ලූක් 8:1-56

  • යේසුස් එක්ක සංචාරය කරපු කාන්තාවන් (1-3)

  • වපුරන්නා ගැන කියපු උදාහරණය (4-8)

  • යේසුස් උදාහරණ පාවිච්චි කරපු හේතුව (9, 10)

  • වපුරන්නා ගැන කියපු උදාහරණය පැහැදිලි කරයි (11-15)

  • පහනක් වහලා තියන්නේ නැහැ (16-18)

  • යේසුස්ගේ අම්මා සහ මල්ලිලා (19-21)

  • යේසුස් කුණාටුවක් නිශ්චල කරයි (22-25)

  • යේසුස් භූතයන්ට ඌරු රැළකට වැහෙන්න ඉඩ දෙනවා (26-39)

  • යායිරස්ගේ දුව; කාන්තාවක් යේසුස්ගේ ඇඳුමේ වාටිය අල්ලයි (40-56)

8  ටික වෙලාවකට පස්සේ යේසුස් නගරයෙන් නගරයටත් ගමින් ගමටත් ගිහින් දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා.+ ඔහුත් එක්ක ඔහුගේ නියෝජිතයන් දොළොස්දෙනාත් හිටියා.  භූතයන්ගෙන් නිදහස ලබපු සහ අසනීපවලින් සුවය ලබපු කාන්තාවන් කීපදෙනෙකුත් ඔහුත් එක්ක ගියා. ඒ අය අතරේ භූතයන් හත්දෙනෙක්ගෙන් නිදහස ලබපු මග්දලේනා කියන නමින් හඳුන්වපු මරියාත්  හෙරොද්ගේ වැඩ භාරව හිටපු නිලධාරියා වුණ කූසාගේ බිරිඳ යොවානාත්+ සුසෑනාත් තවත් හුඟදෙනෙකුත් හිටියා. ඒ කාන්තාවන් එයාලට අයිති දේවල් පාවිච්චි කරලා යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ට උදව් කළා.+  යේසුස් නගරයෙන් නගරයට යද්දී ඔහු එක්ක ගිය පිරිසට තවත් විශාල සෙනඟක් එකතු වුණා. ඒ වෙලාවේ ඔහු එයාලට උදාහරණයක් පාවිච්චි කරලා මෙහෙම ඉගැන්නුවා.+  “මිනිසෙක් බීජ වපුරන්න පිටත් වෙලා ගියා. එයා වපුරද්දී සමහර බීජ පාර දිගේ වැටුණා. ඒවා යන එන අයගේ කකුල්වලට පෑගුණා. කුරුල්ලොත් ඇවිත් ඒවා කාලා දැම්මා.+  තවත් සමහර බීජ ගල් බිමක වැටුණා. ඒවා පැළ වුණත් එතන තෙතමනයක් තිබුණේ නැති නිසා ඒවා වේළිලා ගියා.+  තවත් බීජ වැටුණේ කටු ගස් අතරේ. ඒවාත් එක්ක කටු ගසුත් වැවුණ නිසා කටු ගස් ඒවා යට කරලා දැම්මා.+  ඒත් අනිත් බීජ සරු පසේ වැටුණා. ඒවා පැළ වෙලා ඒවාවලින් 100 ගුණයක පලදාවක් ලැබුණා.”+ ඔහු ඒ දේවල් කිව්වාට පස්සේ “ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න”* කියලා ශබ්ද නඟලා කිව්වා.+  ඒත් ඒ උදාහරණේ තේරුම මොකක්ද කියලා ඔහුගේ ගෝලයෝ ඔහුගෙන් ඇහුවා.+ 10  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යය ගැන පරිශුද්ධ රහස් තේරුම්ගන්න හැකියාව ඔයාලට දීලා තියෙනවා. ඒත් අනිත් අයට ඒවා නිකම්ම උදාහරණ විතරයි.+ ඒ නිසයි එයාලා කොච්චර බැලුවත් එයාලට පේන්නේ නැත්තේ. කොච්චර ඇහුණත් එයාලට නියම අර්ථය තේරෙන්නේ නැත්තේ.+ 11  දැන් උදාහරණේ තේරුම මං ඔයාලට කියන්නම්. බීජවලින් අදහස් කරන්නේ දෙවියන්ගේ පණිවිඩයයි.+ 12  පාර දිගේ වැටුණ බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩයට ඇහුම්කන් දුන්නත් යක්ෂයා ඇවිත් එයාගේ හිතේ වපුරලා තියෙන ඒ දේ උදුරගන්නවා. යක්ෂයා එහෙම කරන්නේ ඒ කෙනා විශ්වාසයක් ඇති කරගෙන ගැලවීම ලබාගන්න එක වළක්වන්නයි.+ 13  ගල් බිම්වල වැටුණ බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩය අහලා ඒක හරිම සතුටින් පිළිගන්නවා. ඒත් ඒ පණිවිඩය එයාගේ හිතේ මුල් බහින්නේ නැහැ. ටික කාලයක් එයාගේ හිතේ විශ්වාසයක් තිබුණත් පරීක්ෂාවලට මුහුණ දෙද්දී එයාගේ විශ්වාසය නැති වෙලා යනවා.+ 14  කටු ගස් අතරේ වැටුණ බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩය අහනවා. ඒත් එදිනෙදා ඇති වෙන කනස්සල්ල, සල්ලි හම්බ කරන්න තියෙන ආසාව+ සහ විනෝද වෙන්න තියෙන ආසාව+ එයාගේ හිතට රිංගලා පණිවිඩය සම්පූර්ණයෙන්ම යටපත් කරනවා. ඒ නිසා එයා පල දරන්නේ නැහැ.+ 15  සරු පසේ වැටුණ බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් හොඳ, අවංක හදවතකින්+ පණිවිඩය අහලා ඒක පිළිගන්නවා. එයා ඒ පණිවිඩය දිගටම හිතේ තියාගෙන විඳදරාගෙන පල දරනවා.+ 16  “කිසිම කෙනෙක් පහනක් දල්වලා ඒක බඳුනකින් වහන්නෙවත් ඇඳක් යට තියන්නෙවත් නැහැ. ඒ වෙනුවට ගෙදරට එන අයට ඒකේ ආලෝකය ලැබෙන විදිහට එයා ඒක පහන් රුකක් උඩ තියනවා.+ 17  හංගලා තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම එළි වෙනවා. පරෙස්සමින් හංගලා තියෙන හැම දෙයක්මත් එළි වෙනවා. ඒ ගැන හැමෝටම දැනගන්න ලැබෙනවා.+ 18  ඒ නිසා ඔයාලා හොඳින් සවන් දෙනවාද කියලා හිතලා බලන්න. මොකද අවබෝධයක් තියෙන කෙනාට තවත් අවබෝධය ලබා දෙනවා.+ ඒත් අවබෝධය නැති කෙනාගෙන් එයාට තියෙනවා කියලා එයා හිතන අවබෝධයත් අරගන්නවා.”+ 19  මේ අතරේ යේසුස්ගේ අම්මායි, මල්ලිලයි+ ඔහුව හම්බ වෙන්න ආවා. ඒත් ලොකු සෙනඟක් ඇවිත් හිටපු නිසා යේසුස්ට ළං වෙන්නවත් එයාලට බැරි වුණා.+ 20  ඉතින් කෙනෙක් ඇවිල්ලා ඔහුට මෙහෙම කිව්වා. “ඔයාගේ අම්මායි, මල්ලිලයි එළියේ ඉන්නවා. එයාලට ඔයාව හම්බ වෙන්න ඕනෙලු.” 21  එතකොට ඔහු කිව්වා “දෙවියන්ගේ පණිවිඩය අහලා ඒක පිළිපදින මේ අයව තමයි මං මගේ අම්මලා, මල්ලිලා විදිහට සලකන්නේ” කියලා.+ 22  දවසක් යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක බෝට්ටුවකට නැඟලා එයාලට කිව්වා “අපි මුහුදෙන් එගොඩට යමු” කියලා. ඉතින් එයාලා එගොඩට යන්න පිටත් වුණා.+ 23  ඔහොම යද්දී යේසුස්ට නින්ද ගියා. ඔය අතරේ එකපාරටම දරුණු කුණාටුවක් හමන්න ගත්තා. බෝට්ටුව වතුරෙන් පිරිලා ඒක ගිලෙන්න පටන්ගත්තා.+ 24  ඉතින් එයාලා යේසුස් ළඟට ගිහින් ඔහුව ඇහැරවලා “ගුරුතුමනි, ගුරුතුමනි, අපි මැරෙන්නයි යන්නේ” කියලා කිව්වා. ඔහු නැඟිටලා හුළඟටත් රළ පහරටත් තදින් කතා කළා. එතකොට කුණාටුව නතර වෙලා මුහුද සම්පූර්ණයෙන්ම නිශ්චල වුණා.+ 25  ඊටපස්සේ ඔහු එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලාගේ විශ්වාසයට මොකද වුණේ?” ඒ වෙලාවේ එයාලා හිටියේ හොඳටම බය වෙලා. එයාලා පුදුමයෙන් මෙහෙම කතා වුණා. “ඇත්තටම මේ කවුද? ඔහු හුළඟටත් මුහුදටත් අණ දෙනවා. ඒවාත් ඔහු කියන දේ අහනවා.”+ 26  ඊටපස්සේ එයාලා ගෙරසීනවරුන්ගේ පළාතට ගොඩ බැස්සා.+ ඒක තිබුණේ ගලීල මුහුදේ එහා පැත්තේ. 27  යේසුස් බෝට්ටුවෙන් බැස්සාම ඒ නගරේ ඉන්න භූතයෙක් ආවේශ වුණ කෙනෙක් ඔහු ළඟට ආවා. එයා සෑහෙන කාලයක් කිසිම ඇඳුමක් අඳින්නේ නැතුවයි හිටියේ. එයා ජීවත් වුණේ ගෙදරක නෙමෙයි සොහොන් ගෙවල්* අවට.+ 28  එයා යේසුස්ව දැක්ක ගමන්ම කෑගහලා යේසුස් ළඟ දණින් වැටිලා හයියෙන් මෙහෙම කිව්වා. “උසස්ම දෙවියන්ගේ පුතා යේසුස්, ඔබට මොනවාද මගෙන් ඕනේ? මං ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ මට වධ දෙන්න නම් එපා කියලයි.”+ 29  (එයා ඒ වගේ දෙයක් කිව්වේ භූතයාට එළියට එන්න කියලා යේසුස් අණ කරපු නිසයි. කීප සැරයක්ම* ඒ භූතයා ඒ කෙනාට ආවේශ වෙලා තිබුණා.+ ඒ නිසා එයාව මෙල්ල කරන්න නිතරම වගේ දම්වැල්වලින් සහ විලංගුවලින් බැඳලා එයාව මුර කළා. ඒත් එයා ඒවා කඩලා දාලා එතනින් පැනලා ගිහින් පාළු තැන්වලට වෙලා හිටියා. එයා එහෙම ගියේ භූතයාගේ බලපෑම නිසයි.) 30  යේසුස් එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාගේ නම මොකක්ද?” එයා කිව්වා “සේනාංකය” කියලා. එයා එහෙම කිව්වේ එයාට භූතයන් හුඟදෙනෙක් ආවේශ වෙලා හිටපු නිසයි. 31  භූතයන් දිගටම බැගෑපත් වෙලා යේසුස්ගෙන් ඉල්ලුවා එයාලව අගාධයට යවන්න එපා කියලා.+ 32  ඒ වෙලාවේ කන්ද උඩ ඌරු රැළක්+ කෑම කකා හිටියා. ඉතින් ඒ භූතයෝ උන්ට වැහෙන්න ඉඩ දෙන්න කියලා යේසුස්ගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවා. යේසුස් ඒකට ඉඩ දුන්නා.+ 33  ඉතින් භූතයෝ ඒ කෙනාගෙන් එළියට ඇවිල්ලා ඌරු රැළට වැහුණා. උන් වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන්* පහළ තිබුණ මුහුදට වැටිලා ගිලිලා මැරුණා. 34  ඒක දැක්කාම ඒ රැළ බලාගත්ත අය දුවගෙන ගිහින් සිද්ධ වුණ දේ ගැන නගරයේ සහ ඒ අවට හිටපු මිනිස්සුන්ට දැනුම් දුන්නා. 35  සිද්ධ වුණ දේ බලන්න සෙනඟ එතනට එකතු වුණා. එයාලා යේසුස් ඉන්න තැනට ආවාම එයාලා දැක්කා භූතයන්ගෙන් නිදහස් වුණ කෙනා ඇඳුම් ඇඳගෙන හොඳ සිහිකල්පනාවෙන් යේසුස්ගේ කකුල් දෙක ළඟ ඉඳගෙන ඉන්නවා. ඒක දැකලා එයාලා හොඳටම බය වුණා. 36  භූතයන් ආවේශ වෙලා හිටපු කෙනාව යේසුස් සුව කරපු විදිහ දැක්ක අය ඒක වුණ විදිහ ගැන එතනට ආපු අයට කිව්වා. 37  ඉතින් ගෙරසීනවරුන්ගේ පළාතේ හිටපු හුඟදෙනෙක් හොඳටම බය වෙලා එයාලාගේ පළාතෙන් යන්න කියලා යේසුස්ගෙන් ඉල්ලුවා. ඉතින් යේසුස් බෝට්ටුවට නැඟලා එතනින් යන්න ලෑස්ති වුණා. 38  ඒත් භූතයන්ගෙන් නිදහස් වුණ කෙනා දිගටම යේසුස්ගෙන් ඉල්ලුවා එයාටත් ඔහු එක්ක එන්න ඉඩ දෙන්න කියලා. ඒත් යේසුස් ඒකට ඉඩ දෙන්නේ නැතුව මෙහෙම කිව්වා.+ 39  “ඔයා දැන් ගෙදර යන්න. දෙවියන් ඔයා වෙනුවෙන් කරපු දේ අමතක කරන්නේ නැතුව හැමෝටම කියන්න.” ඉතින් යේසුස් එයා වෙනුවෙන් කරපු දේ ඒ කෙනා නගරයේ හැම තැනකටම ගිහින් කිව්වා. 40  යේසුස් ආයෙත් මුහුදෙන් එහා පැත්තට ගියාම ඔහු එන කල් බලාගෙන හිටපු සෙනඟ ඔහුව හුඟක් ආදරෙන් පිළිගත්තා.+ 41  එතකොට යායිරස් කියලා කෙනෙක් යේසුස් ළඟට ආවා. එයා සිනගෝගයේ නායකයෙක්. එයා යේසුස්ගේ කකුල් ළඟ වැටිලා, එයාගේ ගෙදර එන්න කියලා දිගින් දිගටම බැගෑපත් වුණා.+ 42  එයා යේසුස්ට එන්න කිව්වේ අවුරුදු 12ක් විතර වයස එයාගේ එකම දුව මරණාසන්නව හිටපු නිසයි. යේසුස් එහෙට යද්දී සෙනඟ ඔහුගේ ඇඟේ හැප්පෙන තරමට තෙරපි තෙරපි හිටියේ. 43  ඒ සෙනඟ අතරේ අවුරුදු 12ක් තිස්සේ ලේ ගැලීමක් නිසා+ ගොඩක් දුක් විඳපු කාන්තාවක් හිටියා. කාටවත් එයාව සනීප කරන්න බැරි වුණා.+ 44  එයා යේසුස්ගේ පිටිපස්සෙන් ඇවිත් ඔහුගේ ඇඳුමේ වාටිය ඇල්ලුවා.+ ඒ වෙලාවෙම ලේ ගැලීම නතර වෙලා එයා සුව වුණා. 45  ඉතින් යේසුස් ඇහුවා “කවුද මාව ඇල්ලුවේ” කියලා. වටේ හිටපු හැමෝම කිව්වා එයාලා ඔහුව ඇල්ලුවේ නැහැ කියලා. එතකොට පේතෘස් මෙහෙම කිව්වා. “ගුරුතුමනි, බලන්න කොච්චර සෙනඟක් ඔයා ළඟ තෙරපි තෙරපි ඉන්නවාද කියලා!”+ 46  ඒත් යේසුස් මෙහෙම කිව්වා. “නෑ, කවුරු හරි කෙනෙක් මාව ඇල්ලුවා. මොකද මගේ ශක්තිය* පිට වුණා.”+ 47  එයා කරපු දේ යේසුස්ගෙන් හංගන්න බැහැ කියලා තේරුම්ගත්තාම ඒ කාන්තාව බයෙන් වෙවුල වෙවුල ඔහු ළඟට ඇවිත් දණින් වැටුණා. එයා යේසුස්ව ඇල්ලුවේ ඇයි කියලත් ඔහුව අල්ලපු ගමන්ම එයාට සුවය ලැබුණා කියලත් එයා හැමෝම ඉස්සරහා කිව්වා. 48  එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. “දුවේ, ඔයා සුව වුණේ ඔයාගේ විශ්වාසය නිසයි. දැන් හිතේ නිදහසෙන් යන්න.”+ 49  ඔහු කතා කරකර ඉද්දීම සිනගෝගයේ නායකයාගේ ගෙදරින් කෙනෙක් ඇවිත් මෙහෙම කිව්වා. “ඔබේ දුව නැති වුණා. ඉතින් ගුරුතුමාට තවත් කරදර කරන්න එපා.”+ 50  යේසුස්ට ඒක ඇහුණාම ඔහු යායිරස්ට කිව්වා “බය වෙන්න එපා. දිගටම විශ්වාසයෙන් ඉන්න. එයාව බේරගන්න පුළුවන්” කියලා.+ 51  යේසුස් එයාගේ ගෙදරට ආවාම ඔහු පේතෘස්ට, යොහන්ට, යාකොබ්ට, සහ දුවගේ තාත්තාටයි, අම්මාටයි ඇරෙන්න වෙන කාටවත් ඔහුත් එක්ක ඇතුළට එන්න ඉඩ දුන්නේ නැහැ. 52  ඒ වෙලාවේ හැමෝම දරුවා නිසා දුකෙන් පපුවට ගගහා අඬඅඬයි හිටියේ. ඉතින් යේසුස් එයාලට මෙහෙම කිව්වා. “අඬන්න එපා.+ දරුවා මැරිලා නැහැ. එයා නිදාගෙනයි ඉන්නේ.”+ 53  ඒක අහලා එයාලා ඔහුට හිනා වෙන්න පටන්ගත්තා. මොකද දරුවා මැරිලා කියලා එයාලා දැනන් හිටියා. 54  ඒත් යේසුස් දරුවාගේ අත අල්ලලා “දුවේ, නැඟිටින්න” කියලා හඬ නඟලා කිව්වා.+ 55  එතකොට දරුවාට පණ*+ ඇවිත් එයා එකපාරටම නැඟිට්ටා.+ ඊටපස්සේ දරුවාට කන්න මොනවා හරි දෙන්න කියලා යේසුස් කිව්වා. 56  ඒක දැකලා දරුවාගේ දෙමාපියන්ට සතුට දරාගන්න බැරුව ගියා. ඒත් යේසුස් එයාලට කිව්වා වුණ දේ ගැන කාටවත් කියන්න එපා කියලා.+

පාදසටහන්

මූ.අ., “කන් තියෙන අය ඇහුම්කන් දෙන්න.”
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙවල්.”
හෝ සමහරවිට, “සෑහෙන කාලයක් තිස්සේ.”
මූ.අ., “ප්‍රපාතයෙන්.”
හෝ, “බලය.”
හෝ, “ජීවන හුස්ම.”