විනිශ්චයකරුවෝ 16:1-31

  • සැම්සන් ගාසාවලට යයි (1-3)

  • සැම්සන් සහ දෙලීලා (4-22)

  • සැම්සන් පළිගනියි; එයාගේ මරණය (23-31)

16  දවසක් සැම්සන් ගාසාවලට ගියාම ගණිකා ස්ත්‍රියක්ව දැකලා එයාගේ ගෙදරට ගියා.  “සැම්සන් ගාසාවලට ඇවිල්ලා” කියලා එහේ මිනිස්සුන්ට ආරංචි වුණා. ඉතින් එයාලා ඒ නගරයේ හැම තැනක්ම වටලලා මුළු රෑ පුරාම නගරයේ ප්‍රධාන දොරටුව ළඟට වෙලා රැකගෙන හිටියා. “එළිය වැටුණාම අපි මිනිහාව අල්ලගෙන මරලා දාමු” කියලා හිතාගෙන එයාලා රෑ එතනට වෙලා බලාගෙන හිටියා.  සැම්සන් රෑ 12 වෙන කල් නිදාගෙන හිටියා. ඊටපස්සේ එයා නැඟිටලා නගරයේ දොරටු ළඟට ගියා. එයා දොරටු දෙකයි, ඒක හරහට දාන පොල්ලයි, දොරටු දෙපැත්තේ තියෙන කණු දෙකත් එක්කම ගලවලා එයාගේ කරට ගත්තා. එයා ඒවා උස්සගෙන හෙබ්‍රොන් ඉස්සරහා තියෙන කන්දට අරගෙන ගියා.  ටික කාලෙකට පස්සේ සැම්සන් සෝරෙක් නිම්නයේ ජීවත් වුණ දෙලීලා+ කියන ස්ත්‍රියට ආදරේ කරන්න පටන්ගත්තා.  ඉතින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් දෙලීලා ළඟට ඇවිල්ලා එයාට මෙහෙම කිව්වා. “ඔයාට බැරිද සැම්සන්ව රවට්ටලා+ එයාට මේ තරම් ශක්තියක් ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න. එයාව අල්ලලා, බැඳලා, මෙල්ල කරගන්න පුළුවන් විදිහත් දැනගෙන අපිට කියන්න. එහෙම කළොත් අපි හැමෝම රිදී ෂෙකෙල් 1,100 ගාණේ ඔයාට දෙනවා.”  ඊටපස්සේ දෙලීලා සැම්සන්ට මෙහෙම කිව්වා. “අනේ කියන්නකෝ, ඔයාට තියෙන ඔය ශක්තිය හම්බ වුණේ කොහොමද කියලා. කාට හරි ඔයාව මෙල්ල කරගන්න ඕනෙ නම් ඔයාව බැඳලා තියන්න ඕනෙ මොකකින්ද?”  සැම්සන් එයාට මෙහෙම කිව්වා. “දුනුවලට බඳින්න ගන්න අලුත් පටි* හතකින් මාව බැඳලා තිබ්බොත් මගේ ශක්තිය නැති වෙලා යනවා. මං සාමාන්‍ය මිනිහෙක් වගේ වෙයි.”  ඉතින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් දුනුවලට බඳින්න ගන්න අලුත් පටි හතක් දෙලීලාට ගෙනත් දුන්නා. එයා ඒවාවලින් සැම්සන්ව ගැටගැහුවා.  සැම්සන්ව අල්ලගන්න ආපු මිනිස්සු කීපදෙනෙක් ඒ වෙද්දීත් ගෙදර තිබුණ තවත් කාමරේක හැංගිලයි හිටියේ. ඉතින් දෙලීලා කෑගහලා මෙහෙම කිව්වා. “සැම්සන්! අන්න ඔයාව අල්ලගන්න පිලිස්තිවරු ඇවිල්ලා!” ඒක ඇහුණු ගමන්ම එයාව ගැටගහලා තිබුණ පටි හත එයා කඩලා දැම්මා. ගෝණි නූලකට ගිනිදැල්ලක් වදිද්දී ඒක පිච්චිලා යනවා වගේ හරිම ලේසියෙන් එයා ඒවා කඩලා දැම්මා.+ එයාගේ ශක්තියට රහස එළි වුණේ නැහැ. 10  ඊටපස්සේ දෙලීලා සැම්සන්ට මෙහෙම කිව්වා. “ඔයා මාව රැවැට්ටුවා. ඔයා මට කිව්වේ බොරුවක්. අනේ දැන්වත් කියන්නකෝ, ඔයාව බැඳලා තියන්න ඕනෙ මොකෙන්ද කියලා.” 11  ඉතින් එයා දෙලීලාට මෙහෙම කිව්වා. “කිසිම වැඩකට පාවිච්චි කරලා නැති අලුත්ම කඹවලින් මාව බැන්දොත් හරි. එතකොට මගේ ශක්තිය නැති වෙලා යනවා. මාත් සාමාන්‍ය මිනිහෙක් වගේ වෙනවා.” 12  ඉතින් දෙලීලා අලුත්ම කඹ අරගෙන සැම්සන්ව බැඳලා මෙහෙම කෑගැහුවා. “සැම්සන්! අන්න පිලිස්තිවරු ඇවිල්ලා!” (ඒ හැම දෙයක්ම වෙද්දී සැම්සන්ව අල්ලගන්න ආපු කට්ටිය කාමරේක හැංගිලයි හිටියේ.) එතකොට නූල් පොටවල් කඩලා දානවා වගේ එයා ඒවා කඩලා දැම්මා.+ 13  ඊටපස්සේ දෙලීලා සැම්සන්ට මෙහෙම කිව්වා. “මං ආයෙත් සැරයක් ඔයාට රැවටුණානේ. ඔයා මට කියන්නේ බොරු.+ ඔයාව බැඳලා තියන්න ඕනෙ මොකෙන්ද කියලා කියන්නකෝ.” ඉතින් සැම්සන් එයාට මෙහෙම කිව්වා. “මගේ මේ ගොතපු කොණ්ඩ කැරලි හත රෙදි වියන යන්ත්‍රයකට තියලා නූල් එක්ක වියන්න.” 14  ඉතින් දෙලීලා එහෙම කරලා ඒක ගැලවෙන්නේ නැති විදිහට යන්ත්‍රයේ ඇබය ගහලා තද කළා. ඊටපස්සේ එයා කෑගහලා මෙහෙම කිව්වා. “සැම්සන්! අන්න පිලිස්තිවරු ඇවිල්ලා!” එතකොටම සැම්සන් ඇහැරිලා ඇබය ගලවලා දාලා, නූල් එක්ක වියලා තිබ්බ කොණ්ඩේ ඇදලා ගත්තා. 15  දෙලීලා සැම්සන්ට මෙහෙම කිව්වා. “ඔයා මට ආදරෙයි කියලා කිව්වාට+ ඔයාට මාව විශ්වාස නැහැනේ. දැන් තුන් පාරක්ම ඔයා මාව රැවැට්ටුවා. මං ඔයාගෙන් කොච්චර ඇහුවත් ඔයාගේ ශක්තියට රහස මට කිව්වේ නැහැ.”+ 16  ඒ ගැන කියන්න කියලා දෙලීලා එයාට හැමදාම කරදර කළා. අන්තිමට ජීවිතේ එපා වෙන තරමට සැම්සන්ට ඒක මහා වධයක් වුණා.+ 17  අන්තිමේදී සැම්සන් හැම දෙයක්ම එයාට කිව්වා. “ඉපදුණ දවසේ ඉඳලාම මං නසරීතවරයෙක්. ඒ නිසා කවදාවත් මගේ කොණ්ඩේ කපලා නැහැ. මං දෙවියන්ගේ සේවය වෙනුවෙන්ම වෙන් කරපු කෙනෙක්.+ හැබැයි කවුරු හරි මගේ කොණ්ඩේ කැපුවොත් මගේ මේ ශක්තිය නැති වෙලා මමත් සාමාන්‍ය මිනිහෙක් වගේ වෙයි.” 18  සැම්සන් කිසිම දෙයක් හංගන්නේ නැතුව හැම දෙයක්ම එයාට කිව්වා කියලා දෙලීලාට තේරුණාම එයා ඉක්මනින් පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට+ මෙහෙම දැන්නුවා. “සැම්සන් මට මේ සැරේ නම් හැම දෙයක්ම කිව්වා. දැන් ඇවිත් එයාව අල්ලගන්න.” ඉතින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් සල්ලිත් අරගෙන දෙලීලා හිටපු තැනට ආවා. 19  දෙලීලා සැම්සන්ව එයාගේ ඔඩොක්කුවේ නිදි කරවගෙන කෙනෙක්ව ගෙන්නලා එයා ලවා සැම්සන්ගේ කොණ්ඩ කැරලි හත කැපුවා. ඊටපස්සේ සැම්සන්ව යටත් කරගන්න දෙලීලාට පුළුවන් වුණා. මොකද සැම්සන්ගේ ශක්තිය නැති වෙලා ගිහින් තිබුණා. 20  ඊටපස්සේ එයා කෑගහලා මෙහෙම කිව්වා. “සැම්සන්! අන්න පිලිස්තිවරු ඇවිල්ලා!” නිදාගෙන හිටපු සැම්සන් නැඟිටලා මෙහෙම කියාගත්තා. “මේ සැරෙත් මං බේරෙනවා.”+ ඒත් යෙහෝවා දෙවියන් එයාව අත්හැරලා කියලා සැම්සන් දැනන් හිටියේ නැහැ. 21  පිලිස්තිවරු ඇවිල්ලා එයාව අල්ලගෙන එයාගේ ඇස් උගුල්ලලා දැම්මා. පිලිස්තිවරු එයාව ගාසාවලට ගෙනල්ලා එයාට තඹ විලංගු දෙකක් දාලා හිරගෙදරට දැම්මා. ඊටපස්සේ එයා ලවා හිරගෙදර තිබුණ ඇඹරුම් ගලකින් ධාන්‍ය අඹරගත්තා. 22  ඔහොම ඉද්දී එයාගේ කොණ්ඩේ ආපහු වැවෙන්න පටන්ගත්තා.+ 23  දවසක් පිලිස්තිවරුන්ගේ අධිපතීන් එයාලාගේ දෙවියන් වන දාගොන්+ වෙනුවෙන් මහා පූජාවක් ඔප්පු කරන්නත් එයාලාගේ ජයග්‍රහණය සමරන්නත් එකට එකතු වුණා. එයාලා මෙහෙම කිව්වා. “අපේ හතුරා, සැම්සන්ව අපේ දෙවියෝ අපි අතට අල්ලලා දුන්නා.” 24  රැස් වෙලා හිටපු මිනිස්සු පිළිමේ දැකලා එයාලාගේ දෙවියන්ට ප්‍රශංසා කරලා මෙහෙම කිව්වා. “අපි අදහන දෙවියන් අපේ හතුරාව අපේ අතටම අල්ලලා දුන්නා. අපේ දේශය වනසපු,+ ගොඩක් අයව මරලා දාපු අපේ හතුරාව අපේ අතට අල්ලලා දුන්නා.”+ 25  සතුටින් හිටපු එයාලා මෙහෙම කිව්වා. “සැම්සන්ව මෙහෙට ගේන්න. මිනිහා දිහා බලලා අපිට තවත් විනෝද වෙන්න පුළුවන්.” ඉතින් එයාලා සැම්සන්ව හිරගෙදරින් ගෙනල්ලා සෙනඟට විනෝද වෙන්න එයාලා රැස් වෙලා හිටපු දේවාලේ කුලුනු අතර හිටෙව්වා. 26  එතකොට එයාගේ අත අල්ලගෙන හිටපු පිරිමි ළමයාට සැම්සන් මෙහෙම කිව්වා. “මේ දේවාලේ ප්‍රධාන කුලුනු දෙක අල්ලන්න මට ඉඩ දෙන්න. මට ඒවාට හේත්තු වෙන්න ඕනේ.” 27  (ඒ දේවාලය පුරුෂයන් සහ ස්ත්‍රීන්ගෙන් පිරිලා තිබුණා. පිලිස්තිවරුන්ගේ අධිපතීන් හැමෝමත් එතන හිටියා. ඒකේ උඩුමහලේ පුරුෂයන් සහ ස්ත්‍රීන් 3,000ක් විතර හිටියා. එයාලා සැම්සන් දිහා බලලා විනෝද වුණා.) 28  ඒ වෙලාවේ සැම්සන්+ යෙහෝවාට කන්නලව් කරලා මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අනේ මාව අමතක කරන්න එපා. මේ වතාවේ විතරක් මාව ශක්තිමත් කරන්න.+ අනේ දෙවියනි, මගේ ඇස් දෙකෙන් එක ඇහැක් වෙනුවෙන්වත් පිලිස්තිවරුන්ගෙන් පළිගන්න මට උදව් කරන්න.”+ 29  ඊටපස්සේ සැම්සන් දේවාලේ මැද තිබ්බ කුලුනු දෙක අතර හිටගෙන එයාගේ දකුණු අත එක කුලුනකත් වම් අත අනිත් කුලුනෙත් තිබ්බා. 30  “මේ පිලිස්තිවරුන් එක්ක මටත් මැරෙන්න ඉඩ දෙන්න” කියලා එයා මුළු ශක්තියම දාලා ඒ කුලුනු දෙක දෙපැත්තට තල්ලු කළා. එතකොට ඒ දේවාලය කඩාගෙන වැටුණා. පිලිස්තිවරුන්ගේ අධිපතීන් ඇතුළුව ඒකේ රැස් වෙලා හිටපු හැමෝම ඒකට යට වුණා.+ ඒ විදිහට සැම්සන් එයාගේ ජීවිත කාලේ පුරාම මරලා දැම්ම පිලිස්තිවරුන්ගේ ගාණට වඩා ලොකු ගාණක් එයා මැරෙන වෙලාවේ මරලා දැම්මා.+ 31  ඊටපස්සේ සැම්සන්ගේ සහෝදරයෝයි, එයාගේ තාත්තාගේ පවුලේ නෑදෑයෝයි ඇවිල්ලා එයාගේ මළ සිරුර අරගෙන ගියා. එයාගේ තාත්තා වුණ මානෝවාව+ තැන්පත් කරපු තැනම එයාලා සැම්සන්වත් තැන්පත් කළා. ඒ තැන තිබුණේ ෂොරා+ සහ එෂ්තායොල් අතරේ. සැම්සන් ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවෙක් විදිහට අවුරුදු 20ක් සේවය කරලා තිබුණා.+

පාදසටහන්

හෝ, “සත්ව නහර.”