හග්ගයි 1:1-15
1 දාරියුස් රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ හයවෙනි මාසයේ පළවෙනිදා, යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ හග්ගයි*+ මාර්ගයෙන්, ෂෙයල්ටියල්ගේ පුතා වුණ යූදා දේශයේ ආණ්ඩුකාරයා වන සෙරුබාබෙල්ට+ සහ යෙහොෂාදාක්ගේ පුතා වන උත්තම පූජක යොෂුවාට මේ පණිවිඩය දුන්නා.
2 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මේ ජනතාව කියනවා “යෙහෝවාගේ ගෘහය* ආයෙත් ගොඩනඟන්න තවම කාලය ඇවිත් නැහැ” කියලා.’”+
3 යෙහෝවා ආයෙත් අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන් මෙහෙම කිව්වා.
4 “මගේ ගෘහය නාස්ති වෙලා තියෙද්දී+ ඔයාලා අලංකාර ලීවලින් සරසපු ගෙවල්වල ජීවත් වෙනවා. මේ වගේ කාලයක එහෙම කරන එක හරි දෙයක් කියලා ඔයාලා හිතනවාද?
5 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඔයාලා වැඩ කරන විදිහ ගැන හොඳට හිතලා බලන්න.
6 ඔයාලා හුඟක් බීජ වැපුරුවත් නෙළාගන්නේ හරිම අඩු අස්වැන්නක්.+ ඔයාලට කන්න දෙයක් තිබුණත් තෘප්තියට පත් වෙන කල් කන්න ලැබෙන්නේ නැහැ. ඔයාලට බොන්න දෙයක් තිබුණත් ඇති තරම් බොන්න ලැබෙන්නේ නැහැ. ඇඳුම් ඇන්දත් උණුසුමක් ලැබෙන්නේ නැහැ. කුලී වැඩ කරන කෙනා මුදල් හම්බ කළත් එයා ඒවා දාන්නේ හිල් තියෙන පසුම්බියකට.’”
7 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ජනයෙනි, ඔයාලා වැඩ කරන විදිහ ගැන හොඳට හිතලා බලන්න.’
8 “‘කඳුකරයට ගිහින් ගස් කපාගෙන ඇවිත්+ මේ ගෘහය ගොඩනඟන්න.+ එතකොට මේ ගෘහය ගැන මම සතුටු වෙනවා වගේම ඒකෙන් මාව ගෞරවයට පත් වෙනවා.’+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.”
9 “‘ඔයාලා හුඟක් දේවල් බලාපොරොත්තුවෙන් හිටියත් ඔයාලට ලැබුණේ හරිම ටිකයි. ලැබුණු දේ ඔයාලාගේ ගෙදරට ගෙනාවත් මම හුස්මක් හෙළලා ඒ හැම දේම නැති කරලා දැම්මා.+ මම එහෙම කළේ ඇයි කියලා ඔයාලා දන්නවාද?’ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම එහෙම කළේ මගේ ගෘහය නාස්ති වෙලා තියෙද්දී, ඔයාලා ඔයාලාගේ ගෙවල් දොරවල් බලා කියා ගන්න මහන්සි වෙන නිසයි.+
10 ඔයාලාගේ දේශයට අහසින් පිනි වැටුණෙවත් පොළොවෙන් අස්වැන්න ලැබුණෙවත් නැත්තේ ඒ නිසයි.
11 මම දේශය පුරාමත් කඳුකරයෙත් දිගටම නියඟයක් ඇති වෙන්න සැලැස්සුවා. ඒ නිසා ධාන්‍යවලත් අලුත් වයින්වලත් තෙල්වලත් හිඟයක් ඇති වෙලා. පොළොවෙන් හරියට පලදාව හටගන්නෙත් නැහැ. මිනිස්සුත් එයාලා ඇති කරන සත්තුත් දුක් විඳිනවා. ඔයාලා මහන්සි වෙලා කරපු හැම දේම අපතේ ගිහින්.’”
12 ෂෙයල්ටියල්ගේ+ පුතා වුණ සෙරුබාබෙලුත්+ යෙහොෂාදාක්ගේ+ පුතා වුණ උත්තම පූජක යොෂුවාත් අනිත් හැමෝමත් එයාලාගේ දෙවි යෙහෝවා, හග්ගයි මාර්ගයෙන් කියපු දේට ඇහුම්කන් දුන්නා. එහෙම කළේ අනාගතවක්තෘ හග්ගයිව එව්වේ එයාලාගේ දෙවි යෙහෝවා කියලා එයාලා තේරුම්ගත්ත නිසයි. ඒ වගේම සෙනඟට යෙහෝවා ගැන ලොකු ගරුබියක් ඇති වුණා.
13 යෙහෝවා දෙවියන්ගේ පණිවිඩකරු වුණ හග්ගයි, යෙහෝවා එයාට කියපු විදිහටම සෙනඟට මෙහෙම කිව්වා. “‘මම ඔයාලා එක්කම ඉන්නවා’+ කියලා යෙහෝවා කියනවා.”
14 යෙහෝවා, යූදා දේශයේ ආණ්ඩුකාරයා+ වුණ ෂෙයල්ටියල්ගේ පුත් සෙරුබාබෙල්ගෙත් යෙහොෂාදාක්ගේ පුතා වුණ උත්තම පූජක යොෂුවාගෙත්+ අනිත් හැමෝගෙමත් හිත් පෙලඹුවා+ ආයෙත් වැඩ පටන්ගන්න. ඒ නිසා එයාලා ගිහින් ස්වර්ගයේ සේනාවල අධිපති වන, එයාලාගේ දෙවි යෙහෝවාගේ ගෘහයේ වැඩ පටන්ගත්තා.+
15 එයාලා වැඩ පටන්ගත්තේ දාරියුස්+ රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ හයවෙනි මාසයේ 24වෙනිදා.