විනිශ්චයකරුවෝ 18:1-31

  • දාන් ගෝත්‍රයේ අය ජීවත් වෙන්න ප්‍රදේශයක් හොයයි (1-31)

    • මීකාගේ රූපයි, පූජකයාවයි අරන් යයි (14-20)

    • ලායිෂ් අල්ලගෙන ඒක දාන් කියලා නම් කරයි (27-29)

    • දාන්වල අය රූපයට නමස්කාර කරයි (30, 31)

18  ඒ කාලේ ඊශ්‍රායෙල් දේශය පාලනය කරන්න රජ කෙනෙක් හිටියේ නැහැ.+ ඔය කාලේදී දාන් ගෝත්‍රයේ අය+ එයාලට පදිංචි වෙන්න ප්‍රදේශයක් හොයහොය හිටියා. මොකද ඊශ්‍රායෙල් සෙනඟ අතරේ එයාලට ලැබෙන්න ඕනෙ උරුමය සම්පූර්ණයෙන් ලැබිලා තිබුණේ නැහැ.+  දාන් ගෝත්‍රයේ අය ෂොරා සහ එෂ්තායොල්වල+ හිටපු එයාලාගේ ගෝත්‍රයේ දක්ෂ පුරුෂයන් පස්දෙනෙක්ව තේරුවා. “ගිහිල්ලා දේශයේ තොරතුරු හොයලා බලන්න” කියලා එයාලා ඒ අයව පිටත් කරලා යැව්වා. එයාලා එෆ්‍රායිම් කඳුකරයට ඇවිත් මීකාගේ ගෙදරට ආවා.+ එදා රෑ එයාලා එහේ හිටියා.  මීකාගේ ගෙදර ළඟ ඉද්දී එයාලට තරුණ ලෙවීවරයාගේ කටහඬ ඇහිලා* එයාව අඳුරගත්තා. එයාලා ලෙවීවරයා ළඟට ගිහිල්ලා මෙහෙම ඇහුවා. “ඔයා මොනවාද මෙහේ කරන්නේ? කවුද ඔයාව මෙහාට ගෙන්නගත්තේ? ඇයි ඔයා මෙහෙට වෙලා ඉන්නේ?”  ඉතින් ලෙවීවරයා එයා වෙනුවෙන් මීකා කරපු දේවල් ගැන විස්තර කරලා මෙහෙම කිව්වා. “එයා වෙනුවෙන් මං දැන් පූජකයෙක් විදිහට සේවේ කරනවා. ඒකට එයා මට පඩියකුත් දෙනවා.”+  ඉතින් එයාලා එයාගෙන් මෙහෙම ඇහුවා. “අපි යන ගමන සාර්ථක වෙයිද කියලා දෙවියන්ගෙන් අහලා අපිට කියන්න පුළුවන්ද?”  පූජකයා එයාලට මෙහෙම කිව්වා. “යන්න, බය වෙන්න එපා. ඔයාලා යන මේ ගමනේදී යෙහෝවා ඔයාලා එක්ක ඉන්නවා.”  ඒ මිනිස්සු පස්දෙනා එතනින් පිටත් වෙලා ලායිෂ්වලට+ ආවා. එහේ හිටපු අය සීදොන්වල මිනිස්සු වගේ ස්වාධීන සෙනඟක් කියලා එයාලා දැක්කා. ඒ මිනිස්සු සතුරන් ඇවිල්ලා එයාලට පහර දෙයි කියන බයෙන් හිටියේ නැති සෙනඟක්.+ එයාලව යටත් කරගන්න කිසිම පාලකයෙක් එයාලට විරුද්ධව ආවෙත් නැහැ. ඒ සෙනඟ හිටියේ සීදොන්වල මිනිස්සුන්ට ගොඩක් ඈතින්. එයාලා වෙන කා එක්කවත් කිසිම ගනු දෙනුවක් කළේ නැහැ.  එයාලා ආපහු ෂොරා සහ එෂ්තායොල්වල+ හිටපු එයාලාගේ සහෝදරයන් ළඟට ගියා. එයාලා ඒ පස්දෙනාගෙන් මෙහෙම ඇහුවා. “කොහොමද ඔයාලා ගිය ගමන?”  එයාලා මෙහෙම උත්තර දුන්නා. “අපි ගිහිල්ලා ලායිෂ් අල්ලගමු. ඒ පැත්ත නියමයි. මොකටද තව පරක්කු කරන්නේ? අපි ගිහින් ඒක අල්ලගමු. 10  ඔයාලා එහෙට ගියාම ඔයාලා දකියි එහේ ඉන්න මිනිස්සු සතුරන් ගැන බයෙන් ඉන්න සෙනඟක් නෙමෙයි කියලා.+ එහේ ඕන තරම් ඉඩකඩ තියෙනවා. දෙවියන් අපේ අතට දීලා තියෙන්නේ කිසිම දේකින් අඩුවක් නැති ප්‍රදේශයක්.”+ 11  ඊටපස්සේ දාන් ගෝත්‍රයට අයිති මිනිස්සු 600දෙනෙක් අවිආයුධ අරගෙන ෂොරා සහ එෂ්තායොල්වලින් පිටත් වුණා.+ 12  එයාලා යූදා ගෝත්‍රයට අයිති කිර්යත්යෙයාරීම්+ ළඟ කඳවුරු බැඳගත්තා. එයාලා කිර්යත්යෙයාරීම්වලට බස්නාහිරෙන් තිබුණ ඒ තැනට මහනේදාන්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. ඒ නම අද වෙන කල්ම පාවිච්චි කරනවා. 13  එයාලා එතනින් පිටත් වෙලා එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයට ගිහිල්ලා මීකාගේ ගෙදරට ආවා.+ 14  ලායිෂ්වල+ තොරතුරු හොයලා බලන්න ගිය පස්දෙනා එයාලාගේ සහෝදරයන්ට මෙහෙම කිව්වා. “ඔයාලා දන්නවාද මේ ගෙවල්වල ඉන්න අය ළඟ ඒෆොද් ඇඳුමක් තියෙනවා කියලා. ටෙරෆිම් රූපයි, තව රූප දෙකකුත් තියෙනවා.+ දැන් ටිකක් හිතන්න අපිට මොනවාද කරන්න පුළුවන් කියලා.” 15  ඉතින් එයාලා එතන නතර වුණා. ඒ මිනිස්සු පස්දෙනා තරුණ ලෙවීවරයා+ හිටපු මීකාගේ ගෙදරට ආවා. එයාලා ඇවිත් එයාගේ සැප දුක් ගැන ඇහුවා. 16  ඒ වෙලාවේ අවිආයුධ අතේ තියාගෙන හිටපු දාන් ගෝත්‍රයට අයිති මිනිස්සු 600දෙනා+ ගේට්ටුව ළඟට වෙලා හිටියා. 17  දේශයේ තොරතුරු හොයන්න ගිය මිනිස්සු පස්දෙනා+ ඒෆොද් ඇඳුමයි,+ ටෙරෆිම් රූපයි,+ අනිත් රූප දෙකයි+ ගන්න හිතාගෙන ගේ ඇතුළට ගියා. (ඒ වෙලාවේ පූජකයා+ හිටියේ අවිආයුධ අතේ තියාගෙන ගේට්ටුව ළඟ හිටපු මිනිස්සු 600දෙනා එක්ක.) 18  ඒ පස්දෙනා මීකාගේ ගෙදර ඇතුළට ගිහිල්ලා ඒෆොද් ඇඳුමයි, ටෙරෆිම් රූපයි, අනිත් රූප දෙකයි ගත්තාම පූජකයා එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලා මොනවාද මේ කරන්නේ?” 19  එතකොට එයාලා පූජකයාට මෙහෙම කිව්වා. “කට වහගන්න. දැන් සද්ද නැතුව අපිත් එක්ක එන්න. ඇවිත් අපේ උපදේශකයා* සහ පූජකයා වෙන්න. ටිකක් හිතලා බලන්න, එක් කෙනෙක්ගේ පූජකයෙක් වෙලා ඉන්න එකද හොඳ+ නැත්නම් ඊශ්‍රායෙල් ජාතියේ පවුල් ගොඩක් තියෙන ගෝත්‍රයක පූජකයෙක් වෙන එකද හොඳ+ කියලා.” 20  එයාලා කියපු දේට එකඟ වුණ පූජකයා ඒෆොද් ඇඳුමයි, ටෙරෆිම් රූපයි, අනිත් රූපවලින් එකකුයි+ අරගෙන දාන් ගෝත්‍රයේ මිනිස්සු එක්ක ගියා. 21  ඊටපස්සේ එයාලා ආපහු එයාලාගේ ගමන පටන්ගත්තා. එයාලාගේ දරුවන්වයි, සත්ව රැළවලුයි, එයාලට තිබ්බ වටින දේවලුයි එයාලට ඉස්සරහින් පිටත් කරලා ඇරියා. 22  ඔය විදිහට දාන් ගෝත්‍රයේ අය මීකාගේ ගෙදර ඉඳන් සෑහෙන දුරක් ගිහින් තිබුණා. ඊටපස්සේ මීකාගේ ගෙදර අවට හිටපු මිනිස්සු එකතු වෙලා එයාලා පස්සේ එළවගෙන ගියා. 23  එයාලා දාන් ගෝත්‍රයේ අය කිට්ටුවට ඇවිල්ලා කතා කළාම දාන් ගෝත්‍රයේ මිනිස්සු හැරිලා මීකාගෙන් මෙහෙම ඇහුවා. “මොකක්ද ප්‍රශ්නේ? මෙච්චර ලොකු කට්ටියක් එක්ක අපේ පස්සෙන් එන්නේ මොකටද?” 24  එතකොට මීකා මෙහෙම කිව්වා. “ඔයාලා කියන්නේ පුදුම කතාවක්නේ. ඔයාලා මං හදාගත්ත දෙවිවරුන්වයි, මගේ පූජකයාවයි අරගෙන ගියාම මට මොනවාද ඉතුරු වෙන්නේ? දැන් අහනවා ‘මොකක්ද ප්‍රශ්නේ’ කියලා.” 25  දාන් ගෝත්‍රයේ අය මෙහෙම කිව්වා. “වැඩිය සද්ද දාන්න එන්න එපා. අපේ මිනිස්සුන්ට කේන්ති ගියොත් ඔයාවයි, ඔයාගේ පවුලේ අයවයි ඉතුරු කරන එකක් නැහැ.” 26  එහෙම කියලා එයාලා දිගටම එයාලාගේ ගමන ගියා. තමන් එක්ක හිටපු අයට වඩා ඒ අයගේ ගාණ වැඩියි කියලා තේරුම්ගත්ත මීකා ආපහු හැරිලා ගෙදර ගියා. 27  මීකා හදාගත්ත දෙවිවරුන්වයි, එයාගේ පූජකයාවයි ගත්තාට පස්සේ දාන් ගෝත්‍රයේ අය ලායිෂ්වලට+ ගියා. සතුරන් ඇවිල්ලා පහර දෙයි කියලා බයක් නැතුව හිටපු එහේ මිනිස්සුන්ට+ එයාලා කඩුවෙන් පහර දීලා මුළු නගරයම ගිනිබත් කළා. 28  ඒ මිනිස්සුන්ව බේරගන්න කවුරුත් ආවේ නැහැ. මොකද බෙත්රෙහොබ්+ තැනිතලාවේ තිබුණ ඒ නගරය සීදොන්වලින් ගොඩක් ඈතින් තමයි තිබුණේ. ඒ වගේම එහේ හිටපු අය වෙන කවුරුත් එක්ක කිසිම ගනු දෙනුවක් කළෙත් නැහැ. දාන් ගෝත්‍රයේ අය ඒ නගරය ආපහු ගොඩනඟලා එහේ පදිංචි වුණා. 29  එයාලා ඒ නගරයට දාන්+ කියන නම දැම්මා. එහෙම කළේ ඊශ්‍රායෙල්ට ඉපදුණ දාන්+ එයාලාගේ මුතුන්මිත්තා වුණ නිසයි. ඒත් කලින් ඒ නගරය හැඳින්නුවේ ලායිෂ් කියන නමින්.+ 30  දාන් ගෝත්‍රයේ අය එයාලා අරගෙන ආව රූපයට නමස්කාර කරන්න ඒක එක තැනක තිබ්බා.+ එයාලා එක්ක ආපු ලෙවීවරයාගේ නම යොනාතාන්.+ එයා මෝසෙස්ගේ පුතා වුණ ගේර්ෂොම්ගේ+ පුතෙක්. යොනාතානුයි, එයාගේ පුතාලයි සතුරන් ඇවිල්ලා දේශය අල්ලගන්න කල් දාන් ගෝත්‍රයේ අය වෙනුවෙන් පූජකයන් විදිහට සේවය කළා. 31  දාන් ගෝත්‍රයේ අය මීකා හදාගත්ත රූපය එයාලා ළඟ තියාගත්තා. සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න හදපු කූඩාරම ෂීලෝවල+ තිබුණ කාලේ පුරාම එයාලා ඒක ළඟ තියාගත්තා.

පාදසටහන්

හෝ, “ලෙවීවරයා කතා කරන විදිහෙන්.”
තේරුම, “දාන්ගේ කඳවුර.”
මූ.අ., “තාත්තා.”