සෙකරියා 7:1-14

  • බොරුවට නිරාහාරව ඉන්න එක යෙහෝවා හෙළා දකියි (1-14)

    • “ඔයාලා ඇත්තටම නිරාහාරව හිටියේ මං වෙනුවෙන්ද?” (5)

    • ‘එකිනෙකාට යුක්තිය ඉටු කරන්න. නොසැලෙන ආදරයක් පෙන්වන්න. දයාවත් පෙන්වන්න’ (9)

7  දාරියුස් රජකම් කරපු හතරවෙනි අවුරුද්දේ නමවෙනි මාසයේ, ඒ කියන්නේ කිස්ලෙව්* මාසයේ හතරවෙනිදා යෙහෝවා දෙවියන්ගෙන් සෙකරියාට+ පණිවිඩයක් ලැබුණා.  ඒ කාලයේදී යෙහෝවා දෙවියන්ට කන්නලව් කරලා ඔහුගේ අනුමැතිය ලබාගන්න කියලා බෙතෙල් නගරයේ වැසියෝ ෂරෙෂෙර්, රෙගෙම්මෙලෙක් සහ එයාගේ සේවකයන්ව පිටත් කරලා යැව්වා.  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ ගෘහයේ* ඉන්න පූජකයන්ගෙනුත් අනාගතවක්තෘවරුන්ගෙනුත් මෙහෙම අහලා දැනගන්න කියලා එයාලට කියලා තිබුණා. “අපි* අවුරුදු ගාණක් තිස්සේ කළා වගේ දිගටම පස්වෙනි මාසයේ+ නිරාහාරව ඉඳලා වැලපෙන්නද?”  එතකොට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මට මෙහෙම කිව්වා.  “දේශයේ වැසියන්ටත් පූජකයන්ටත් මෙහෙම කියන්න. ‘ඔයාලා මේ අවුරුදු 70+ පුරා පස්වෙනි මාසයෙත් හත්වෙනි මාසයෙත්+ නිරාහාරව හිටියා. ඒත් ඔයාලා ඇත්තටම නිරාහාරව හිටියේ මං වෙනුවෙන්ද?  ඔයාලා කෑවේ බිව්වේ ඔයාලවම සතුටු කරගන්න නෙවෙයිද?  කලින් හිටපු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා වන මං ඔයාලට කියපු දේවල්වලට ඔයාලට කීකරු වෙන්න තිබුණා නේද?+ ඒ කාලේදී නෙගෙබ් පළාතෙත් පහත් බිම්වලත්* යෙරුසලමෙත් ඒ අවට තියෙන නගරවලත් මිනිස්සු ජීවත් වුණා. එයාලා හැමෝම හිටියේ සමාදානයෙන්.’”  යෙහෝවා සෙකරියාට ආයෙත් කතා කරලා මෙහෙම කිව්වා.  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාලට කියන්නේ මෙහෙමයි. ‘විනිශ්චය කරද්දී යුක්තිය ඉටු කරන්න.+ එකිනෙකා එක්ක වැඩ කරද්දී නොසැලෙන ආදරයක්* පෙන්වන්න.+ එකිනෙකාට දයාවත් පෙන්වන්න. 10  වැන්දඹුවන්ටවත් පියා නැති දරුවන්ටවත්*+ ඔබ අතරේ ඉන්න විදේශිකයන්ටවත්+ දුප්පතුන්ටවත්+ වංචා කරන්න එපා. එකිනෙකාට විරුද්ධව හිතින්වත් දුෂ්ට දේවල් කුමන්ත්‍රණය කරන්න එපා.’+ 11  ඒත් එයාලා ඒ දේවල් කනකටවත් ගත්තේ නැහැ.+ එයාලා මුරණ්ඩු විදිහට මට පිටු පෑවා.+ මං කතා කරද්දී කන් වහගත්තා.+ 12  එයාලාගේ හිත් ගල්* වගේ දැඩි කරගත්තා.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා තමන්ගේ බලය මාර්ගයෙන් අතීතයේ හිටපු අනාගතවක්තෘවරුන්ට දීපු නීතියට* එයාලා අකීකරු වුණා. ඔහු කියපු දේවල් ගැන එයාලා කිසි තැකීමක් කළේ නැහැ.+ ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට එයාලා එක්ක ඇති වුණේ ලොකු කේන්තියක්.”+ 13  “‘මං* කතා කරද්දී එයාලා මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ ඒ නිසා එයාලා මට අඬගහද්දී මාත් එයාලට ඇහුම්කන් දුන්නේ නැහැ.’+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන්. 14  ‘මම කුණාටුවක් යවලා නොදන්න දේශවලට එයාලව විසුරුවාහැරියා.+ එයාලාගේ දේශය පාළුවට ගියා. කිසිම කෙනෙක් ඒ දේශයට ආපහු හැරිලා ආවේවත් ඒ මැදින් ගමන් කළේවත් නැහැ.+ මොකද එයාලා අලංකාර දේශය නැති නාස්ති කරලා දැම්මා. කොච්චරද කියනවා නම් ඒක දැක්කාම මිනිස්සුන්ගේ ඇඟ කිලිපොළා යනවා.’”

පාදසටහන්

උප. B15 බලන්න.
හෝ, “දේවමාලිගාවේ.”
මූ.අ., “මම.”
මූ.අ., “ෂෙපේලාවලත්.”
හෝ, “අම්මා තාත්තා නැති දරුවන්ටවත්.”
හෙබ්‍රෙව් භාෂාවෙන් දියමන්ති, එමරි ගල් නැත්නම් ගොඩක් ශක්තිමත් වෙනත් ගල් කියන අදහස් ඒ වචනයට ඇතුළත් වෙන්න පුළුවන්.
හෝ, “මඟ පෙන්වීම්වලට.”
මූ.අ., “ඔහු.”