ලූක් 5:1-39

  • ආශ්චර්යවත් විදිහට මාළු අල්ලයි; මුල්ම ගෝලයෝ (1-11)

  • ලාදුරු රෝගියෙක්ව සුව කරයි (12-16)

  • යේසුස් අංශභාග රෝගියෙක්ව සුව කරයි (17-26)

  • යේසුස් ලෙවීට ඔහුගේ ගෝලයෙක් වෙන්න ආරාධනා කරයි (27-32)

  • නිරාහාරව ඉන්න එක ගැන ප්‍රශ්න කරයි (33-39)

5  දවසක් යේසුස් ගෙනසරෙත් විල*+ ළඟ හිටගෙන දෙවියන්ගේ වචනය ගැන උගන්වමින් හිටියා. විශාල සෙනඟක් ඔහුවත් තෙරපෙන තරමට ඔහු වටේට එක් රොක් වෙලා ඔහුට ඇහුම්කන් දුන්නා.  ඒ වෙලාවේ යේසුස් දැක්කා විල අයිනේ බෝට්ටු දෙකක් නවත්තලා තියෙනවා. මාළු අල්ලන අය බෝට්ටුවලින් බැහැලා එයාලාගේ දැල් හෝදහෝද හිටියේ.+  යේසුස් ඒ එක බෝට්ටුවකට, ඒ කියන්නේ සීමොන්ගේ බෝට්ටුවට නැඟලා ඒක වෙරළෙන් ටිකක් ඈතට ගෙනියන්න කියලා එයාට කිව්වා. ඊටපස්සේ ඔහු බෝට්ටුවේ ඉඳගෙන සෙනඟට උගන්වන්න පටන්ගත්තා.  ඔහු උගන්වලා ඉවර වුණාට පස්සේ “දැන් දියඹට ගිහින් දැල් දාන්න” කියලා සීමොන්ට කිව්වා.  ඒත් සීමොන් මෙහෙම කිව්වා. “ගුරුතුමනි, රෑ තිස්සේම අපි හුඟක් මහන්සි වුණා. අපිට එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි වුණා.+ ඒත් ඔබ කියන නිසා මං දැල් දාන්නම්.”  එයාලා එහෙම කළාම දැල් ඉරෙන තරමටම විශාල මාළු ප්‍රමාණයක් අහු වුණා.+  ඉතින් එයාලා අනිත් බෝට්ටුවේ හිටිය එයාලාගේ හවුල්කරුවන්ට අතින් සංඥා කරලා උදව් ඉල්ලුවා. එයාලා ඇවිත් බෝට්ටු දෙකටම මාළු පුරවගත්තා. ඒත් මාළුන්ගේ බරට බෝට්ටු දෙකම ගිලෙන්න පටන්ගත්තා.  ඒක දැක්කාම සීමොන් පේතෘස් යේසුස් ඉස්සරහා දණින් වැටිලා “ස්වාමීනි, මම පව්කාරයෙක්! ඔබ ළඟ ඉන්න තරම්වත් මං වටින කෙනෙක් නෙමෙයි” කියලා කිව්වා.  මොකද දැලට අහු වුණ මාළු ප්‍රමාණය දැක්කාම එයාටත් එයා එක්ක හිටපු අයටත් ඒක අදහාගන්න බැරි වුණා. 10  සීමොන්ගේ හවුල්කරුවන් වෙලා හිටිය සෙබදීගේ පුතාලා+ වන යාකොබ්ට සහ යොහන්ටත් ඒක අදහාගන්න බැරි වුණා. ඒත් යේසුස් සීමොන්ට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. අද ඉඳන් ඔයාලා මිනිස්සුන්ව අල්ලන අය වෙනවා.”+ 11  ඉතින් එයාලා බෝට්ටු ගොඩට අරන් ඇවිත් හැම දෙයක්ම අත්හැරලා යේසුස්ගේ පිටිපස්සෙන් ගියා.+ 12  තවත් දවසක ඔහු එක නගරයකට ගියා. ඇඟ පුරාම ලාදුරු රෝගය පැතිරිලා තිබුණ මිනිසෙක් ඒ නගරයේ හිටියා. එයා යේසුස්ව දැක්කාම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගෙන මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න. ඔබ කැමතිද එහෙම කරන්න?”+ 13  එතකොට ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා “ඔව්, මං කැමතියි. පවිත්‍ර වෙන්න” කියලා කිව්වා. ඒ වෙලාවෙම එයාගේ ලාදුරු රෝගය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.+ 14  වෙච්ච දේ කාටවත් කියන්න එපා කියලා කිව්වාට පස්සේ යේසුස් මෙහෙමත් කිව්වා. “පූජකයා ළඟට ගිහින් ඔයා සුව වෙලා කියලා පෙන්නන්න. මෝසෙස්ගේ නීතියේ කියලා තියෙන විදිහට+ පවිත්‍ර වෙන්න පූජාවක් ඔප්පු කරන්න. ඔයා සුව වෙලා කියන්න ඒක සාක්ෂියක් වෙයි.”+ 15  ඒත් යේසුස් කරපු දේ ගැන ආරංචිය හැම තැනම පැතිරිලා ගියා. ඒ නිසා ඔහුට ඇහුම්කන් දෙන්නත් ලෙඩ සුව කරගන්නත් විශාල සෙනඟක් ඔහු ළඟට එන්න පටන්ගත්තා.+ 16  හැබැයි යේසුස් නිතරම වගේ යාච්ඤා කරන්න පාළු තැන්වලට ගියා. 17  දවසක් ඔහු සෙනඟට උගන්වද්දී එතන පරිසිවරු* සහ නීතිය උගන්වන අයත් ඉඳගෙන හිටියා. එයාලා යෙරුසලමෙන් වගේම ගලීලයේ සහ යුදයේ හැම ගමකින්ම ආපු අය. ඒ වෙලාවේ ලෙඩ සුව කරන්න යෙහෝවාගේ* බලය යේසුස්ට ලැබිලයි තිබුණේ.+ 18  යේසුස් උගන්වමින් ඉද්දී පිරිසක් අංශභාග රෝගියෙක්ව ඇඳක තියාගෙන ඒක උස්සගෙන ආවා. එයාලට ඕනෙ වුණේ කොහොමහරි ඒ කෙනාව යේසුස් හිටපු ගේ ඇතුළට අරන් ගිහින් එයාව යේසුස් ඉස්සරහා තියන්න.+ 19  ඒත් එතන ගොඩක් සෙනඟ හිටපු නිසා එයාව ඇතුළට අරගෙන යන්න එයාලට බැරි වුණා. ඒ නිසා එයාලා ගෙදර වහලෙට නැඟලා වහලේ සෙවිලි අයින් කළා. ඊටපස්සේ රෝගියාව ඇඳ පිටින්ම යේසුස් ඉන්න තැනට බැස්සුවා. 20  යේසුස් එයාලාගේ විශ්වාසය දැකලා ඒ කෙනාට කිව්වා “ඔයාගේ පව්වලට සමාව ලැබුණා” කියලා.+ 21  එතකොට නීතිය පිටපත් කරන අයයි,* පරිසිවරුයි මෙහෙම කතා වෙන්න පටන්ගත්තා. “දෙවියන්ට අපහාස කරන මේ මනුස්සයා කවුද? පව්වලට සමාව දෙන්න පුළුවන් දෙවියන්ට විතරයිනේ.”+ 22  ඒත් එයාලාගේ හිතේ තියෙන දේ දැනගෙන හිටිය යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා මොනවාද ඔය හිතන්නේ? 23  ලේසිම දේ මොකක්ද? ‘ඔයාගේ පව්වලට සමාව ලැබිලා’ කියන එකද? නැත්නම් ‘නැඟිටලා ඇවිදින්න’ කියන එකද? 24  ඒත් මනුෂ්‍ය පුත්‍රයාට මේ පොළොවේදී පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .” ඊටපස්සේ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.”+ 25  එතකොට ඒ කෙනා හැමෝම ඉස්සරහා ඇඳෙන් නැඟිට්ටා. ඊටපස්සේ එයා එයාගේ ඇඳත් අරගෙන දෙවියන්ට ප්‍රශංසා කරකර ගෙදර ගියා. 26  ඒක දැක්කාම හැමෝම පුදුම වෙලා දෙවියන්ට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. එයාලාගේ හිත්වල ලොකු බයකුත් ඇති වුණා. ඒ වෙලාවේ එයාලා මෙහෙම කිව්වා. “අද නම් අපි දැක්කේ හරිම පුදුම දේවල්!” 27  ඊටපස්සේ යේසුස් එතනින් ගියා. ඒ යන අතරේ බදු එකතු කරන කෙනෙක් වුණ ලෙවී බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා ඔහු දැක්කා. යේසුස් එයාට කිව්වා “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියලා.+ 28  එතකොට එයා නැඟිටලා ඒ හැම දෙයක්ම අත්හැරලා යේසුස් පස්සේ ගියා. 29  යේසුස් වෙනුවෙන් ලෙවී එයාගේ ගෙදර ලොකු භෝජන සංග්‍රහයක් ලෑස්ති කළා. කෑමට ආරාධනා කරපු අය අතරේ බදු එකතු කරන හුඟදෙනෙකුත් හිටියා.+ 30  ඒක දැක්කාම පරිසිවරුයි, එයාලාගේ පැත්තේ හිටපු නීතිය පිටපත් කරන අයයි යේසුස්ගේ ගෝලයන්ට මෙහෙම චෝදනා කළා. “ඔයාලා බදු එකතු කරන අයයි, පව්කාරයනුයි එක්ක එකට ඉඳගෙන කන්නේ බොන්නේ ඇයි?”+ 31  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “දොස්තර කෙනෙක් ඕනෙ ලෙඩින් ඉන්න අයට. නිරෝගී අයට දොස්තර කෙනෙක්ගෙන් වැඩක් නැහැ.+ 32  මම ආවේ වැරදි කරන අයට පසුතැවිලි වෙන්න උදව් කරන්න මිසක් ධර්මිෂ්ඨ අයට උදව් කරන්න නෙමෙයි.”+ 33  ඊටපස්සේ එයාලා ඔහුට මෙහෙම කිව්වා. “යොහන්ගේ ගෝලයන් දෙවියන්ට කන්නලව් කරනවා. නිතරම වගේ නිරාහාරව ඉන්නවා. පරිසිවරුන්ගේ ගෝලයනුත් එහෙම කරනවා. හැබැයි ඔයාගේ ගෝලයන් කකා බිබී ඉන්නවා.”+ 34  ඒකට යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මනාලයා තමන් එක්ක ඉද්දී මනාලයාගේ යාළුවන්ට නිරාහාරව ඉන්න කියලා කියන්න පුළුවන්ද? 35  ඒත් මනාලයාව+ එයාලාගෙන් වෙන් කරන දවස අනිවාර්යයෙන්ම එනවා. එදාට එයාලා නිරාහාරව ඉඳියි.”+ 36  ඔහු එයාලට මේ උදාහරණය කිව්වා. “කිසිම කෙනෙක් අලුත් ඇඳුමකින් රෙදි කෑල්ලක් කපලා ඒක පරණ ඇඳුමකට මූට්ටු කරන්නේ නැහැ. එහෙම කළොත් අලුත් රෙදි කෑල්ල මූට්ටු කරපු තැනින් ඉරිලා යයි. මොකද අලුත් රෙදි කෑල්ල පරණ ඇඳුමට ගැළපෙන්නේ නැහැ.+ 37  ඒ වගේම තමයි කිසිම කෙනෙක් අලුත් වයින් පරණ හම් භාජනවලට දාන්නෙත් නැහැ. එහෙම කළොත් අලුත් වයින් නිසා හම් භාජන පැළිලා වයින් හැලිලා යයි. හම් භාජනත් නාස්ති වෙයි. 38  ඒ නිසා අලුත් වයින් දාන්න ඕනෙ අලුත් හම් භාජනවලට. 39  පරණ වයින් බීපු කෙනෙක් කවදාවත් අලුත් වයින්වලට කැමති වෙන්නේ නැහැ. මොකද ‘පරණ වයින් තමයි රහ’ කියලා එයා කියයි.”

පාදසටහන්

ඒ කියන්නේ ගලීල මුහුද.
උප. A5 බලන්න.