ලෙවී කතාව 18:1-30
18 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා.
2 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘යෙහෝවා වන මම තමයි ඔබේ දෙවියන්.+
3 ඔබ ජීවත් වුණ ඊජිප්තු දේශයේ මිනිස්සු වගේවත් මං ඔබව අරගෙන යන කානාන් දේශයේ මිනිස්සු වගේවත් වැඩ කරන්න එපා.+ ඔවුන්ගේ චාරිත්ර අනුගමනය කරන්නත් එපා.
4 ඔබ මගේ තීන්දුවලට යටත් විය යුතුයි. මගේ පනත්වලට කීකරු වෙලා ඒවා අනුව ජීවත් විය යුතුයි.+ යෙහෝවා වන මම තමයි ඔබේ දෙවියන්.
5 ඔබ මගේ පනත්වලට සහ මගේ තීන්දුවලට කීකරු විය යුතුයි. කෙනෙක් ඒවා පිළිපදිනවා නම් ඒකෙන් ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනවා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.
6 “‘ඔබ අතරේ ඉන්න කිසිම පුරුෂයෙක් ඔහුගේ කිට්ටු නෑයෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.
7 ඔබේ පියා එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ මව එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න එපා. ඔබව බිහි කළේ ඇයයි. ඒ නිසා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම්.
8 “‘ඔබේ පියාගේ බිරිඳ එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ ඒක ඔබේ පියාට කරන නින්දාවක්.
9 “‘ඔබේ සහෝදරිය එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ පියාගේ දුව වුණත් මවගේ දුව වුණත් ඔබේ ගෙදර ඉපදුණ කෙනෙක් වුණත් වෙනත් ගෙදරක ඉපදුණ කෙනෙක් වුණත් ඔබ ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+
10 “‘ඔබේ පුතාගේ දුව එක්කවත් දුවගේ දුව එක්කවත් ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද එහෙම කරන එක ඔබ ඔබටම කරගන්න නින්දාවක්.
11 “‘ඔබේ පියාට වෙන බිරිඳකගෙන් ඉපදුණ දුවෙක් ඉන්නවා නම් ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ සහෝදරිය.
12 “‘ඔබේ පියාගේ සහෝදරිය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ පියාගේ ලේ නෑයෙක්.+
13 “‘ඔබේ මවගේ සහෝදරිය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ මවගේ ලේ නෑයෙක්.
14 “‘ඔබේ පියාගේ සහෝදරයාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එක ඔහුට කරන නින්දාවක්. මොකද ඇය ඔබේ කිට්ටු නෑයෙක්.+
15 “‘ඔබේ ලේළි+ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ පුතාගේ බිරිඳ. ඒ නිසා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම්.
16 “‘ඔබේ සහෝදරයාගේ බිරිඳ+ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එක ඔබේ සහෝදරයාට කරන නින්දාවක්.
17 “‘ඔබ ස්ත්රියක් එක්ක විවාහ වුණොත් ඇගේ දුව+ එක්ක හරි ඇගේ මිනිපිරිය* එක්ක හරි ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔවුන් ඇගේ ලේ නෑයන් වෙන නිසා ඒක හරිම පහත් දෙයක්.*
18 “‘ඔබේ බිරිඳ ජීවත් වෙලා ඉද්දී ඇගේ සහෝදරිය එක්කත්+ විවාහ වෙලා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.
19 “‘ස්ත්රියක් ඇගේ ඔසප් කාලේ අපවිත්රව ඉද්දී ඔබ ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+
20 “‘ඔබ තවත් කෙනෙක්ගේ* බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කළොත් ඔබ අපවිත්ර වෙනවා.+
21 “‘ඔබේ එක දරුවෙක්වවත් මෝලෙක්ට+ පූජා නොකළ යුතුයි.* එහෙම කරලා ඔබේ දෙවියන්ගේ නමට නින්දා කරන්න එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.
22 “‘ඔබ ස්ත්රියක් එක්ක ලිංගිකව එක් වෙන විදිහට පුරුෂයෙක් එක්ක ලිංගිකව එක් නොවිය යුතුයි.+ ඒක ඉතා පිළිකුල් ක්රියාවක්.
23 “‘පුරුෂයෙක් සතෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එකෙන් ඔහු අපවිත්ර වෙනවා. ස්ත්රියකුත් සතෙක් ළඟට ගිහිල්ලා ඌත් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ ඒවා ඉතා පිළිකුල්, අස්වාභාවික ක්රියාවන්.
24 “‘ඔබ ඒ එක දෙයක්වත් කරලා අපවිත්ර වෙන්න එපා. මොකද මං දේශයෙන් පන්නලා දාන්න යන ඔක්කොම ජාතීන් ඒ වගේ දේවල් කරලා අපවිත්ර වෙලයි ඉන්නේ.+
25 ඒ නිසා දේශයත් අපවිත්ර වෙලා. ඔවුන්ගේ වැරදි නිසා මං ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව පන්නලා දානවා.+
26 ඔබ මගේ පනත්වලට සහ මගේ තීන්දුවලට කීකරු විය යුතුයි.+ ඊශ්රායෙල් ජාතිකයෙක් වුණත් ඔබ සමඟ ජීවත් වෙන විදේශිකයෙක් වුණත් ඒ කිසිම පිළිකුල් දෙයක් නොකළ යුතුයි.+
27 ඔබට කලින් දේශයේ ජීවත් වුණ මිනිස්සු ඒ හැම පිළිකුල් ක්රියාවක්ම කරපු නිසා+ දේශය අපවිත්ර වෙලා.
28 මේ දේශයේ ඔබට කලින් ජීවත් වුණ මිනිස්සු වගේ ඔබත් ඒ ක්රියාවල යෙදිලා දේශය අපවිත්ර කළොත් ඔබවත් දේශයෙන් පන්නලා දානවා.
29 කවුරු හරි ඒ පිළිකුල් ක්රියාවලින් එකක් හරි කළොත් ඔහුව මරා දැමිය යුතුයි.
30 ඔබ මගේ ආඥාවලට කීකරු වෙන්න. එතකොට මේ දේශයේ ඔබට කලින් හිටපු මිනිස්සු කරපු පිළිකුල්සහගත දේවලින්+ අපවිත්ර නොවී ඉන්න ඔබට පුළුවන්. මම ඔබේ දෙවි වන යෙහෝවා.’”
පාදසටහන්
^ හෝ, “පුතාගේ දුව හරි දුවගේ දුව හරි.”
^ හෝ, “නින්දිත ක්රියාවක්; අශික්ෂිත දෙයක්.”
^ හෝ, “ඔබ අසල්වැසියෙක්ගේ; ඔබ ආශ්රය කරන කෙනෙක්ගේ.”
^ හෝ, “මෝලෙක් වෙනුවෙන් කැප නොකළ යුතුයි.”