ලෙවී කතාව 26:1-46

  • රූප නමස්කාරයෙන් ඈත් වෙලා ඉන්න (1, 2)

  • කීකරු වෙද්දී ලැබෙන ආශීර්වාද (3-13)

  • අකීකරු වෙද්දී ලැබෙන දඬුවම් (14-46)

26  “‘කිසි වැඩකට නැති දෙවිවරුන්ව හදාගන්න එපා.+ නමස්කාර කරන්න රූපවත්+ කුලුනුවත් හදාගන්න එපා. කැටයම් කරපු ගල් රූප+ ඔබේ දේශයේ ඉදි කරන්නවත් ඒවා ඉස්සරහා වැඳ වැටෙන්නවත් එපා.+ මොකද මම ඔබේ දෙවි වන යෙහෝවා.  මම නියම කරපු සබත් ඔබ පැවැත්විය යුතුයි. මගේ ශුද්ධස්ථානයට ඔබ ලොකු ගෞරවයක්* පෙන්විය යුතුයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.  “‘ඔබ මගේ ආඥාවලට කීකරු වෙලා මගේ පනත්වලට අනුව ජීවත් වුණොත්+  මම නියම කාලෙට ඔබේ දේශයට වැසි ලබා දෙනවා.+ ඔබට භූමියෙන් ඉතා සාරවත් අස්වැන්නක් ලැබෙයි.+ දේශයේ ගස්වලින් හොඳ පලදාවක් ලැබෙයි.  මිදි අස්වැන්න එකතු කරන කාලය වෙන කල්ම ඔබ ධාන්‍ය පාගනවා. බීජ වපුරන කාලය වෙන කල්ම ඔබ මිදි අස්වැන්න එකතු කරනවා. කෑමෙන් ඔබට කිසි හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඔබ ඔබේ දේශයේ සුරක්ෂිතව ජීවත් වෙනවා.+  මම ඔබේ දේශය පුරාම සමාදානය ඇති කරනවා.+ හිතේ බයක් නැතුව ඔබ සැපට නිදාගන්නවා.+ මම නපුරු වනසතුන්ව ඔබේ දේශයෙන් පන්නලා දානවා. කවුරුවත් ඔබට විරුද්ධව සටන් කරන්න කඩු අරගෙන එන්නේ නැහැ.  ඔබ ඔබේ සතුරන්ව පන්නලා දානවා. කඩුවෙන් පහර දීලා ඔවුන්ව පරාජය කරනවා.  ඔබෙන් පස්දෙනෙක් සතුරන් 100දෙනෙක්වයි, ඔබෙන් 100දෙනෙක් සතුරන් 10,000දෙනෙක්වයි පන්නලා දානවා. ඔබ කඩුවෙන් පහර දීලා ඔබේ සතුරන්ව පරාජය කරනවා.+  “‘මම ඔබට ආශීර්වාද කරනවා. ඔබට ගොඩක් දරු සම්පත් ලබා දීලා ඔබේ ගාණ තව තවත් වැඩි කරනවා.+ ඔබ එක්ක ඇති කරගත්ත ගිවිසුම මම ඉටු කරනවා.+ 10  ඔබට කොච්චර අස්වැන්නක් ලැබෙනවාද කියනවා නම් ඊළඟ අවුරුද්දේ අස්වැන්න නෙළන කාලය වෙද්දීත් පරණ අස්වැන්න කාලා ඉවර කරන්න බැරි වෙයි. අලුත් අස්වැන්න ගබඩා කරන්න වෙන්නේ කලින් අවුරුද්දේ අස්වැන්න අයින් කරලයි. 11  මම මගේ ශුද්ධ කූඩාරම ඔබ අතරේ පිහිටුවනවා.+ මම ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. 12  මම ඔබත් එක්කම ඉඳලා ඔබේ දෙවියන් වෙනවා.+ ඔබ මගේ සෙනඟ වෙනවා.+ 13  ඔබ වහලුන් වෙලා හිටපු ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනාපු මම ඔබේ දෙවි වන යෙහෝවා. ඔබ පිට දාපු වියගහ අයින් කරලා නිදහස් සෙනඟක් විදිහට ගමන් කරන්න ඔබට උදව් කළේ මමයි. 14  “‘ඒත් ඔබ මගේ ආඥාවලට අකීකරු වෙලා මට සවන් දෙන්නේ නැත්නම්+ 15  මගේ පනත් ප්‍රතික්ෂේප කරලා+ මගේ තීන්දු ගාණකටවත් ගන්නේ නැතුව මගේ ආඥාවලට පිටින් ගිහිල්ලා මාත් එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කළොත්+ 16  මම ඔබට මේ දේවලින් දඬුවම් කරනවා. ඔබට ලොකු බයක් දැනෙන්න සලස්වනවා. ක්ෂය රෝගය සහ තද උණ ඔබ පිටට ගේනවා. ඒකෙන් ඔබේ පෙනීම දුර්වල වෙලා, ශරීර ශක්තිය හීන වෙයි. බීජ වැපුරුවත් ඔබට කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබේ සතුරන් ඇවිත් ඔබේ අස්වැන්න පැහැරගන්නවා.+ 17  මම ඔබව ප්‍රතික්ෂේප කරනවා. ඔබේ සතුරන්ගේ අතින් ඔබ පරාජය වෙනවා.+ ඔබට වෛර කරන අය ඔබව පාගලා දානවා.+ කවුරුත් ඔබ පසුපස එළවගෙන ආවේ නැතත් ඔබ බයෙන් පලා දුවනවා.+ 18  “‘ඒ වගේ දේවලට මුහුණ දුන්නාට පස්සෙත් ඔබ මට සවන් දෙන්නේ නැත්නම් ඔබේ වැරදිවලට කලින්ට වඩා හත් ගුණයක් වැඩියෙන් මම ඔබට දඬුවම් කරනවා. 19  මම ඔබේ උද්ධච්චකම නැති කරලා දානවා. අහස යකඩ වගෙත්*+ භූමිය තඹ වගෙත්* වෙන්න සලස්වනවා. 20  ඔබ කොච්චර මහන්සි වුණත් ඒකෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබට භූමියෙන් අස්වැන්නක්වත් දේශයේ ගස්වලින් පලදාවක්වත් ලැබෙන්නේ නැහැ.+ 21  “‘එහෙම වුණාට පස්සෙත් ඔබ මට විරුද්ධ වෙලා මට සවන් දෙන්නේ නැත්නම් මම ඔබේ වැරදිවලට දෙන දඬුවම් තවත් හත් ගුණයකින් වැඩි කරනවා. 22  මම වනසතුන්ව ඔබ අතරට එවනවා.+ උන් ඔබේ දරුවන්ව මරලා+ ඔබ ඇති කරන සතුන්ව විනාශ කරලා දානවා. ඔබේ දේශයේ ජනගහනය අඩු වෙලා පාරවල් පාළු වෙලා යනවා.+ 23  “‘ඔබ එහෙම දඬුවම් වින්දාට පස්සෙත් මගේ හික්මවීම් පිළිගන්නේ නැතුව+ දිගටම මුරණ්ඩු විදිහට මට විරුද්ධව වැඩ කළොත් 24  මමත් ඔබට විරුද්ධව වැඩ කරනවා. ඔබේ වැරදිවලට මම ඔබට හත් පාරක් දඬුවම් කරනවා. 25  ඔබ මගේ ගිවිසුම කඩ කරපු නිසා ඔබට කඩුවෙන් පහර දෙන්න මම ඔබේ සතුරන්ව එවනවා.+ ඔබ ඔබේ නුවරවල හැංගිලා හිටියත් මම ඔබට වසංගතවලින් පහර දීලා+ සතුරෙක් අතට ඔබව හසු කරලා දෙනවා.+ 26  මම ඔබේ ආහාර* ගබඩාවන්* විනාශ කරලා දානවා.+ ඒ නිසා කාන්තාවන් දහදෙනෙක්ට රොටි පුච්චන්න එක උදුනක් හොඳටම ඇති වෙනවා. ඔවුන් ඔබ එක් එක් කෙනාට කෑම පංගුවක් කිරලා දෙනවා.+ ඒ පොඩි කොටස ඔබ කෑවත් බඩගින්න නිවෙන්නේ නැහැ.+ 27  “‘ඒත් ඒ හැම දේකටම පස්සෙත් ඔබ මට සවන් නොදී මුරණ්ඩු විදිහට දිගටම මට විරුද්ධව වැඩ කළොත් 28  මම තවත් වැඩියෙන් ඔබට විරුද්ධව වැඩ කරනවා.+ ඔබේ වැරදිවලට මම ඔබට හත් පාරක් දඬුවම් කරනවා. 29  ඔබට ඔබේම පුතාලාගෙත් දුවලාගෙත් මස් කන්න වෙනවා.+ 30  මම ඔබේ පූජනීය ස්ථාන* නැත්තටම නැති කරලා+ ඔබේ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩලා දානවා. ඔබ හදපු පිළිකුල් රූප* විනාශ කරලා ඔබේ මළ කඳන් ඒවාට උඩින් ගොඩගහනවා.+ ඔබ මට පිළිකුලක් වන නිසා මම ඔබව ප්‍රතික්ෂේප කරනවා.+ 31  මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වෙන්න ඉඩහැරලා+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරනවා. ඔබ ඔප්පු කරන පූජාවලින් නඟින සුවඳ මම මිහිරි* සුවඳක් විදිහට සලකන්නේ නැහැ. 32  මම මුළු දේශයම පාළු තැනක් කරනවා.+ ඔබේ දේශය අයිති කරගන්න ඔබේ සතුරෝ දේශයට වෙලා තියෙන දේ දැකලා පුදුම වෙනවා.+ 33  මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරිනවා.+ කඩු අරන් ඔබට විරුද්ධව සටන් කරන්න මම ඔබේ සතුරන්ව එවනවා.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් වෙනවා.+ ඔබේ මුළු දේශයම පාළු වෙනවා. 34  “‘දේශය ඒ විදිහට පාළු වෙලා තියෙන කාලේදී ඒකට විවේකයක් ලැබෙනවා. ඔබ සතුරන්ගේ දේශයේ වහලුන් වෙලා ඉන්න කාලේදී ඔබ පැවැත්තුවේ නැති හැම සබතක් වෙනුවෙන්ම දේශය විවේක ගන්නවා.+ 35  ඔබ දේශයේ ජීවත් වුණ කාලේදී සබත් නීතිය පිළිපැද්දේ නැති නිසා දේශය පාළු වෙලා තියෙන මුළු කාලේදී ඒකට විවේකයක් ලැබෙනවා. 36  “‘ඔබ අතරින් බේරෙන අයට+ සතුරන්ගේ දේශයේ බයෙන් ජීවත් වෙන්න මම සලස්වනවා. කොච්චර බයෙන් ඉන්න වෙනවාද කියනවා නම් කොළයක් හුළඟේ පා වෙලා යන සද්දෙටත් ඔවුන් පැනලා දුවනවා. කවුරුත් ඔවුන් පස්සේ එළවගෙන ආවේ නැතත් කඩුවක් අරගෙන කෙනෙක් ඔවුන් පස්සේ එළවගෙන එනවා වගේ ඔවුන් දුවනවා. අන්තිමේදී ඔවුන් ඇදගෙන වැටෙනවා.+ 37  කඩු අරගෙන සතුරන් එළවගෙන එනවා කියලා හිතලා ඔවුන් කලබල වෙලා ඒ මේ අත දිව්වත් ඇත්තටම ඔවුන් පස්සේ කවුරුත් එළවගෙන එන්නේ නැහැ. කලබල වෙලා ඔවුන් දුවද්දී එක් එක් කෙනාගේ ඇඟේ හැප්පිලා වැටෙනවා. ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔබට ශක්තියක් නැහැ.+ 38  ඔබෙන් වැඩිදෙනෙක් වෙනත් ජාතීන්ට අයිති දේශවලදී මිය යයි.+ ඔබේ සතුරන්ගේ දේශයේදී ඔබ විනාශ වෙලා යයි. 39  ඔබ අතරින් බේරෙන අය ඔවුන්ගේ වැරදි නිසා සතුරන්ගේ දේශයේදී දුක් විඳලා නැති වෙනවා.+ ඔවුන්ගේ පියවරුන්ගේ වැරදි නිසා ඔවුන් අනිවාර්යයෙන්ම දුක් විඳලා නැති වෙලා යනවා.+ 40  එතකොට ඔවුන් තමන්ගේ වැරදි තේරුම්ගනියි.+ ඔවුන්ගේ පියවරුන් මට අවිශ්වාසවන්ත වෙලා කරපු වැරදි ඔවුන් තේරුම්ගනියි. මට විරුද්ධව වැඩ කරලා මට අවිශ්වාසවන්ත වුණා කියලා ඔවුන් පිළිගනියි.+ 41  මම ඔවුන්ට විරුද්ධව වැඩ කළෙත්+ සතුරන්ගේ දේශයට ඔවුන්ව අරන් ගියෙත්+ ඔවුන් මට විරුද්ධව වැඩ කරපු නිසයි කියලා ඔවුන් තේරුම්ගනියි. “‘එතකොටවත් ඔවුන් යටහත්පහත් වෙලා ඔවුන්ගේ මුරණ්ඩු ගති* අත්හරියි.+ ඔවුන්ගේ වැරදිවලට වන්දි ගෙවයි. 42  මම යාකොබ් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරනවා.+ ඊසාක් එක්ක ඇති කරගත්ත ගිවිසුමයි,+ ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුමයි මම සිහි කරනවා.+ දේශයත් මම සිහි කරනවා. 43  ඔවුන්ට දේශය අත්හැරලා යන්න වෙන කාලේදී දේශය පාළුවට යන නිසා ඔවුන් පැවැත්තුවේ නැති සබත් වෙනුවෙන් දේශය විවේක ගනියි.+ ඒ වගේම ඔවුන් මගේ තීන්දු ප්‍රතික්ෂේප කරලා මගේ පනත් හෙළා දැක්ක නිසා ඒ වරදට ඔවුන් වන්දි ගෙවයි.+ 44  ඔවුන් ඒ මොනවා කළත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේ ඔවුන් ඉන්න කාලේදී මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන විදිහට ඔවුන්ව අත්හැරලා දාන්නෙත් නැහැ. එහෙම කළොත් මම ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම+ කඩ වෙනවා. මම ඔවුන්ගේ දෙවි වන යෙහෝවා. 45  වෙනත් ජාතීන්ගේ ඇස් පනාපිටම මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවා.+ එහෙම කළේ මම ඔවුන්ගේ දෙවියන් කියලා ඔප්පු කරලා පෙන්නන්න. මම ඔවුන් ගැන හිතලා ඔවුන්ගේ මුතුන්මිත්තන් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරනවා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.’” 46  ඒ නියෝග, තීන්දු සහ නීති යෙහෝවා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් සීනයි කන්දේදී ඊශ්‍රායෙල් සෙනඟට දුන්නා.+

පාදසටහන්

මූ.අ., “ගරුබියක්.”
ඒ කියන්නේ වැස්ස ලැබෙන්නේ නැහැ.
ඒ කියන්නේ වැස්ස නැති නිසා පොළොව වේළිලා යනවා.
මූ.අ., “ලීය.” මෙතන කතා කරන්නේ රොටි එල්ලලා තියන්න පාවිච්චි කරන ලී ගැන වෙන්න පුළුවන්.
මූ.අ., “රොටි.”
මූ.අ., “නමස්කාරයට පාවිච්චි කරපු උස් තැන්.”
හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.
හෝ, “දෙවියන්ව සතුටු කරන.”
හෝ, “දැඩි හිත්.”