ලූක් 6:1-49

  • යේසුස් “සබත් දවසේ ස්වාමියා” (1-5)

  • අතක් පණ නැති මිනිසෙක්ව සුව කරයි (6-11)

  • නියෝජිතයන් 12දෙනා (12-16)

  • යේසුස් උගන්වයි. සුව කරයි (17-19)

  • සන්තෝෂවත් අය සහ දුක් වෙන්න වෙන අය (20-26)

  • සතුරන්ට ආදරේ කරන්න (27-36)

  • විනිශ්චය කරන එක නවත්තන්න (37-42)

  • පලවලින් අඳුරගන්න පුළුවන් (43-45)

  • ශක්තිමත්ව හදපු ගෙයක්; හොඳ අත්තිවාරමක් නැතුව හදපු ගෙයක් (46-49)

6  සබත් දවසකදී යේසුස් ධාන්‍ය කෙත් මැදින් ඇවිදගෙන යද්දී ඔහුත් එක්ක ගිය ගෝලයෝ ධාන්‍ය කරල් කඩලා+ ඒවා අතින් පොඩි කරලා කන්න පටන්ගත්තා.+  ඒක දැක්කාම පරිසිවරු කීපදෙනෙක් මෙහෙම කිව්වා. “ඇයි ඔයාලා සබත් දවසේ කරන්න අවසර නැති දෙයක් කරන්නේ?”+  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “දාවිත්ටයි, එයාත් එක්ක හිටපු මිනිස්සුන්ටයි බඩගිනි වුණාම දාවිත් මොනවාද කළේ කියලා ඔයාලා කවදාවත් කියවලා නැද්ද?+  දාවිත් දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙලා පූජකයන්ට විතරක් කන්න අවසර තිබුණ ශුද්ධ රොටි* ඉල්ලගෙන කෑවා. ඒවා එයා එක්ක හිටපු අයටත් දුන්නා. ඒක ඔයාලට මතක නැද්ද?”+  ඊටපස්සේ ඔහු එයාලට මෙහෙම කිව්වා. “සබත් දවසේ ස්වාමියා මනුෂ්‍ය පුත්‍රයායි.”+  තවත් සබත් දවසකදී+ ඔහු සිනගෝගයට ගිහින් උගන්වන්න පටන්ගත්තා. එතන දකුණු අත පණ නැති* මිනිසෙක් හිටියා.+  සබත් දවසේදී යේසුස් කාව හරි සුව කරයිද නැද්ද කියලා නීතිය පිටපත් කරන අයයි, පරිසිවරුයි හොඳට බලාගෙනයි හිටියේ. මොකද එයාලට ඕනෙ වුණේ මොනවා හරි විදිහකින් ඔහුට චෝදනා කරන්න.  ඒත් එයාලාගේ හිතේ තියෙන දේ දැනගෙන+ හිටිය යේසුස්, අතක් පණ නැති කෙනාට කිව්වා “නැඟිටලා මැද්දට එන්න” කියලා. එතකොට එයා නැඟිටලා එතනට ඇවිත් හිටගත්තා.  ඊළඟට යේසුස් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “මම කැමතියි ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහන්න. නීතියේ කියන විදිහට සබත් දවසේ අපි කරන්න ඕනෙ හොඳ දේවල්ද නරක දේවල්ද? ජීවිතයක් බේරගන්න එකද නැති කරලා දාන එකද?”+ 10  ඔහු හැමෝම දිහා බලලා ඒ කෙනාට කිව්වා “ඔයාගේ අත දික් කරන්න” කියලා. එයා එහෙම කළාම එයාගේ අත සුව වුණා. 11  ඒත් නීතිය පිටපත් කරන අයටයි, පරිසිවරුන්ටයි හොඳටම කේන්ති ගියා. යේසුස්ට අනතුරක් කරන්න පුළුවන් විදිහක් ගැන එයාලා කතා වෙන්න පටන්ගත්තා. 12  දවසක් යේසුස් යාච්ඤා කරන්න කන්දකට ගියා.+ එතනදී ඔහු මුළු රෑම දෙවියන්ට යාච්ඤා කළා.+ 13  උදේ වෙද්දී ඔහු තමන්ගේ ගෝලයන්ට එන්න කියලා එයාලා අතරින් 12දෙනෙක්ව තෝරගෙන එයාලව “නියෝජිතයන්”* විදිහට හැඳින්නුවා. මේ, ඒ අයගේ නම්.+ 14  යේසුස් පේතෘස් විදිහටත් හඳුන්වපු සීමොන්, සීමොන්ගේ සහෝදරයා වුණ අන්දෘ, යාකොබ්, යොහන්, ෆිලිප්,+ බාතොලමෙව්, 15  මතෙව්, තෝමස්,+ අල්ෆෙවුස්ගේ පුතා වුණ යාකොබ්, “ලොකු උද්‍යෝගයකින් වැඩ කරන කෙනා” විදිහට හඳුන්වපු සීමොන්, 16  යාකොබ්ගේ පුතා වුණ යූදස් සහ පස්සේ යේසුස්ට ද්‍රෝහි වුණ යූදස් ඉස්කාරියොත්. 17  යේසුස් එයාලා එක්ක කන්දෙන් බැහැගෙන ඇවිත් තැනිතලා බිමක නැවතුණා. එතනට ඔහුගේ ගෝලයෝ සෑහෙන දෙනෙක් ඇවිත් හිටියා. ඒ වගේම මුළු යුදයෙනුත් යෙරුසලමෙනුත් මුහුදුබඩ පළාතේ තියෙන තීර් සහ සීදොන්වලිනුත් ලොකු සෙනඟක් එතන රැස් වෙලා හිටියා. එයාලා ඇවිත් හිටියේ යේසුස්ට සවන් දෙන්න සහ එයාලාගේ ලෙඩ සුව කරගන්න. 18  භූතයන්ගෙන් හිරිහැර විඳින අයවත් ඔහු සුව කළා. 19  යේසුස්ව ඇල්ලුවාම ඔහුගේ ශක්තිය වැය වෙලා+ ඔහුව අල්ලපු හැමෝම සුව වුණා කියලා එතන හිටපු අය දැක්කා. ඒ නිසා හැමෝම වගේ යේසුස්ව අල්ලන්න උත්සාහ කළා. 20  යේසුස් ඔහුගේ ගෝලයන් දිහා බලලා මෙහෙම කිව්වා. “ඔයාලා දුප්පත් වුණත් ඔයාලා සන්තෝෂවත්. මොකද දෙවියන්ගේ රාජ්‍යය අයිති ඔයාලටයි.+ 21  “ඔයාලා දැන් බඩගින්නේ හිටියත් ඔයාලා සන්තෝෂවත්. මොකද ඔයාලව තෘප්තිමත් කරයි.+ “ඔයාලා දැන් ඇඬුවත් ඔයාලා සන්තෝෂවත්. මොකද ඔයාලා සතුටින් හිනා වෙන කාලයක් එයි.+ 22  “මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිස්සු ඔයාලට වෛර කරද්දී,+ ඔයාලව කොන් කරද්දී,+ ඔයාලට නින්දා කරද්දී ඔයාලාගේ හොඳ නමට අපහාස කරද්දී* ඔයාලා සන්තෝෂවත්. 23  එහෙම වෙද්දී සතුටු වෙන්න. සතුටින් ඉපිල යන්න. මොකද ස්වර්ගයේ ඔයාලට වටිනා තෑග්ගක් තියෙනවා. ඒ වගේම එයාලාගේ මුතුන්මිත්තනුත් කලින් හිටපු අනාගතවක්තෘවරුන්ට සැලකුවේ ඒ විදිහටමයි.+ 24  “ඒත් දැන් පොහොසත් ජීවිතයක් ගත කරන ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද!+ මොකද විඳින්න තියෙන හැම සැපක්ම ඔයාලා දැනටමත් විඳලයි තියෙන්නේ.+ 25  “දැන් තෘප්තිමත් වෙලා ඉන්න ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද! මොකද ඔයාලට බඩගින්නේ ඉන්න වෙන කාලයක් එයි. “දැන් හිනා වෙවී ඉන්න ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද! මොකද ඔයාලට හඬා වැලපෙන්න සිද්ධ වෙයි.+ 26  “හැම කෙනෙක්ම ඔයාලව වර්ණනා කළත් ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද!+ මොකද එයාලාගේ මුතුන්මිත්තනුත් බොරු අනාගතවක්තෘවරුන්ව ඒ විදිහටම වර්ණනා කළා. 27  “ඒත් මේ දේවල් අහගෙන ඉන්න හැමෝටම මං කියන්නේ මෙහෙමයි. දිගටම ඔයාලාගේ සතුරන්ට ආදරේ කරන්න. ඔයාලට වෛර කරන අයට යහපත් දේවල් කරන්න.+ 28  දිගටම ඔයාලට ශාප කරන අයට ආශීර්වාද කරන්න. ඔයාලට නින්දා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න.+ 29  කෙනෙක් ඔයාලාගේ කම්මුලට ගැහුවොත් අනිත් කම්මුලටත් ගහන්න එයාට ඉඩ දෙන්න. කෙනෙක් ඔයාලාගේ පිට වස්ත්‍රය අරන් ගියොත් ඔයාලාගේ ඇතුල් වස්ත්‍රයත් එයාට දෙන්න.+ 30  කෙනෙක් ඔයාලාගෙන් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් එයාට ඒක දෙන්න.+ කෙනෙක් ඔයාලට අයිති දේවල් ගත්තොත් ඒවා ආයෙත් එයාගෙන් ඉල්ලන්න එපා. 31  “ඒ වගේම අනිත් අය ඔයා වෙනුවෙන් යම් දෙයක් කරනවාට ඔයා කැමති නම් ඔයාත් ඒ දේම ඒ අය වෙනුවෙන් කරන්න.+ 32  “ඔයාලට ආදරේ කරන අයට විතරක් ඔයාලා ආදරේ කරනවා නම් ඒක ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ දෙයක් කියලා හිතනවාද? මොකද දුෂ්ට දේවල් කරන අයත් එයාලට ආදරේ කරන අයට ආදරේ කරනවා.+ 33  ඔයාලට යහපත් දේවල් කරන අයටම ඔයාලා යහපත් දේවල් කරනවා නම් ඒක ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ දෙයක් කියලා හිතනවාද? දුෂ්ට දේවල් කරන අයත් කරන්නේ ඒ දේම නෙමෙයිද? 34  ණයක් ආපහු ගෙවන්න පුළුවන් කෙනෙක්ට ඔයාලා ණයක්* දෙනවා නම් ඒක ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ දෙයක් කියලා හිතනවාද?+ මොකද දුෂ්ට දේවල් කරන අයත් දුන්න මුදල ආපහු ගන්න බලාගෙන දුෂ්ට අයට ණයට දෙනවා. 35  ඒත් ඔයාලා දිගටම ඔයාලාගේ සතුරන්ට ආදරේ පෙන්නන්න. දිගටම යහපත් දේවල් කරන්න. අනිත් අයට ණයට දෙන්න. ඒ වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.+ එතකොට ඔයාලට මිල කරන්න බැරි තෑග්ගක් ලැබෙයි. ඔයාලා එහෙම කරද්දී ඒකෙන් ඔප්පු වෙයි ඔයාලා උසස්ම දෙවියන්ගේ දරුවන්* කියලා. මොකද දෙවියන් දුෂ්ටයන්ටත් කිසි කෙළෙහි ගුණයක් නැති අයටත් කාරුණිකව සලකනවා.+ 36  ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ තාත්තා වගේ ඔයාලත් අනිත් අයට දිගටම දයාව පෙන්නන්න.+ 37  “අනිත් අයව විනිශ්චය කරන එක නවත්තන්න. එතකොට ඔයාලවත් විනිශ්චය කරන්නේ නැහැ.+ අනිත් අයව හෙළා දකින එකත් නවත්තන්න. එතකොට ඔයාලවත් හෙළා දකින්නේ නැහැ. දිගටම අනිත් අයට සමාව දෙන්න. එතකොට ඔයාලටත් සමාව ලැබෙයි.+ 38  අනිත් අයට දෙන්න පුරුදු වෙන්න. එතකොට අනිත් අයත් ඔයාලට දෙයි.+ එයාලා ඇති තරම් ඔයාලාගේ ඔඩොක්කුවලට මැනලා දෙයි. එයාලා දෙද්දී ඒ දෙන දේ හොලවලා, තද කරලා, පිරිලා ඉතිරිලා යන්න ඔයාලට දෙයි. මොකද ඔයාලා මනින මිම්මෙන්මයි ඔයාලටත් මැනලා දෙන්නේ.” 39  ඊටපස්සේ යේසුස් එයාලට මේ උදාහරණ කිව්වා. “අන්ධ කෙනෙක් ගැන හිතන්න. එයාට පුළුවන්ද තවත් අන්ධ කෙනෙක්ට මඟ පෙන්නන්න? එහෙම කළොත් ඒ දෙන්නාම වළක වැටෙයි නේද?+ 40  දැන් ශිෂ්‍යයෙක්* ගැන හිතන්න. එයා එයාගේ ගුරුවරයාට වඩා උසස් නැහැ. ඒත් ගුරුවරයා ශිෂ්‍යයෙක්ට කිසිම අඩුවක් නැතුව හොඳින් ඉගැන්නුවොත් ඒ ශිෂ්‍යයාත් එයාගේ ගුරුවරයා වගේ වෙයි. 41  එහෙනම් ඔයාලාගේ ඇහේ තියෙන පරාලය දිහා බලන්නේ නැතුව ඔයාලාගේ සහෝදරයාගේ ඇහේ තියෙන රොඩ්ඩ දිහා බලන්නේ ඇයි?+ 42  ඔයාලාගේ ඇහේ තියෙන පරාලය ඔයාලට පේන්නේ නැහැ. එහෙනම් කොහොමද ‘ඔයාගේ ඇහේ තියෙන රොඩ්ඩ අයින් කරන්න මට ඉඩ දෙන්න’ කියලා ඔයාලාගේ සහෝදරයාට කියන්නේ? කුහකයෙනි, ඉස්සෙල්ලාම ඔයාලාගේ ඇහේ තියෙන පරාලය අයින් කරගන්න. එතකොට ඔයාලාගේ සහෝදරයාගේ ඇහෙන් රොඩ්ඩ අයින් කරන්නේ කොහොමද කියලා ඔයාලට හොඳට පෙනෙයි. 43  “හොඳ ගහකින් වැඩකට නැති පල හටගන්නේ නැහැ. ඒ වගේම නරක ගහකින් හොඳ පල ලැබෙන්නෙත් නැහැ.+ 44  ගහක පලවලින් ඒක මොන වගේ ගහක්ද කියලා දැනගන්න පුළුවන්.+ උදාහරණෙකට මිනිස්සු කටු ගස්වලින් අත්තික්කා ගෙඩි කඩාගන්නෙවත් කටු පඳුරකින් මිදිපොකුරු කපාගන්නෙවත් නැහැ. 45  යහපත් කෙනෙක් එයාගේ කටින් පිට කරන්නේ එයාගේ හිතේ පුරවගෙන ඉන්න යහපත් දේවල්. ඒත් දුෂ්ට කෙනෙක් එයාගේ කටින් පිට කරන්නේ එයාගේ හිතේ පුරවගෙන ඉන්න දුෂ්ට දේවල්. මොකද කෙනෙක්ගේ කටින් පිට වෙන්නේ එයාගේ හිතේ පිරිලා තියෙන දේ.+ 46  “එහෙනම් ඔයාලා මං කියන දේවල් කරන්නේ නැතුව මට ‘ස්වාමීනි! ස්වාමීනි’ කියලා කියන්නේ ඇයි?+ 47  මං ළඟට ඇවිත් මං කියන දේවල් අහලා ඒවා පිළිපදින හැමෝම සමාන වෙන්නේ කාටද කියලා මම දැන් කියන්නම්.+ 48  ඒ වගේ කෙනෙක් හරියට පර්වතයක් මත ගෙයක් හදන කෙනෙක් වගේ. එයා ගල මතු වෙන කල්ම පොළොව ගැඹුරට හාරලා ඒ ගල උඩ ගෙයි අත්තිවාරම දානවා. ගංවතුරක් ඇවිත් වතුර වේගයෙන් ගලලා ඒ ගෙට ගැහුවත් ඒක හෙල්ලෙන්නෙවත් නැහැ. මොකද ඒ ගේ ශක්තිමත්ව හදලා තියෙනවා.+ 49  අනිත් අතට මං කියන දේවල් අහගෙන හිටියත් ඒවා පිළිපදින්නේ නැති කෙනා+ හරියට අත්තිවාරමක් දාන්නේ නැතුව පොළොව මතුපිට ගෙයක් හදන කෙනෙක් වගේ. ගංවතුරක් ඇවිත් වතුර වේගයෙන් ගලලා ඒ ගෙට ගැහුව ගමන්ම ඒක කඩාගෙන වැටෙනවා. ඉතුරු වෙන්නේ සුන්බුන් ටික විතරයි.”

පාදසටහන්

හෝ, “දෙවියන්ට පූජා කරන රොටි.”
මූ.අ., “වියළුණ අතක් තියෙන.”
හෝ, “යවනු ලැබූ අය.”
මූ.අ., “ඔයාලට තියෙන්නේ දුෂ්ට නමක් කියලා චෝදනා කරද්දී.”
ඒ කියන්නේ පොලී නැති ණයක්.
මූ.අ., “පුතාලා.”
හෝ, “ගෝලයෙක්.”