ලෙවී කතාව 17:1-16

  • පූජා ඔප්පු කරන්නේ ශුද්ධ කූඩාරමේදී (1-9)

  • ලේ කන්න අවසර නැහැ (10-14)

  • මැරිලා හිටපු සතෙක් ගැන දුන්න නීති (15, 16)

17  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා.  “ඔබ ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි මෙහෙම කියන්න ඕනේ. ‘යෙහෝවා දුන්න ආඥාව මේකයි.  “‘“ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කිසිම කෙනෙක්ට කඳවුර ඇතුළේ නැත්නම් කඳවුරෙන් පිටතදී වස්සෙක්ව හරි බැටළු පැටියෙක්ව හරි එළු පැටියෙක්ව හරි මරන්න අවසර නැහැ.  ඒ වෙනුවට යෙහෝවාගේ ශුද්ධ කූඩාරම ඉස්සරහට ඒ කියන්නේ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ සතාව ගෙනා යුතුයි. යෙහෝවාට ඔප්පු කරන පූජාවක් විදිහට ඌව ගෙනා යුතුයි. ඒත් කඳවුර ඇතුළේ හරි පිටතදී හරි කෙනෙක් සතෙක්ව මැරුවොත් ඔහු ඒ ලේවලට වග කියන්න ඕනේ. අනුමත නොකරන විදිහට ලේ හලපු නිසා ඔහු වරදකරුවෙක්. ඒ වරදට ඔහුව මරා දැමිය යුතුයි.  ඒ ආඥාව දෙන්නේ ඊශ්‍රායෙල් සෙනඟ එළිමහනේ සතුන්ව මරලා පූජා කරනවා වෙනුවට උන්ව යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ නිසයි. ඔවුන් ඒ සතුන්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනල්ලා පූජකයාට භාර දිය යුතුයි. ඔවුන් ඒ සතුන්ව යෙහෝවාට හවුල් පූජාවන් විදිහට ඔප්පු කළ යුතුයි.+  හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන යෙහෝවාගේ පූජාසනය මත පූජකයා ඒ සතුන්ගේ ලේ ඉසිය යුතුයි. ඒ සතාගේ තෙල් කොටස් පූජාසනය මත දැවිය යුතුයි. ඒකෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+  ඔවුන් දෙවියන්ට ද්‍රෝහි වෙලා+ එළුවන්ගේ පෙනුම තියෙන දෙවි දේවතාවන්ට*+ පුදපූජා ඔප්පු කරන එක දැන් අත්හැරිය යුතුයි. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඔබ දිගටම පැවැත්විය යුතු පනතක්.”’  “ඔබ ඔවුන්ට මෙහෙම කියන්න. ‘දවන පූජාවක් හරි වෙන ඕනෙම පූජාවක් හරි ඔප්පු කරන ඊශ්‍රායෙල් ජාතිකයෙක් නැත්නම් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක්  ඒ සතාව යෙහෝවාට ඔප්පු කරන්න හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනාවේ නැත්නම් ඔහුව මරා දැමිය යුතුයි.+ 10  “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් නැත්නම් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් මොනම ජීවියෙක්ගේ හරි ලේ* කෑමට ගත්තොත්+ මම ඔහුව ප්‍රතික්ෂේප කරනවා. මම ඔහුව මරලා දානවා. 11  මොකද පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවිතය පවතින්නේ ලේ නිසයි.*+ මම ලේ පාවිච්චි කරන්න ඉඩ දුන්නේ මාත් එක්ක සාමකාමී බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන්න පූජාසනය මත ඔප්පු කරන්නයි.+ ලේවල ජීවය තියෙන නිසා ඔබේ වැරදිවලට සමාව ලබාගන්න පුළුවන් ලේ මාර්ගයෙන් විතරයි.+ 12  “ඔබෙන් කිසිම කෙනෙක්ට ලේ කෑමට ගන්න අවසර නැහැ. ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයනුත්+ ලේ කෑමට නොගත යුතුයි”+ කියලා මම ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ඒ නිසයි. 13  “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් හරි ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් හරි කෑමට ගන්න පුළුවන් සතෙක්ව නැත්නම් කුරුල්ලෙක්ව දඩයම් කළොත් ඔහු උගේ ලේ බිමට වක් කරලා+ පස්වලින් වසා දැමිය යුතුයි. 14  මොකද පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවය තියෙන්නේ ලේවලයි. ලේ ජීවිතයට සමානයි. ඒ නිසයි මම ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වේ. “ඔබ මොනම ජීවියෙක්ගෙවත් ලේ නොකෑ යුතුයි. මොකද ලේ ජීවිතයට සමානයි. ඒ නිසා ලේ කෑමට ගන්න ඕනෙම කෙනෙක්ව මරා දැමිය යුතුයි.”+ 15  ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් මැරිලා හිටපු සතෙක්ව හරි වනසතෙක් මරලා දාපු සතෙක්ව හරි කෑමට ගත්තොත්+ ඔහු තමන්ගේ ඇඳුම් හෝදලා, නාගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ ඊටපස්සේ ඔහුව පවිත්‍ර කෙනෙක් හැටියට සලකන්න පුළුවන්. 16  ඒත් ඔහු ඇඳුම් හෝදගෙන නාගත්තේ නැත්නම් ඒ වරදට ඔහුට දඬුවම් ලැබෙනවා.’”+

පාදසටහන්

හෝ, “දෙවියන්ව සතුටු කරන.”
මූ.අ., “එළුවන්ට.” හෝ, “එළුවන්ගේ පෙනුම තියෙන භූතයන්ට.” සමහරවිට එයාලට නමස්කාර කරන මිනිස්සු හිතන්න ඇති ඒ භූතයන්ට එළුවන්ට වගේ පෙනුමක් තිබුණා කියලා.
හෝ, “කිසිම ලෙයක්.”
හෝ, “ජීවය තියෙන්නේ ලේවලයි.”