලා. අද අපිත් එක්ක මෙහේ නතර වෙන්න.” ඉතින් ඔහු එයාලා ඉන්න තැනට ගියා. 30  ඔහු එයාලා එක්ක කෑමට ඉඳගෙන ඉද්දී, රොටියක් අරගෙන දෙවියන්ට ස්තුති කරලා ඒක කඩලා එයාලාගේ අතට දුන්නා.+ 31  ඒ වෙලාවෙම එයාලා ඔහුව අඳුරගත්තා. ඒත් යේසුස් එකපාරටම නොපෙනී ගියා.+ 32  ඊටපස්සේ එයාලා මෙහෙම කතා වුණා. “පාරේ ඇවිදගෙන යද්දී ඔහු අපිට ශුද්ධ ලියවිල්ලේ තියෙන හැම දේම කොච්චර හොඳට පැහැදිලි කරලා දුන්නාද!* ඔහු කියන දේවල් අහගෙන ඉද්දී අපේ හිත් මොන තරම් සතුටින් පිරිලා ගියාද!”* 33  ඒ වෙලාවෙම ඒ දෙන්නා ආයෙත් යෙරුසලමට ගිහින් එකොළොස්දෙනාවත් එයාලා එක්ක රැස් වෙලා හිටිය අනිත් අයවත් හම්බ වුණා. 34  “ස්වාමීන් ඇත්තටම මරණයෙන් නැඟිටලා! සීමොනුත් ඔහුව දැක්කා”+ කියලා එතන හිටපු අය එයාලට කියන්න පටන්ගත්තා. 35  ඊටපස්සේ ඒ දෙන්නා, එයාලා පාරේ ඇවිදගෙන යද්දී වෙච්ච දේවල් ගැනත් යේසුස් රොටිය කඩද්දී එයාලා ඔහුව අඳුරගත්ත විදිහ ගැනත්+ එතන හිටපු අයට විස්තර කළා. 36  එයාලා ඒ දේවල් ගැන කතා කරකර ඉද්දී යේසුස් එයාලා මැද හිටගෙන “ඔයාලට සමාදානය ලැබේවා” කියලා කිව්වා.+ 37  ඒත් එයාලා හොඳටම බය වෙලා වෙවුලන්න පටන්ගත්තා. එයාලා හිතුවේ එයාලා දකින්නේ දර්ශනයක්* කියලා. 38  ඉතින් ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා කලබල වෙලා ඉන්නේ ඇයි? ඔයාලාගේ හිත්වල සැකයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? 39  මගේ අත් දෙකයි, කකුල් දෙකයි දිහා බලන්න. මේ ඉන්නේ මම. මාව අල්ලලා බලන්න. මට තියෙන්නෙත් ඔයාලට වගේ ඇට මස් නහර තියෙන ශරීරයක්. ඔයාලා දකින්නේ දර්ශනයක් නම් ඔයාලට මාව අල්ලලා බලන්න බැහැ.” 40  එහෙම කියන ගමන් ඔහු එයාලට තමන්ගේ අත් සහ කකුල් පෙන්නුවා. 41  එයාලාගේ හිත් සතුටින් පිරිලා ඉතිරිලා ගියත් දැක්ක දේ එයාලට අදහාගන්න බැරුවයි හිටියේ. ඒ නිසා එයාලා ඔහුව විශ්වාස කළේ නැහැ. ඉතින් යේසුස් එයාලාගෙන් ඇහුවා “ඔයාලා ළඟ කන්න මොනවා හරි තියෙනවාද” කියලා. 42  එතකොට එයාලා ඔහුට පුච්චපු මාළු කෑල්ලක් දුන්නා. 43  එයාලා බලන් ඉද්දීම යේසුස් ඒක අරන් කෑවා. 44  ඊළඟට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මං ඔයාලා එක්ක ඉද්දී කියපු දේවල් ඔයාලට මතකද?+ මෝසෙස්ට දීපු නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත් මං ගැන ලියලා තියෙන හැම දේම ඉටු වෙන්න ඕනෙ කියලා මං කිව්වා නේද?”+ 45  ඊටපස්සේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් හොඳින් තේරුම්ගන්න ඔහු එයාලට උදව් කළා.*+ 46  ඔහු එයාලට මෙහෙම කිව්වා. “ශුද්ධ ලියවිල්ලේ ලියලා තියෙන විදිහට ක්‍රිස්තුස් දුක් විඳලා මැරුණත් ඔහු තුන්වෙනි දවසේදී මරණයෙන් නැවත නැඟිටිනවා.+ 47  ඒ වගේම සමාව ලබාගන්න+ නම් මිනිස්සු එයාලාගේ වැරදි ගැන පසුතැවිලි වෙන්න ඕනෙ කියන පණිවිඩය පොළොව පුරාම දේශනා කරයි. ඒ පණිවිඩය යෙරුසලමෙන් පටන් අරන්+ හැම ජාතියකම+ ඉන්න අයටත් ක්‍රිස්තුස්ගේ නමින් දැනුම් දෙයි. 48  මේ හැම දෙයක් ගැනම සාක්ෂි දරන්න ඕනෙ ඔයාලයි.+ 49  මගේ තාත්තා ඔයාලට දෙන්න පොරොන්දු වුණ දේ මං අනිවාර්යයෙන්ම ඔයාලට එවනවා. ඒත් ස්වර්ගයේ ඉඳන් දෙවියන්ගේ බලය ලැබෙන කල් ඔයාලා නුවරටම වෙලා ඉන්න.”+ 50  යේසුස් එයාලා එක්ක බෙතානිය වෙන කල් ගියා. එතනදී ඔහු ඔහුගේ අත් උස්සලා එයාලට ආශීර්වාද කළා. 51  එයාලට ආශීර්වාද කරකර ඉද්දීම ඔහු එයාලාගෙන් වෙන් වෙලා ගියා. ඒත් එක්කම ඔහුව ස්වර්ගයට ගත්තා.+ 52  ඒ වෙලාවේ එයාලා දණින් වැටිලා ඔහුට ගෞරව කළා. ඊටපස්සේ එයාලා ලොකු සතුටකින් ආපහු යෙරුසලමට ගියා.+ 53  එදායින් පස්සේ එයාලා නිතරම දෙවියන්ට ප්‍රශංසා කරන්න දේවමාලිගාවට ගියා.+

පාදසටහන්

හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙට.”
කි.මී. 11ක් විතර. මූ.අ., “ස්ටේඩියා 60ක්.” ස්ටේඩියා එකක් කියන්නේ මීටර් 185ක් (අඩි 606.95ක්). උප. B14 බලන්න.
හෝ සමහරවිට, “යෙරුසලමට ඇවිත් ඉන්න අමුත්තන් අතරින් වෙච්ච දේවල් ගැන දන්නේ නැති එකම කෙනා ඔයාද?”
හෝ, “හැම දේම තේරුම්ගන්න අපේ හිත් හොඳට අවදි කළා.”
මූ.අ., “අපිට දැනුණේ අපේ හිතේ ගින්නක් ඇවිළෙනවා වගේ.”
හෝ, “දේවදූතයෙක්.”
හෝ, “හැම දේම තේරුම්ගන්න එයාලාගේ හිත් හොඳට අවදි කළා.”