සෙකරියා 3:1-10
3 ඊටපස්සේ ඔහු මට උත්තම පූජක යොෂුවාව+ පෙන්නුවා. යොෂුවා හිටගෙන හිටියේ යෙහෝවා දෙවියන්ගේ දූතයා ඉස්සරහා. සාතන්+ යොෂුවාගේ දකුණු පැත්තේ හිටගෙන හිටියා. සාතන්ට ඕනෙ වුණේ යොෂුවාට බාධා කරන්නයි.
2 එතකොට යෙහෝවාගේ දූතයා සාතන්ට මෙහෙම කිව්වා. “සාතන්, යෙහෝවා ඔයාට තරවටු කරයි!+ මං ආයෙත් කියන්නේ, යෙරුසලම තමන්ගේ නුවර විදිහට තෝරගත්ත යෙහෝවාම+ තමයි ඔයාට තරවටු කරන්න ඕනේ. මේ මිනිසා ගින්නෙන් ඉවතට ඇදලා දාපු දර කෑල්ලක් වගේ නේද?”
3 යොෂුවා දේවදූතයා ඉස්සරහා හිටියේ කිලුටු ඇඳුම් ඇඳගෙනයි.
4 දේවදූතයා එයාගේ ඉස්සරහා හිටපු අයට කිව්වා “එයා ඇඳගෙන ඉන්න කිලුටු ඇඳුම් ගලවලා දාන්න” කියලා. ඊටපස්සේ එයා යොෂුවාට මෙහෙම කිව්වා. “මම ඔයාගේ වැරදි ඔයාගෙන් අයින් කළා. ඔයාට දැන් විශේෂ ඇඳුමක්* අන්දවයි.”+
5 එතකොට මම කිව්වා “එයාට පිරිසිදු හිස්වැස්මක් පලඳවන්න”+ කියලා. එයාලා එයාට පිරිසිදු හිස්වැස්මක් පලඳවලා අලුත් ඇඳුමකුත් ඇන්දුවා. ඒ වෙලාවේ යෙහෝවාගේ දූතයාත් එතන හිටියා.
6 ඊටපස්සේ යෙහෝවාගේ දූතයා යොෂුවාට මෙහෙම කිව්වා.
7 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මං පෙන්වන මාර්ගයේ ගමන් කරලා මං ඔයාට දීලා තියෙන වගකීම් ඉටු කරනවා නම්, ඔයාට මගේ ගෘහයේ විනිශ්චයකරු විදිහට සේවය කරන්න ලැබෙනවා.+ ඒ වගේම මගේ ගෘහයේ මළු බලා කියා ගන්නත්* මම ඔයාව පත් කරනවා. මෙතන ඉන්න අනිත් අයට වගේ ඔයාටත් නිදහසේ මගේ ඉස්සරහට එන්න මම අවසර දෙනවා.’
8 “‘උත්තම පූජක යොෂුවා, මම කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉස්සරහා වාඩි වෙලා ඉන්න පූජකයෙනි, ඔයාලත් සවන් දෙන්න. අනාගතයේ වෙන්න යන දෙයක් ඔයාලාගෙන් නියෝජනය වෙනවා. බලන්න, අංකුරය+ විදිහට හඳුන්වන මගේ සේවකයා+ කවුද කියලා මං හෙළි කරනවා!
9 යොෂුවා ඉස්සරහා මම තියපු ගල දිහා බලන්න. ඒ ගලේ ඇස් හතක් තියෙනවා.* මම ඒකේ අකුරු පෙළක් කොටනවා. ඒ වගේම දේශයේ වැසියන්ගේ වැරදි මම එක දවසකින් අයින් කරලා දානවා.’+ මේ දේවල් කිව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.
10 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙමත් කියනවා. ‘ඒ දවසේදී ඔයාලාගේ මිදිවැල් සහ අත්තික්කා ගස් යටට ඇවිත් ඔයාලා එක්ක කාලය ගත කරන්න+ එන්න කියලා ඔයාලා අසල්වැසියන්ට ආරාධනා කරයි.’”
පාදසටහන්
^ හෝ, “උත්සව අවස්ථාවලදී අඳින ඇඳුමක්.”
^ හෝ, “ආරක්ෂා කරන්නත්.”
^ ඇස් හතක් ගල දිහා බලාගෙන ඉන්නවා කියන දේත් අදහස් වෙන්න පුළුවන්.