ලෙවී කතාව 9:1-24

  • ආරොන් පූජා ඔප්පු කරයි (1-24)

9  අටවෙනි දවසේදී+ මෝසෙස් ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටිය වැඩිමහල්ලන්ටයි එන්න කිව්වා.  ඔහු ආරොන්ට මෙහෙම කිව්වා. “පාප පූජාවක් හැටියට කැළලක් නැති වහු පැටියෙක්වයි,+ දවන පූජාවක් හැටියට කැළලක් නැති බැටළුවෙක්වයි අරගෙන යෙහෝවා දෙවියන් ඉස්සරහට එන්න.  ඔයා ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න ඕනේ. ‘පාප පූජාවක් හැටියට එළුවෙක්ව ගේන්න. දවන පූජාවක් හැටියට අවුරුද්දක් වයස වහු පැටියෙක්වයි, බැටළු පැටියෙක්වයි ගේන්න. උන් කිසිම කැළලක් නැති සතුන් වෙන්න ඕනේ.  හවුල් පූජාවක්+ හැටියට යෙහෝවා ඉස්සරහා ඔප්පු කරන්න ගවයෙක්වයි, බැටළුවෙක්වයි ගේන්න. තෙල් මිශ්‍ර කරපු ධාන්‍ය පූජාවකුත්+ ගේන්න. මොකද අද යෙහෝවා ඔයාලා ඉස්සරහා පෙනී ඉන්නවා.’”+  ඔවුන් මෝසෙස් ගේන්න කියලා අණ කරපු හැම දෙයක්ම අරගෙන හමු වීමේ කූඩාරම ඉස්සරහට ගියා. මුළු සෙනඟම එතනට ඇවිත් යෙහෝවා ඉස්සරහා හිටගත්තා.  මෝසෙස් ඔවුන්ට මෙහෙම කිව්වා. “ඒ දේවල් කරන්න කියලා යෙහෝවා ඔයාලට අණ කළා. එතකොට ඔයාලට පුළුවන් වෙයි යෙහෝවාගේ තේජස දකින්න.”+  ඊටපස්සේ මෝසෙස් ආරොන්ට මෙහෙම කිව්වා. “යෙහෝවා අණ කරපු විදිහටම පූජාසනය ළඟට ගිහිල්ලා ඔයා ගෙනාපු පාප පූජාවයි,+ දවන පූජාවයි ඔප්පු කරලා ඔයාගෙයි,+ ඔයාගේ පවුලේ* අයගෙයි වැරදිවලට සමාව ලබාගන්න. ඊටපස්සේ සෙනඟ+ ගෙනාපු පූජාව එයාලා වෙනුවෙන් ඔප්පු කරලා එයාලාගේ වැරදිවලට සමාව ලබාගන්න.”+  ආරොන් ඒ වෙලාවෙම පූජාසනය ළඟට ගිහිල්ලා ඔහුගේ පාප වෙනුවෙන් ඔප්පු කරන්න ගෙනාපු වහු පැටියාව මැරුවා.+  ඊටපස්සේ ආරොන්ගේ පුතාලා සතාගේ ලේ+ ඔහු ළඟට ගෙනාවා. ඔහු ඒ ලේවලින් ටිකක් ඇඟිල්ලට අරගෙන පූජාසනයේ අංවල ගෑවා. ඉතුරු ලේ ටික ඔහු පූජාසනයේ පාමුලට වක් කළා.+ 10  ආරොන් පාප පූජාවට ගෙනාපු සතාගේ තෙල් කොටසුයි, වකුගඩු දෙකයි, අක්මාව වටේ තියෙන තෙලුයි පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා. යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම ඔහු ඒ හැම දෙයක්ම කළා.+ 11  ඊටපස්සේ සතාගේ ඉතුරු මස් ටිකයි, හමයි කඳවුරෙන් එළියට අරන් ගිහින් පිච්චුවා.+ 12  ඊටපස්සේ ඔහු දවන පූජාවට ගෙනාපු සතාව මැරුවා. ආරොන්ගේ පුතාලා ඒ සතාගේ ලේ ඔහුට ගෙනත් දුන්නා. ඔහු ඒ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉස්සා.+ 13  දවන පූජාවට මරපු සතාව කෑලිවලට කැපුවාට පස්සේ ඒ කෑලියි, උගේ ඔළුවයි ඔවුන් ආරොන්ට ගෙනත් දුන්නා. ඔහු ඒවා පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා. 14  ඊටපස්සේ ඔහු උගේ බඩවැල් සහ කකුල් වතුරෙන් හෝදලා පූජාසනයේ තිබුණ දවන පූජාව උඩින් තියලා ඒවා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා. 15  ඊටපස්සේ ඔහු සෙනඟ ගෙනාපු පූජා ඔප්පු කළා. මුලින්ම ඔහු එළුවාව අරගෙන ඌව මරලා සෙනඟගේ පව් වෙනුවෙන් ඌව ඔප්පු කළා. කලින් ඔහු වහු පැටියාව ඔප්පු කරපු විදිහටම මේ සතාවත් ඔප්පු කළා. 16  ඊටපස්සේ ඔහු දවන පූජාවත් ඔප්පු කළා. සාමාන්‍යයෙන් දවන පූජා ඔප්පු කරන විදිහටම ඔහු ඒක ඔප්පු කළා.+ 17  ඊටපස්සේ ඔහු ධාන්‍ය පූජාව+ අරන් ඇවිත් ඒකෙන් අහුරක් අරගෙන ඒක පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා. උදේට ඔප්පු කරන දවන පූජාවට අමතරව ඒ ධාන්‍ය පූජාව ඔප්පු කළා.+ 18  ඊටපස්සේ ඔහු හවුල් පූජාවක් හැටියට සෙනඟ ගෙනාපු ගවයාවයි, බැටළුවාවයි මැරුවා. ආරොන්ගේ පුතාලා ඒ සතුන්ගේ ලේ ඔහුට ගෙනත් දුන්නා. ඔහු ඒ ලේ අරගෙන පූජාසනයේ හැම පැත්තටම ඉස්සා.+ 19  ගවයාගේ තෙල් කොටසුයි,+ බැටළුවාගේ තෙලින් පිරුණු වලිගෙයි, බඩවැල් වටේ තියෙන තෙල් තට්ටුවයි, වකුගඩු දෙකයි, අක්මාව වටේ තියෙන තෙලුයි+ 20  අරගෙන ඔවුන් ඒවා සතුන් දෙන්නාගේ පපු කොටස් උඩින් තිබ්බා. ඊටපස්සේ ආරොන් ඒ තෙල් කොටස් ඔක්කොම පූජාසනය මත තියලා දවද්දී ඒකේ දුම ඉහළට නැග්ගා.+ 21  ඒත් ආරොන් පපු කොටසුයි, දකුණු ගාතයයි අතට අරගෙන සොලවන පූජාවක් විදිහට යෙහෝවා ඉස්සරහා ඒවා ඒ මේ අත සෙලෙව්වා. මෝසෙස් අණ කරපු විදිහටම ඔහු කළා.+ 22  ඊටපස්සේ ආරොන් සෙනඟ දිහාවට අත් දික් කරලා ඔවුන්ට ආශීර්වාද කළා.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළාට පස්සේ ඔහු පූජාසනය ළඟින් බැහැලා ආවා. 23  අන්තිමට මෝසෙස් සහ ආරොන් හමු වීමේ කූඩාරම ඇතුළට ගියා. ඊටපස්සේ ඔවුන් එළියට ඇවිත් සෙනඟට ආශීර්වාද කළා.+ එතකොට මුළු සෙනඟ යෙහෝවාගේ තේජස දැක්කා.+ 24  යෙහෝවා දෙවියන් ගින්නක් එවලා+ පූජාසනයේ තිබ්බ දවන පූජාව සහ තෙල් කොටස් ඔක්කොම සම්පූර්ණයෙන්ම දවලා දැම්මා. ඒක දැක්කාම මුළු සෙනඟ පුදුමයෙන් කෑගහලා, දණින් වැටිලා, ඔළුව බිමට පහත් කරලා නමස්කාර කළා.+

පාදසටහන්

හෝ, “ගෝත්‍රයේ.”