ලූක් 4:1-44

  • යක්ෂයා යේසුස්ව වරදකට පොලඹවන්න උත්සාහ කරයි (1-13)

  • යේසුස් ගලීලයේ දේශනා කරන්න පටන්ගනියි (14, 15)

  • නාසරෙත්වල අය යේසුස්ව ප්‍රතික්ෂේප කරයි (16-30)

  • කපර්ණවුමේ තිබුණ සිනගෝගයේදී (31-37)

  • සීමොන්ගේ නැන්දම්මාවයි, තවත් අයවයි සුව කරයි (38-41)

  • පාළු තැනක ඉන්න යේසුස්ව සෙනඟ හොයාගෙන එයි (42-44)

4  ඊටපස්සේ යේසුස් යොර්දාන් ගඟ ළඟින් පිටත් වෙලා ගියා. ඒ වෙද්දී දෙවියන්ගේ බලය යේසුස් තුළ ප්‍රබලව ක්‍රියාත්මක වෙමින් තිබුණා. දෙවියන්ගේ බලය යේසුස්ට මඟ පෙන්නුවා පාළුකරයට යන්න.+  ඔහු දවස් 40ක් එහේ හිටියා. ඒ කාලය පුරාම ඔහු කිසිම දෙයක් කෑවේ නැහැ. ඉතින් ඒ දවස් 40න් පස්සේ ඔහුට බඩගින්නක් දැනුණා. එහෙදී යක්ෂයා ඔහුව වරදකට පොලඹවන්න උත්සාහ කරලා+  මෙහෙම කිව්වා. “ඔයා දෙවියන්ගේ පුතෙක් නම් මේ ගල රොටියක් කරන්න.”  ඒත් යේසුස් මෙහෙම උත්තර දුන්නා. “‘මිනිස්සු එයාලාගේ ජීවිත පවත්වගෙන යන්න ඕනෙ කෑමවලින් විතරක් නෙමෙයි’ කියලා ලියලා තියෙනවා.”+  ඉතින් යක්ෂයා ඔහුව උස තැනකට අරන් ගිහින් ලෝකේ පුරාම තියෙන හැම රාජ්‍යයක්ම එක මොහොතකින් පෙන්නලා+  මෙහෙම කිව්වා. “මේ හැම දෙයක්ම තියෙන්නේ මගේ බලය යටතේ.+ මං කැමති කෙනෙක්ට ඒවා දෙන්න මට පුළුවන්. ඒ නිසා මේ හැම රාජ්‍යයක්ම මම ඔයාට දෙන්නම්. ඒවාට අයිති ගෞරවයත් තේජසත් මම ඔයාට දෙන්නම්.  ඔයා මට එක පාරක් නමස්කාර කරන්න. එතකොට මේ හැම දෙයක්ම ඔයාට අයිති වෙනවා.”  ඒත් යේසුස් මෙහෙම උත්තර දුන්නා. “‘ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි.* පරිශුද්ධ සේවයක් කරන්න ඕනෙ ඔහුට විතරයි’+ කියලා ලියලා තියෙනවා.”  ඊටපස්සේ යක්ෂයා යේසුස්ව යෙරුසලමට අරන් ගියා. එහෙදී යක්ෂයා ඔහුව දේවමාලිගාවේ පවුර උඩටම* එක්කන් ගිහින් මෙහෙම කිව්වා. “ඔයා දෙවියන්ගේ පුතෙක් නම් මෙතනින් පනින්න.+ 10  මොකද මෙහෙම ලියලා තියෙනවා. ‘දෙවියන් ඔහුගේ දූතයන්ට ඔබව ආරක්ෂා කරන්න කියලා අණක් දෙයි. 11  ඔවුන් කිසිම අවස්ථාවක ඔබේ පය ගලක වදින්න දෙන්නේ නැතුව ඔවුන්ගේ අත්වලින් ඔබව උසුලන් යයි.’”+ 12  එතකොට යේසුස් මෙහෙම කිව්වා. “‘ඔයාලාගේ දෙවි යෙහෝවාව* සැක කරලා ඔහුට ඔයාලව රැකබලා ගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න එපා’+ කියලත් සඳහන් වෙලා තියෙනවා.” 13  ඉතින් ඒ විදිවලින් යේසුස්ව වරදකට පොලඹවන්න උත්සාහ කළාට පස්සේ යක්ෂයා ඔහුව අල්ලගන්න ආයෙත් සුදුසු අවස්ථාවක් එන කල් එතනින් ගියා.+ 14  යේසුස් තුළ දිගටම දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වුණා. ඒ බලය ඔහුට මඟ පෙන්නුවා ආයෙත් ගලීලයට යන්න.+ ඒ අවට මුළු ප්‍රදේශය පුරාම හිටිය මිනිස්සු ඔහු ගැන හුඟක් හොඳ දේවල් කතා වුණා. 15  ඔහු එයාලාගේ සිනගෝගවලදී* උගන්වන්න පටන්ගත්තා. හැම කෙනෙක්ම ඔහුට ගෞරවයෙන් සැලකුවා. 16  පස්සේ යේසුස් තමන් හැදී වැඩුණ නගරය වුණ නාසරෙත්වලට+ ගිහින් ඔහු පුරුදු වෙලා හිටිය විදිහට සබත් දවසේදී සිනගෝගයට ගියා.+ එහෙදී ඔහු ශුද්ධ ලියවිල්ලෙන් කොටසක් කියවන්න හිටගත්තා. 17  එතකොට අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ඔහුගේ අතට දුන්නා. ඔහු ඒක දිගහැරලා ඒකේ තියෙන මේ කොටස හොයාගත්තා. 18  “යෙහෝවා* ඔහුගේ බලය මට දුන්නා. මොකද දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔහු මාව අභිෂේක කළා. ඔහු මාව එව්වේ වහලුන්ට නිදහස ලැබෙනවා කියලත් අන්ධ අයට ආයෙත් පෙනීම ලැබෙනවා කියලත් ප්‍රකාශ කරන්නයි. තැළිලා පොඩි වෙලා ඉන්න අයව නිදහස් කරන්නයි.+ 19  ඒ වගේම යෙහෝවා* කරුණාව පෙන්වන අවුරුද්ද+ ගැන දේශනා කරන්නයි.” 20  ඒ කොටස කියෙව්වාට පස්සේ ඔහු ලියවිල්ල අකුළලා ඒක ආයෙත් සේවකයාට දීලා ඉඳගත්තා. ඒ වෙලාවේ එතන හිටපු හැමෝම ලොකු උනන්දුවකින් ඔහු දිහා බලාගෙන හිටියා. 21  ඊටපස්සේ ඔහු එයාලට මෙහෙම කිව්වා. “ශුද්ධ ලියවිල්ලෙන් මං ඔයාලට ඇහෙන්න කියවපු මේ කොටස ඔයාලාගේ ඇස් ඉස්සරහම දැන් ඉටු වුණා.”+ 22  එතන හිටිය හැමෝම ඔහු ගැන හොඳ කතා කරන්න පටන්ගත්තා. ඔහු කතා කරපු සිත්ගන්නා දේවල් ගැන එයාලා පුදුම වෙලා+ “මෙයා යෝසෙප්ගේ පුතෙක් නේද” කියලා කතා වුණා.+ 23  ඒක අහලා ඔහු මෙහෙම කිව්වා. “මං දන්නවා ‘වෛද්‍යතුමනි, ඉස්සෙල්ලාම ඔයාවම සුව කරගන්න’ කියන කියමන ඔයාලා මට අදාළ කරයි කියලා. ඒ නිසා ඔයාලා මට මෙහෙම කියයි. ‘කපර්ණවුමේදී+ ඔයා කරපු දේවල් අපිට ආරංචි වුණා. ඉතින් ඒ දේවල් ඔයාගේ ගම් පළාතෙත් කරන්නේ නැත්තේ ඇයි?’” 24  ඔහු මෙහෙමත් කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ, අනාගතවක්තෘවරයෙක්ව කවදාවත් එයාගෙම ගමේ අය පිළිගන්නේ නැහැ.+ 25  ඇත්තටම වුණ මේ සිද්ධිය ගැන හිතන්න. එලියාගේ කාලේ අවුරුදු තුනයි, මාස හයක් ඊශ්‍රායෙල් දේශයට වැස්ස ලැබුණේ නැහැ. ඒ නිසා දේශය පුරාම ලොකු සාගතයක් ඇති වුණා.+ ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ හුඟක් වැන්දඹුවන් හිටියා. 26  ඒත් ඒ එක වැන්දඹුවක් ගාවටවත් යන්න කියලා එලියාට කිව්වේ නැහැ. එයාට යන්න කිව්වේ සීදොන් දේශයේ සාරෆෙත් නගරයේ හිටිය වැන්දඹුවක් ගාවට.+ 27  ඒ වගේම අනාගතවක්තෘ එලිෂාගේ කාලේදී ඊශ්‍රායෙල් දේශයේ ලාදුරු රෝගීන් හුඟදෙනෙක් හිටියත් ඒ එක් කෙනෙක්වවත් සුව* කළේ නැහැ. සුව කළේ සිරියානු ජාතික නාමන්ව විතරයි.”+ 28  ඒ දේවල් අහලා සිනගෝගයේ හිටපු හැමෝටම හුඟක් කේන්ති ගියා.+ 29  එයාලා නැඟිටලා ඉක්මනටම යේසුස්ව නගරයෙන් එළියට ඇදගෙන ගිහින් එයාලාගේ නගරය ගොඩනඟලා තිබුණ කන්ද අයිනටම අරන් ගියා. එයාලට ඕන වුණේ යේසුස්ව කන්දෙන් පල්ලෙහට තල්ලු කරලා දාන්නයි. 30  ඒත් ඔහු එයාලා මැද්දෙන් ගිහින් කොහොමහරි එතනින් බේරිලා ගියා.+ 31  ඊටපස්සේ ඔහු ගලීලයේ නගරයක් වුණ කපර්ණවුමට ගියා. සබත් දවසේදී+ ඔහු එහේ හිටිය අයට උගන්වමින් හිටියා. 32  එතන හිටපු මිනිස්සු ඔහු උගන්වපු විදිහ ගැන පුදුම වුණා.+ මොකද ඔහු ඉගැන්නුවේ දෙවියන්ගෙන් ඉගෙනගත්ත දේවල් කියලා එයාලට තේරුණා. 33  ඔය අතරේ භූතයෙක් වැහිලා හිටිය මිනිසෙක් සිනගෝගයට ඇවිත් හයියෙන් කෑගහලා මෙහෙම කිව්වා.+ 34  “නාසරෙත්වලින්+ ආපු යේසුස්, ඇයි අපිට කරදර කරන්නේ? ඔයා ආවේ අපිව නැති කරලා දාන්නද? ඔයා කවුද කියලා මං හොඳට දන්නවා. ඔයා තමයි දෙවියන්ගේ ශුද්ධ තැනැත්තා!”+ 35  ඒත් යේසුස් භූතයාට තදින් මෙහෙම අණ කළා. “කට වහගන්න! ඔය මනුස්සයාගෙන් එළියට එන්න!” එතකොට භූතයා එතන හිටිය හැමෝම බලන් ඉද්දී ඒ මිනිසාව බිම වට්ටලා එයාගෙන් පිට වෙලා ගියා. ඒත් පිට වෙලා යද්දී භූතයා එයාට කිසිම හානියක් කළේ නැහැ. 36  ඒක දැකලා මිනිස්සු පුදුම වෙලා මෙහෙම කතා වුණා. “බලන්නකෝ එයා කතා කරන විදිහ! එයා භූතයන්ට අණ කරන්නේ ලොකු බලයක්, අධිකාරියක් තියෙන කෙනෙක් වගේ. එයා එළියට එන්න කියපු ගමන්ම භූතයන් එළියට එනවා.” 37  ඉතින් ඒ අවට ප්‍රදේශය පුරාම ඔහු ගැනත් ඔහු කරපු දේවල් ගැනත් මිනිස්සු හැමෝම කතා වෙන්න පටන්ගත්තා. 38  ඊටපස්සේ යේසුස් සිනගෝගයෙන් පිට වෙලා සීමොන්ගේ ගෙදරට ආවා. ඒ වෙලාවේ සීමොන්ගේ නැන්දම්මාට තද උණක් හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියේ. ඉතින් එයාලා යේසුස්ට කිව්වා නැන්දම්මා වෙනුවෙන් මොනවා හරි කරන්න කියලා.+ 39  ඔහු එයා ළඟට ගිහින් එයාව සුව කළා. එතකොට එයාගේ උණ බැහැලා ගියා. එයා ඒ වෙලාවෙම නැඟිටලා එයාලට කෑම ලෑස්ති කරන්න පටන්ගත්තා. 40  ඉර බැහැගෙන යද්දී මිනිස්සු එක එක අසනීප හැදිලා තිබුණ අයව ඔහු ළඟට අරන් ආවා. යේසුස් ඒ හැම කෙනෙක්වම අල්ලලා එයාලව සුව කළා.+ 41  භූතයන් වැහිලා හිටපු අයවත් ඔහු සුව කළා. ඒ භූතයන් මිනිස්සුන්ගෙන් එළියට ආවේ “ඔබ දෙවියන්ගේ පුතා”+ කියලා කෑගහගෙනයි. ඒත් ඔහු භූතයන්ට තදින්ම අවවාද කළා. එයාලට කතා කරන්න ඔහු අවසර දුන්නේ නැහැ.+ මොකද ඔහු ක්‍රිස්තුස් කියලා භූතයන් දැනගෙන හිටියා.+ 42  පහුවදා එළිය වැටීගෙන එද්දී ඔහු පාළු තැනකට ගියා.+ ඒත් සෙනඟ ඔහුව හොයාගෙන ඔහු හිටපු තැනට ආවා. එයාලා උත්සාහ කළේ ඔහුට යන්න නොදී ඔහුව එහේ නවත්තගන්නයි. 43  ඒත් ඔහු එයාලට කිව්වා “මං වෙන නගරවලටත් ගිහින් දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඕනේ. මාව එවලා තියෙන්නේ ඒක කරන්නයි” කියලා.+ 44  ඉතින් ඔහු යුදයේ නගරවල තියෙන සිනගෝගවලටත් ගිහින් දේශනා කළා.

පාදසටහන්

උප. A5 බලන්න.
හෝ, “උසම තැනට.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
මූ.අ., “පවිත්‍ර.”