ලෙවී කතාව 13:1-59

  • ලාදුරු රෝගය ගැන දුන්න නීති (1-46)

  • ඇඳුමක ලාදුරු ඇති කරන විෂබීජය තිබුණොත් (47-59)

13  යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා.  “කෙනෙක්ගේ හමේ ඉදිමීමක්, දදයක් වගේ දෙයක් නැත්නම් ලපයක් හටගත්තොත් ඒක ලාදුරු*+ රෝගය කියලා සැකයක් තියෙනවා නම් ඒ කෙනාව පූජක ආරොන් ළඟට හරි ඔහුගේ පුතෙක් ළඟට හරි එක්කගෙන යන්න ඕනේ.+  පූජකයා ඒ කෙනාගේ හමේ තියෙන රෝගය පරීක්ෂා කරලා බැලිය යුතුයි. එතන තියෙන රෝමවල පාට වෙනස් වෙලා නම්, රෝගය හමට යටිනුත් පැතිරිලා කියලා පේනවා නම් ඒක ලාදුරු රෝගය. පූජකයා ඒ කෙනාව සෝදිසි කරලා බැලුවාට පස්සේ ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.  ඒත් සුදු පාට ලපයක් හටගෙන තිබුණත් ඒක හමට යටින් පැතිරිලා නැහැ කියලත් එතන තියෙන රෝමවල පාට වෙනස් වෙලා නැහැ කියලත් පේන්න තියෙනවා නම් පූජකයා ඒ කෙනාව දවස් හතක් වෙන් කරලා* තියන්න ඕනේ.+  හත්වෙනි දවසේදී පූජකයා ඒ කෙනාගේ රෝගය පරීක්ෂා කරලා බැලිය යුතුයි. ලපයේ පෙනුම වෙනස් වෙලා නැහැ කියලත් රෝගය හමේ තව පැතිරිලා නැහැ කියලත් පේනවා නම් පූජකයා ඒ කෙනාව තව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.  “හත්වෙනි දවසේදී පූජකයා ආයෙත් ඔහුව පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඔහුගේ හම සාමාන්‍ය පාටට හැරෙනවා කියලත් රෝගය හම පුරා පැතිරිලා නැහැ කියලත් පේන්න තියෙනවා නම් පූජකයා ඒ කෙනා පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.+ ඒක තුවාලයක් විතරයි. බෝ වෙන රෝගයක් නෙමෙයි. ඒ කෙනා තමන්ගේ ඇඳුම් හෝදගෙන පවිත්‍ර වෙන්න ඕනේ.  ඒත් පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළාට පස්සේ තුවාලේ හමේ පැතිරිලා යන්න පටන් අරන් කියලා පේනවා නම් ඔහු ආපහු* පූජකයා ඉස්සරහට යා යුතුයි.  පූජකයා ඔහුව පරීක්ෂා කරලා බලන්න ඕනේ. තුවාලේ හම පුරාම පැතිරිලා නම් ඔහුට තියෙන්නේ ලාදුරු රෝගය.+ පූජකයා ඒ කෙනා අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.  “කෙනෙක්ට ලාදුරු රෝගය හැදිලා නම් ඔහුව පූජකයා ළඟට ගෙන යා යුතුයි. 10  පූජකයා ඒ කෙනාව සෝදිසි කරලා බලන්න ඕනේ.+ හමේ සුදු පාට ඉදිමීමක් දකින්න තියෙනවා නම් ඒක වටේ තියෙන රෝමවල පාට වෙනස් වෙලා නම් සහ එතන හම තෙත් වෙලා කියලා පේනවා නම්+ 11  ඔහුට තියෙන්නේ ලාදුරු රෝගය. ඒක කාලයක් පුරා තියෙයි. පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඔහුව ආයෙත් පරීක්ෂා කරලා බලන්න වෙන් කරලා තියන්න අවශ්‍ය නැහැ.+ මොකද ඔහු දැනටමත් අපවිත්‍රයි. 12  ලාදුරු රෝගය හැදිලා ඒක රෝගියාගේ ඔළුවේ ඉඳන් කකුල් දෙක වෙන කල්ම පැතිරිලා කියලා පූජකයාට පේන්න පුළුවන්. 13  පූජකයා ඔහුව පරීක්ෂා කරලා බැලුවාම ලාදුරු රෝගය ඔහුගේ ඇඟ පුරාම පැතිරිලා කියලා හොඳටම පැහැදිලියි නම් ඒ කෙනා පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඔහුගේ මුළු ශරීරයම සුදු පාටට හැරිලා තියෙන නිසා ඔහු පවිත්‍රයි.* 14  ඒත් ඔහුගේ හම ආයෙත් පැළිලා තෙත ගතියක් ආවොත් ඔහු අපවිත්‍රයි. 15  ඒ තුවාලය පූජකයා පරීක්ෂා කරලා බැලුවාට පස්සේ ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.+ අලුතින් ඇති වුණ ඒ තුවාලය අපවිත්‍රයි. ඒක ලාදුරු රෝගය.+ 16  අලුතින් ඇති වුණ ඒ තුවාලය හොඳ වෙලා ඒක සුදු පාටට හැරුණොත් ඔහු ආයෙත් පූජකයා ළඟට යා යුතුයි. 17  පූජකයා ඔහුව සෝදිසි කරලා බලන්න ඕනේ.+ තුවාලය තිබුණ තැන සුදු පාටට හැරිලා නම් පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. 18  “හමේ සැරව ගෙඩියක් ඇවිත් ඒක හොඳ වුණාට පස්සේ 19  එතන හම සුදු වෙලා තඩිස්සි වීමක් වුණොත් නැත්නම් ළා රතු පාට ලපයක් ආවොත් ඒ කෙනා පූජකයා ළඟට ගිහින් ඒක පෙන්නන්න ඕනේ. 20  පූජකයා ඒක සෝදිසි කරලා බැලුවාම+ ඒක හමට යටින් පැතිරිලා කියලත් ඒක වටේ තියෙන රෝමවල පාට වෙනස් වෙලා කියලත් පේන්න තියෙනවා නම් ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඒක සැරව ගෙඩිය තිබුණ තැනින් මතු වුණ ලාදුරු රෝගය. 21  ඒත් පූජකයා ඒක පරීක්ෂා කරලා බැලුවාම එතන රෝමවල පාට වෙනස් වෙලා නැහැ කියලත් ඒක හමට යටින් පැතිරිලා නැහැ කියලත් ඔහුගේ හම සාමාන්‍ය පාටට හැරිලා කියලත් පේන්න තියෙනවා නම් ඔහුව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.+ 22  ලපය හමේ පැතිරිලා කියලා පැහැදිලිව පේනවා නම් ඒක බෝ වෙන රෝගයක්. පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. 23  ඒත් ලපය පැතිරිලා නැත්නම් ඒක සැරව ගෙඩිය නිසා ඇති වුණ ඉදිමීමක් විතරයි. පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.+ 24  “කෙනෙක්ගේ හම පිච්චුණ තැනක ළා රතු පාට නැත්නම් සුදු පාට ලපයක් මතු වුණොත් 25  පූජකයා ඒක පරීක්ෂා කරලා බැලිය යුතුයි. ලපය ළඟ තියෙන රෝමවල පාට වෙනස් වෙලා කියලත් ඒක හම ඇතුළට ගිහිල්ලා කියලත් පේන්න තියෙනවා නම් ඔහුට තියෙන්නේ ලාදුරු රෝගය. ඒක පිච්චිලා ඇති වුණ තුවාලෙන් මතු වුණ ලාදුරු රෝගය. පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. 26  ඒත් පූජකයා ඒක සෝදිසි කරලා බැලුවාම ලපය ළඟ තියෙන රෝමවල පාට වෙනස් වෙලා නැහැ කියලත් ඒක හම ඇතුළට ගිහිල්ලා නැහැ කියලත් එතන හම සාමාන්‍ය පාටට හැරෙනවා කියලත් පේන්න තියෙනවා නම් ඔහුව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.+ 27  හත්වෙනි දවසේදී පූජකයා ඔහුව ආයෙත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ලපය හමේ පැතිරිලා කියලා පැහැදිලිව පේනවා නම් පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඔහුට හැදිලා තියෙන්නේ ලාදුරු රෝගය. 28  ඒත් ලපය හමේ පැතිරිලා නැහැ කියලත් හම සාමාන්‍ය පාටට හැරිලා කියලත් පේනවා නම් ඒක පිලිස්සීම නිසා ඇති වුණ තුවාලේ තඩිස්සි වීමක් විතරයි. පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. 29  “කෙනෙක්ගේ ඔළුවේ නැත්නම් නිකට හරියේ හමේ රෝගයක් ඇති වුණොත් 30  පූජකයා ඒක පරීක්ෂා කරලා බැලිය යුතුයි.+ ඒක හමට යටින් පැතිරිලා කියලත් ඔළුවේ කෙස් හරි නිකටේ තියෙන රෝම හරි අඩු වෙලා කියලත් ඒවා කහ වෙලා තියෙනවා කියලත් පේනවා නම් පූජකයා ඔහු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඒක ඔළුවේ නැත්නම් රැවුලේ ඇති වුණ රෝගයක්. ඒක ලාදුරු රෝගය. 31  ඒත් පූජකයා ඒ වගේ හමේ රෝගයක් තියෙන කෙනෙක්ව පරීක්ෂා කරලා බලද්දී රෝගය හමට යටින් පැතිරිලා නැති වුණත් එතන කලු කෙස් හරි කලු රෝම හරි නැහැ කියලා පේනවා නම් ඔහු රෝගියාව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි.+ 32  හත්වෙනි දවසේදී පූජකයා රෝගියාව ආයෙත් පරීක්ෂා කරලා බැලිය යුතුයි. රෝගය පැතිරිලා නැත්නම් හිසකෙස් හරි රෝම හරි කහ වෙලා නැත්නම් සහ රෝගය තියෙන්නේ හම මතුපිට විතරක් නම් 33  ඒ කෙනා තමන්ගේ ඔළුව බූ ගාන්න ඕනේ. නැත්නම් රැවුල කපන්න ඕනේ. ඒත් රෝගය තියෙන හරියේ කෙස් නැත්නම් රෝම කපන්න එපා. පූජකයා ඔහුව තව දවස් හතක් වෙන් කරලා තැබිය යුතුයි. 34  “හත්වෙනි දවසේදී පූජකයා රෝගය තියෙන තැන ආයෙත් පරීක්ෂා කරලා බැලිය යුතුයි. ඔළුවේ නැත්නම් රැවුලේ ඇති වුණ රෝගය පැතිරිලා නැහැ කියලත් රෝගය තියෙන්නේ හම මතුපිටින් විතරක් කියලත් පේන්න තියෙනවා නම් පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. ඔහු තමන්ගේ ඇඳුම් හෝදගෙන පවිත්‍ර විය යුතුයි. 35  ඒත් පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළාට පස්සේ රෝගය හමේ පැතිරෙනවා කියලා පේනවා නම් 36  පූජකයා ඔහුව ආයෙත් පරීක්ෂා කරලා බැලිය යුතුයි. රෝගය හමේ පැතිරිලා නම් කෙස් හරි රෝම හරි කහ ගැහිලාද කියලා බලන්න අවශ්‍ය නැහැ. ඒ කෙනා අපවිත්‍රයි. 37  ඒත් පරීක්ෂා කරද්දී රෝගය පැතිරිලා නැහැ කියලත් එතන කලු පාට කෙස් හරි රෝම හරි එනවා කියලත් පේනවා නම් රෝගය සුව වෙලා. ඔහු පවිත්‍රයි. ඒ නිසා පූජකයා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි.+ 38  “පුරුෂයෙක්ගේ හරි කාන්තාවකගේ හරි හමේ සුදු ලප ආවොත් 39  පූජකයා ඒ කෙනාව පරීක්ෂා කරලා බැලිය යුතුයි.+ හමේ ඇවිත් තියෙන ලප ළා පාට නම් ඒක බෝ වෙන්නේ නැති හමේ රෝගයක්. ඒ නිසා ඔහු පවිත්‍රයි. 40  “පුරුෂයෙක්ගේ ඔළුවේ කෙස් අඩු වෙනවා නම් ඔහු අපවිත්‍ර කෙනෙක් නෙමෙයි. මොකද ඒක සාමාන්‍ය තට්ටේ පෑදීමක්. 41  ඔහුගේ නළලට උඩින් කෙස් අඩු වෙලා තියෙනවා නම් එතකොටත් ඔහු අපවිත්‍ර කෙනෙක් නෙමෙයි. 42  ඒත් ඔළුවේ හරි නළලට උඩින් හරි කෙස් අඩු වුණ තැන්වල ළා රතු පාට තුවාලයක් ආවොත් ඒක තට්ටේ පෑදුණ තැනින් මතු වුණ ලාදුරු රෝගය. 43  පූජකයා ඔහුව පරීක්ෂා කරලා බලද්දී තට්ටේ පෑදිලා තියෙන හරිය රෝගය නිසා තඩිස්සි වෙලා, එතන ළා රතු පාට වෙලා කියලත් ඒක ලාදුරු රෝගය වගේ කියලත් පේනවා නම් 44  ඔහු අපවිත්‍රයි. තට්ටේ පෑදුණ තැන ඇති වුණ ඒ රෝගය නිසා ඔහු අපවිත්‍රයි කියලා පූජකයා ප්‍රකාශ කළ යුතුයි. ඔහුට තියෙන්නේ ලාදුරු රෝගය. 45  ලාදුරු රෝගය හැදුණ කෙනා ඉරිච්ච ඇඳුම් අඳින්න ඕනේ. ඔහුට ඔළුව පීරන්න අවසර නැහැ. උඩු රැවුලත් වසාගත යුතුයි. ඔහු ‘මං අපවිත්‍රයි, අපවිත්‍රයි’ කියලා හඬ නඟලා කියන්න ඕනේ. 46  රෝගය තියෙන කල් ඔහු අපවිත්‍රයි. ඔහු අපවිත්‍ර කෙනෙක් නිසා අනිත් අයගෙන් වෙන් වෙලා කඳවුරෙන් පිටත ජීවත් විය යුතුයි.+ 47  “ලාදුරු රෝගය ඇති කරන විෂබීජය* ඇඳුමකට ඇවිල්ලා නම් කළ යුතු දේ තමයි මේ. විෂබීජය ලොම් නැත්නම් ලිනන් ඇඳුමක තියෙන්න පුළුවන්. 48  ඒ විෂබීජය ලොම් නැත්නම් ලිනන් රෙද්දේ නූල්වල* තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සත්ව හම් කෑල්ලක හරි හම්වලින් හදපු වෙන ඕනෙම දේක හරි තියෙන්නත් පුළුවන්. 49  ඒ වගේ ඇඳුමක, හම් කෑල්ලක, රෙද්දක නූල්වල නැත්නම් හම්වලින් හදපු වෙන ඕනෙම දේක කොළ පාටට හුරු හරි රතු පාටට හුරු හරි පැල්ලමක් තියෙනවා නම් ඒක ලාදුරු රෝගය ඇති කරන විෂබීජය. ඒක පූජකයාට පෙන්නන්න ඕනේ. 50  පූජකයා පැල්ලම සෝදිසි කරලා බැලුවාට පස්සේ ඒක දවස් හතක් වෙන් කරලා තියන්න ඕනේ.+ 51  හත්වෙනි දවසේ ඒක පරීක්ෂා කරලා බලද්දී ඇඳුමේ, රෙද්දේ නූල්වල, සත්ව හම් කෑල්ලේ නැත්නම් හම්වලින් හදපු වෙන ඕනෙම දේක තිබුණ ඒ පැල්ලම පැතිරිලා කියලා පේනවා නම් ඒක බෝ වෙනවා. ඒක අපවිත්‍රයි.+ 52  විෂබීජය තියෙන ඒ ඇඳුම හරි ලොම් නැත්නම් ලිනන් රෙද්ද හරි හම්වලින් හදපු ඕනෙම දෙයක් හරි ගින්නෙන් පුච්චලා දාන්න ඕනේ. මොකද ඒක බෝ වෙනවා. 53  “ඒත් පූජකයා ඒක පරීක්ෂා කරලා බලද්දී ඇඳුමේ, රෙද්දේ නූල්වල, හම්වලින් හදපු ඕනෙම දේක තිබුණ ඒ පැල්ලම පැතිරිලා නැහැ කියලා පේනවා නම් 54  ඒක හෝදලා තව දවස් හතක් යන කල් වෙන් කරලා තියන්න කියලා ඔහු අණ කළ යුතුයි. 55  ඒක හොඳට හේදුවාට පස්සේ පූජකයා ආයෙත් සැරයක් පැල්ලම පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒක පැතිරිලා නැතත් පැල්ලමේ කිසි වෙනසක් වෙලා නැත්නම් ඒක අපවිත්‍රයි. ඒක ඇතුල් පැත්තෙන් හරි පිට පැත්තෙන් හරි දිරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා ඒක පුච්චලා දාන්න ඕනේ. 56  “ඒක හේදුවාට පස්සේ පූජකයා ඒක පරීක්ෂා කරලා බලද්දී ඒ පැල්ලම ළා පාට වෙලා කියලා පේනවා නම් ඒ ඇඳුමේ, රෙද්දේ නූල්වල නැත්නම් හම් කෑල්ලේ පැල්ලම තියෙන හරිය ඉරලා අයින් කළ යුතුයි. 57  ඒත් ඒ පැල්ලම ඇඳුමේ හරි නූල්වල හරි හම් කෑල්ලේ හරි තව තැනක ඇවිල්ලා නම් ඒ විෂබීජය පැතිරෙනවා. ඒ නිසා ඒ දේ පුච්චලා දාන්න ඕනේ.+ 58  ඒත් ඒක පළවෙනි සැරේ හේදුවාට පස්සේ ඒකේ තිබුණ පැල්ලම මැකිලා ගියොත් දෙවෙනි සැරේටත් ඒක හෝදන්න ඕනේ. ඊටපස්සේ ඒක පවිත්‍ර දෙයක් හැටියට සලකන්න පුළුවන්. 59  “ලොම් නැත්නම් ලිනන් ඇඳුමක හරි රෙද්දක නූල්වල හරි හම්වලින් හදපු ඕනෙම දේක හරි ලාදුරු රෝගය ඇති කරන විෂබීජය ඇති වුණොත් ඒක පවිත්‍රද අපවිත්‍රද කියලා ප්‍රකාශ කරන්න පිළිපදින්න ඕනෙ නීතිය තමයි ඒ.”

පාදසටහන්

ලාදුරු කියන්න පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට ලාදුරු වගේම තව බෝ වෙන හමේ රෝග ගොඩක් ඇතුළත්. රෙදි සහ ගෙවල් පුස් අල්ලන්න හේතු වෙන විෂබීජත් ඇතුළත් වෙනවා.
ඒ කියන්නේ නිරෝධායනය කරන්න ඕනේ.
හෝ, “දෙවෙනි පාරට.”
හෝ, “රෝගය බෝ වෙන්නේ නැහැ.”
මේක පුස් වර්ගයක් වෙන්න පුළුවන්. ඒත් ඒක හරියටම කියන්න බැහැ.
මූ.අ., “දික් අතට හරි හරස් අතට හරි තියෙන නූල්වල.”