ලෙවී කතාව 21:1-24

  • පූජකයන් අපවිත්‍ර නොවී ශුද්ධව ඉන්න ඕනේ (1-9)

  • උත්තම පූජකයා අපවිත්‍ර නොවී ඉන්න ඕනේ (10-15)

  • පූජකයෙක්ගේ ශරීරයේ දෝෂ තියෙන්න බැහැ (16-24)

21  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “පූජකයන් වන ආරොන්ගේ පුතාලට මෙහෙම කියන්න. ‘සෙනඟ අතරින්* කෙනෙක් මැරුණොත් ඒ කෙනා ළඟට ගිහින් පූජකයෙක් අපවිත්‍ර නොවිය යුතුයි.*+  ඒත් ඔහුගේ ලේ නෑයෙක් මැරුණොත් ඒ කෙනා ළඟට යන්න ඔහුට පුළුවන්. ඒ කියන්නේ ඔහුගේ මව හරි පියා හරි පුතා හරි දුව හරි සහෝදරයා හරි  ඔහුගේ ගෙදර හිටපු කන්‍යාවක් වන සහෝදරිය හරි මැරුණොත් ඒ කෙනා නිසා අපවිත්‍ර වෙන්න ඔහුට අවසර තියෙනවා.  ඒත් සෙනඟ අතර හිටපු විවාහක ස්ත්‍රියක් මැරුණොත් ඇය නිසා ඔහු අපවිත්‍ර නොවිය යුතුයි.  පූජකයන්ට තමන්ගේ ඔළුව බූ ගාන්නවත්+ කම්මුල් දෙපස තියෙන රැවුල කොටට කපන්නවත් අවසර නැහැ. ඔවුන් තමන්ගේ ශරීරය කපා නොගත යුතුයි.+  ඔවුන්ගේ දෙවියන් ඉස්සරහා ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+ ඔවුන්ගේ දෙවියන්ගේ නමට නින්දා නොකළ යුතුයි.+ මොකද ඔවුන්ගේ දෙවි වන යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජා ඒ කියන්නේ දෙවියන්ට අයිති ආහාර* ඔප්පු කරන්නේ ඔවුන්. ඒ නිසා ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+  පූජකයන් ගණිකාවක් එක්ක+ හරි නින්දාවට පත් වුණ ස්ත්‍රියක් එක්ක හරි දික්කසාද වුණ ස්ත්‍රියක් එක්ක+ හරි විවාහ නොවිය යුතුයි. මොකද ඔවුන්ගේ දෙවියන් ඔවුන්ව සලකන්නේ ශුද්ධ අය විදිහට.  ඊශ්‍රායෙල් සෙනඟ වන ඔබ පූජකයන්ව ශුද්ධ අය විදිහට සැලකිය යුතුයි.+ මොකද ඔබේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්නේ ඔවුන්. ඔබව ශුද්ධ සෙනඟක් හැටියට වෙන් කරලා තියෙන යෙහෝවා වන මම ශුද්ධයි.+ ඒ නිසා ඔබ පූජකයන්වත් ශුද්ධ අය විදිහට සැලකිය යුතුයි.  “‘පූජකයෙක්ගේ දුවෙක් ගණිකාවක් විදිහට හැසිරිලා නින්දාවට පත් වුණොත් ඇය ඇගේ පියාව නින්දාවට පත් කරනවා. ඇයව මරලා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ 10  “‘පූජකයන් අතරින් හිසට ශුද්ධ තෛලය වක් කරලා+ උත්තම පූජකයා විදිහට අභිෂේක කරලා ඉන්න කෙනා තමන්ගේ හිසකෙස් අවුල් වෙන්න ඉඩ නොදිය යුතුයි. ඇඳුම් ඉරාගැනීමෙනුත් වැළකී සිටිය යුතුයි.+ නිලඇඳුම් ඇඳලා පූජකයෙක් විදිහට සේවය කරන්න අභිෂේක කරලා තියෙන්නේ ඔහුවයි.*+ 11  කිසිම මළ සිරුරක්* ළඟට යන්න ඔහුට අවසර නැහැ.+ මැරුණු කෙනා ඔහුගේ පියා වුණත් මව වුණත් ඔවුන් නිසා ඔහු අපවිත්‍ර නොවිය යුතුයි. 12  මැරුණු කෙනා වෙනුවෙන් කරන දේවලට සහභාගි වෙන්න ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුයි.+ එහෙම කළොත් ඔහු තම දෙවියන්ගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කරනවා. මොකද තමන්ගේ දෙවියන්ට කැප වෙලා ඉන්නවා කියලා පෙන්නන ශුද්ධ සංකේතය වන ශුද්ධ තෛලයෙන් ඔහුව අභිෂේක කරලයි තියෙන්නේ.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. 13  “‘ඔහු විවාහ වෙන්න ඕනෙ කන්‍යාවක් එක්ක විතරයි.+ 14  ඔහුට වැන්දඹුවක් එක්ක හරි දික්කසාද වුණ ස්ත්‍රියක් එක්ක හරි නින්දාවට පත් වුණ ස්ත්‍රියක් එක්ක හරි ගණිකාවක් එක්ක හරි විවාහ වෙන්න අවසර නැහැ. ඔහු තමන්ගේ සෙනඟ අතරින් බිරිඳක් විදිහට තෝරගන්න ඕනෙ කන්‍යාවක්වයි. 15  එහෙම කළේ නැත්නම් ඔහුගේ දරුවන්ව සෙනඟ අතරේ* අපවිත්‍ර අය* හැටියට සලකනවා.+ මොකද පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කරලා තියන්නේ යෙහෝවා වන මමයි.’” 16  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 17  “ආරොන්ට මෙහෙම කියන්න. ‘ඔබෙන් පැවතෙන අයගෙන් ශරීරයේ යම් දෝෂයක් තියෙන කිසිම කෙනෙක්ට තමන්ගේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්න පූජාසනය ළඟට එන්න අවසර නැහැ. ඒක ඔබේ හැම පරම්පරාවකටම අදාළයි. 18  ශරීරයේ මේ වගේ දෝෂ තියෙන අය පූජාසනයට ළං නොවිය යුතුයි. අන්ධ කෙනෙක්, කොර කෙනෙක්, මුහුණ* විකෘති වුණ කෙනෙක්, එක අතක් හරි කකුලක් හරි අනිත් එකට වඩා දිග වැඩි කෙනෙක්, 19  අත පය කැඩුණු කෙනෙක්, 20  කුදු කෙනෙක්, කුරු කෙනෙක්,* ඇස්වල දෝෂයක් ඇති කෙනෙක්, දදයක් ඇති කෙනෙක්, වට පණු රෝගය ඇති කෙනෙක් සහ වෘෂණ කෝෂ තැළුණු කෙනෙක්.+ 21  පූජක ආරොන්ගෙන් පැවතෙන කෙනෙක්ට ශරීරයේ ඒ වගේ දෝෂයක් තියෙනවා නම් ගින්නෙන් පූජා ඔප්පු කරන්න යෙහෝවා ඉස්සරහට එන්න ඔහුට අවසර නැහැ. ඔහුගේ ශරීරයේ දෝෂයක් තියෙන නිසා ඔහු තමන්ගේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්න පූජාසනයට ළං නොවිය යුතුයි. 22  ඒත් ශුද්ධ දෙයින්+ සහ ඉතා ශුද්ධ දෙයින්+ ගත්ත තමන්ගේ දෙවියන්ට අයිති ආහාරවලින් කොටසක් ඔහුට කන්න පුළුවන්. 23  ඒත් තිරය ළඟට යන්නවත්+ පූජාසනය ළඟට යන්නවත්+ ඔහුට අවසර නැහැ. මොකද ඔහුගේ ශරීරයේ දෝෂයක් තියෙනවා. ඔහු මගේ ශුද්ධස්ථානය අපවිත්‍ර නොකළ යුතුයි.+ මොකද පරිශුද්ධ සේවය සඳහා පූජකයන්ව වෙන් කරලා තියන්නේ යෙහෝවා වන මමයි.’”+ 24  ඉතින් මෝසෙස් ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි ඒ හැම දෙයක්ම කිව්වා.

පාදසටහන්

මෙතන කතා කරන්නේ පූජකයාගේ පවුලේ අය ගැන හරි ගෝත්‍රය ගැන හරි වෙන්න පුළුවන්.
මැරුණ කෙනාව අල්ලන එකෙන් සහ එයා වෙනුවෙන් වැලපෙන එකෙන් පූජකයන් අපවිත්‍ර වෙනවා.
මෙතන කතා කරන්නේ පූජා ගැනයි.
හෝ, “අත්වලට බලය ලබා දීලා තියෙන්නේ ඔහුටයි.”
හෙබ්‍රෙව් භාෂාවෙන් මෙතන තියෙන්නේ නෙෆෙෂ් කියන වචනය. මෙතන ඒකෙන් අදහස් කරන්නේ මැරුණ කෙනෙක්.
ඒකෙන් අදහස් කරන්නේ පූජකයන්ගේ පවුල්වල අයට තිබුණ සමහර වගකීම් ඉටු කරන්න එයාලා සුදුසු නැහැ කියලා.
මෙතන කතා කරන්නේ පූජකයන්ගේ පවුලේ අය ගැන හරි ගෝත්‍රය ගැන හරි වෙන්න පුළුවන්.
හෝ, “නහය.”
හෝ සමහරවිට, “අසනීපයක් නිසා අසාමාන්‍ය විදිහට කෙට්ටු වුණ, දුර්වල වුණ කෙනෙක්ව අදහස් කරන්න පුළුවන්.”