ලෙවී කතාව 23:1-44

  • ශුද්ධ දවස් සහ උත්සව (1-44)

    • සබත් (3)

    • පාස්කුව (4, 5)

    • මුහුන් නොදැමූ රොටි උත්සවය (6-8)

    • අස්වැන්නේ මුල්ම පලදාව ඔප්පු කරන එක (9-14)

    • සති උත්සවය (15-21)

    • අස්වැන්න නෙළන්න ඕනෙ විදිහ (22)

    • හොරණෑ නාද කරලා පවත්වන උත්සවය (23-25)

    • සමඟි වෙන දවස (26-32)

    • පැල් උත්සවය (33-43)

23  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා.  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔබට සමරන්න කියන උත්සව+ දවස්වලදී හැමෝම රැස් විය යුතුයි. ඒවා ශුද්ධ දවස්. ඔබ ඒ උත්සව ගැන නිවේදනය කළ යුතුයි.+ මම නියම කරන උත්සව තමයි මේ.  “‘ඔබට දවස් හයක් වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස ශුද්ධ එක්රැස්වීමක් පවත්වන සබත් දවසක්.+ ඒ දවසේ ඔබ වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. ඔබ කොහේ ජීවත් වුණත් ඒක යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් දවසක් විදිහට පැවැත්විය යුතුයි.+  “‘යෙහෝවා ඔබට නියම කරන උත්සව දවස් තමයි මේ. ඒ දවස්වල ශුද්ධ එක්රැස්වීම් පැවැත්විය යුතුයි. ඒ උත්සව පවත්වන්න නියම කරපු කාලවලදී ඔබ ඒවා ගැන නිවේදනය කළ යුතුයි.  පළවෙනි මාසේ 14වෙනිදා+ හිරු බැහැගෙන යනවාත් එක්කම* යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවය පැවැත්විය යුතුයි.+  “‘ඒ මාසේම 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ ඔබ දවස් හතක් මුහුන් නොදැමූ රොටි කන්න ඕනේ.+  ඔබ පළවෙනි දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එදාට මහන්සි වෙලා වැඩ කරන්න ඔබට අවසර නැහැ.  ඒ දවස් හතේම ඔබ යෙහෝවා ඉස්සරහට ගින්නෙන් ඔප්පු කරන පූජා ගෙනා යුතුයි. හත්වෙනි දවසේදී ශුද්ධ එක්රැස්වීමක් පවත්වන්න. ඒ දවසෙත් ඔබ මහන්සි වෙලා වැඩ නොකළ යුතුයි.’”  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 10  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මම ඔබට දෙන දේශයට ඔබ ආවාම දේශයෙන් අස්වැන්න නෙළාගත්තාට පස්සේ ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවෙන් මිටියක්+ පූජකයා ළඟට ගෙනා යුතුයි.+ 11  ඔබට අනුමැතිය ලබාගන්න පූජකයා ඒ ධාන්‍ය මිටිය යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. පූජකයා එහෙම කරන්න ඕනෙ සබත් දවසට පහුවෙනිදායි. 12  ඒ මේ අත සොලවන්න ඔබ ඒ මිටිය පූජකයා ළඟට ගේන දවසේ යෙහෝවාට දවන පූජාවක් විදිහට අවුරුද්දක් විතර වයස, කිසි කැළලක් නැති බැටළුවෙක්ව ඔප්පු කළ යුතුයි. 13  ඒකත් එක්ක ධාන්‍ය පූජාවකුත් ඔප්පු කළ යුතුයි. ඒකට තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක්* ගෙනා යුතුයි. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම ඔහු මිහිරි* සුවඳක් විදිහට සලකනවා. ඒ දවන පූජාව එක්ක පාන පූජාවකුත් ඔප්පු කළ යුතුයි. ඒකට වයින් හින මිනුමෙන්* හතරෙන් එකක් ගෙනා යුතුයි. 14  ඔබේ දෙවියන්ට ඔප්පු කරන්න ඒ පූජාවන් ගේන දවස වෙන කල් ඔබට රොටිවත් බැදපු ධාන්‍යවත් අලුත් ධාන්‍යවත් කන්න අවසර නැහැ. ඔබ කොහේ ජීවත් වුණත් ඔබේ හැම පරම්පරාවක්ම ඒ පනත දිගටම පැවැත්විය යුතුයි. 15  “‘සබත් දවසට පහුවෙනිදා ඒ කියන්නේ සොලවන පූජාවට ධාන්‍ය මිටිය ගෙනාපු දවසේ ඉඳන් සති හතක්* ගණන් කරන්න.+ ඒවා සම්පූර්ණ සති විය යුතුයි. 16  සති හත අවසන් වෙන දවසට පහුවෙනිදා ඒ කියන්නේ 50වෙනි දවසේ+ ඔබ අලුත් ධාන්‍ය අරගෙන යෙහෝවාට පූජාවක් ඔප්පු කළ යුතුයි.+ 17  සොලවන පූජාවක් විදිහට ඔප්පු කරන්න ගෙදරදී හදාගත්ත රොටි දෙකක් ඔබ ගෙනා යුතුයි. ඒ රොටි පුච්චගන්න ඕනෙ සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකකට* මුහුන් මිශ්‍ර කරලයි.+ ධාන්‍ය අස්වැන්නේ මුල්ම පලදාව+ විදිහට යෙහෝවා ඉස්සරහට ඒ රොටි ගෙනා යුතුයි. 18  ඔබ ඒ රොටි එක්ක අවුරුද්දක් වයස, කිසි කැළලක් නැති බැටළුවන් හත්දෙනෙක්වයි, වස්සෙක්වයි, බැටළුවන් දෙන්නෙක්වයි ගෙනා යුතුයි.+ උන්ව දවන පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කළ යුතුයි. ඒකත් එක්ක ධාන්‍ය පූජාවක් සහ පාන පූජා ඔප්පු කළ යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවලින් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා. 19  ඔබ පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වයි,+ හවුල් පූජාවක් විදිහට අවුරුද්දක් වයස බැටළුවන් දෙන්නෙක්වයි ඔප්පු කළ යුතුයි.+ 20  ධාන්‍ය අස්වැන්නේ මුල්ම පලදාවෙන් හදාගත්ත රොටි එක්ක ඒ බැටළු පැටව් දෙන්නාව පූජකයා සොලවන පූජාවක් විදිහට යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. යෙහෝවාට ශුද්ධ දෙයක් වන ඒ දේවල් අයිති වෙන්නේ පූජකයාටයි.+ 21  ඒ පූජාව ඔප්පු කරන දවසේ+ ඔබ ශුද්ධ එක්රැස්වීමකට සෙනඟව කැඳවිය යුතුයි. ඒ දවසේ මහන්සි වෙලා වැඩ කරන්න ඔබට අවසර නැහැ. ඔබ කොහේ ජීවත් වුණත් ඔබේ හැම පරම්පරාවක්ම ඒ පනත දිගටම පැවැත්විය යුතුයි. 22  “‘දේශයේ අස්වැන්න නෙළද්දී කෙත්වල මායිම් වෙන කල්ම අස්වැන්න නෙළන්න එපා. අස්වැන්න නෙළද්දී කෙතේ අතහැරුණු කරල් එකතු කරගන්නත් එපා.+ ඒවා දුප්පත්*+ අයටයි, ඔබ අතරේ ඉන්න විදේශිකයන්ටයි+ ඉතුරු කරන්න. මම ඔබේ දෙවි වන යෙහෝවා.’” 23  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 24  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ පළවෙනිදා ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. ඒ දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි කියලා සිහිගන්වන්න හොරණෑ නාද+ කළ යුතුයි. 25  ඒ දවසේදී ඔබට මහන්සි වෙලා වැඩ කරන්න අවසර නැහැ. ඔබ යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් ගෙනා යුතුයි.’” 26  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 27  “හත්වෙනි මාසේ දහවෙනිදා කියන්නේ සමඟි වෙන දවසයි.*+ ඒ දවසේ ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. ඔබේ වැරදි ගැන ඔබ දුක් වෙනවා කියලා ඒ දවසේදී පෙන්නන්න ඕනේ.*+ යෙහෝවාට ගින්නෙන් පූජාවකුත් ඔප්පු කළ යුතුයි. 28  ඒ දවසේදී ඔබ කිසිම වැඩක් නොකළ යුතුයි. මොකද ඒක ඔබේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඔබේ වැරදිවලට සමාව ලබාගෙන ඔහු එක්ක සමඟි වෙන දවසයි.+ 29  ඒ දවසේ තමන්ගේ වැරදි ගැන දුක් වෙනවා කියලා පෙන්නන්නේ නැති* ඕනෙම කෙනෙක්ව මරා දැමිය යුතුයි.+ 30  කවුරු හරි ඒ දවසේදී මොනවා හරි වැඩක් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුව විනාශ කරනවා. 31  ඔබ එදාට කිසිම වැඩක් නොකළ යුතුයි. ඔබ කොහේ ජීවත් වුණත් ඔබේ හැම පරම්පරාවක්ම ඒ පනත දිගටම පැවැත්විය යුතුයි. 32  ඒක මුළු දවසම විවේකයෙන් ගත කළ යුතු සබත් දවසක්. ඔබ හත්වෙනි මාසේ නමවෙනිදා හවස ඉඳන් ඔබේ වැරදි ගැන දුක් වෙනවා කියලා පෙන්නන්න ඕනේ.+ එදා හවස ඉඳන් පහුවෙනිදා හවස වෙන කල් ඒ සබත් දවස පැවැත්විය යුතුයි.” 33  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 34  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් පැල්* උත්සවය පවත්වන්න. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ 35  පළවෙනි දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. එදාට මහන්සි වෙලා කිසි වැඩක් කරන්න ඔබට අවසර නැහැ. 36  ඒ දවස් හත පුරාම ඔබ යෙහෝවාට ගින්නෙන් දවන පූජා ඔප්පු කළ යුතුයි. අටවෙනි දවසෙත් ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඒක විශේෂ රැස්වීමක්. ඒ දවසෙත් යෙහෝවාට ගින්නෙන් දවන පූජාවක් ඔප්පු කරන්න. එදාට මහන්සි වෙලා කිසි වැඩක් කරන්න ඔබට අවසර නැහැ. 37  “‘ඒවා තමයි යෙහෝවා ඔබට සමරන්න කියපු උත්සව දවස්.+ ඒවා නිවේදනය කරලා සමරන්න ඕනේ. ශුද්ධ එක්රැස්වීම්+ පවත්වන ඒ දවස්වලදී යෙහෝවාට ගින්නෙන් දවලා මේ පූජා ඔප්පු කළ යුතුයි. ඒ ඒ දවසට නියම වුණ දවන පූජාවයි,+ ඒකත් එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවයි,+ පාන පූජායි+ ඔප්පු කළ යුතුයි. 38  ඒ පූජා ඔබ ඔප්පු කරන්න ඕනෙ යෙහෝවා වෙනුවෙන් පවත්වන සබත් දවස්වල+ ඔප්පු කරන පූජාවලට, ඔබ දෙන තෑගිවලට,+ භාර හැටියට+ සහ කැමැත්තෙන්ම දෙන+ පූජාවලට අමතරවයි. ඒවා ඔබ සාමාන්‍ය විදිහට යෙහෝවාට ඔප්පු කළ යුතුයි. 39  ඔබේ දේශයේ පලදාව රැස් කරගත්තාට පස්සේ හත්වෙනි මාසේ 15වෙනිදා ඔබ යෙහෝවා වෙනුවෙන් උත්සවයක් පැවැත්විය යුතුයි. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ පළවෙනි දවසේ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. අටවෙනි දවසෙත් මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ 40  ඔබ පළවෙනි දවසේදී ගස්වලින් හොඳම පලතුරු කඩාගෙන තාල ගස්වල අතුයි,+ කොළ පිරුණු අතුයි, නිම්නවල වැඩෙන ගස්වල* අතුයි කපාගෙන ඔබේ දෙවි වන යෙහෝවා ඉස්සරහා දවස් හතක්+ සතුටු වෙන්න.+ 41  යෙහෝවා වෙනුවෙන් සමරන ඒ උත්සවය ඔබ හැම අවුරුද්දකම දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ ඒක සමරන්න ඕනෙ හත්වෙනි මාසේදී. ඒක ඔබයි, ඔබෙන් පැවතෙන හැමෝමයි දිගටම පිළිපැදිය යුතු පනතක්. 42  ඒ දවස් හතේදී ඔබ පැල්පත්වල ජීවත් විය යුතුයි.+ හැම ඊශ්‍රායෙල් ජාතිකයෙක්ම පැල්පත්වල ජීවත් විය යුතුයි. 43  මම ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තු දේශයෙන් පිටතට+ අරගෙන ආවාම ඔවුන්ට පැල්පත්වල* ජීවත් වෙන්න සැලැස්සුවා කියලා අනාගත පරපුර දැනගන්න+ ඔබ එහෙම කරන්න ඕනේ. මම ඔබේ දෙවි වන යෙහෝවා.’” 44  ඉතින් යෙහෝවා නියම කරපු උත්සව දවස් ගැන මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට කිව්වා.

පාදසටහන්

පේන විදිහට මෙතන කතා කරන්නේ හිරු බැස යන වෙලාව සහ අඳුර වැටෙන වෙලාව අතර කාලය ගැනයි.
ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් කියන්නේ ලීටර් 4.4ක්. කි.ග්‍රෑ. 2කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.
හෝ, “දෙවියන්ව සතුටු කරන.”
හින මිනුමක් කියන්නේ ලීටර් 3.67ක්. උප. B14 බලන්න.
මූ.අ., “සබත් හතක්.”
ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් කියන්නේ ලීටර් 4.4ක්. කි.ග්‍රෑ. 2කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.
හෝ, “පීඩාවට පත් වෙලා ඉන්න.”
හෝ, “දෙවියන් එක්ක සාමකාමී බැඳීමක් ආයෙත් ඇති කරන දවසයි.”
මේකෙන් නිරාහාරව ඉන්න එක ඇතුළුව තමන්ටම දාගත්ත තහංචි අදහස් කළා වෙන්න පුළුවන්.
හෝ සමහරවිට, “නිරාහාරව ඉන්නේ නැති.”
හෝ, “තාවකාලික මඩු.”
හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ මැදපෙරදිග රටවල ගංඉවුරුවල සාමාන්‍යයෙන් වැඩෙන ගහක්. ඉංග්‍රීසියෙන් පොප්ලර්.
හෝ, “තාවකාලික මඩුවල.”