හබක්කුක් 1:1-17

  • අනාගතවක්තෘවරයා උදව් ඉල්ලලා අඬයි (1-4)

    • ‘යෙහෝවා දෙවියනි, තව කොච්චර කාලයක් උදව් ඉල්ලන්නද?’ (2)

    • ‘ඔබ හිංසා පීඩා දිහා බලන් ඉන්නේ ඇයි?’ (3)

  • කල්දිවරුන්ව දඬුවම් කරන්න පාවිච්චි කරයි (5-11)

  • අනාගතවක්තෘවරයා යෙහෝවාට ආයාචනා කරයි (12-17)

    • ‘මගේ දෙවියනි, ඔබ කවදාවත් මිය යන්නේ නැහැ’ (12)

    • ‘ඔබ මොන තරම් ශුද්ධද කිව්වොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ’ (13)

1  අනාගතවක්තෘ හබක්කුක්ට* දර්ශනයක් මාර්ගයෙන් ලැබුණු පණිවිඩයයි මේ.   යෙහෝවා දෙවියනි, මම තව කොච්චර කාලයක් ඔබෙන් උදව් ඉල්ලලා අඬන්නද?+ දාමරිකයන්ගේ අතින් බේරගන්න කියලා තව කොච්චර කාලයක් ඔබෙන් ඉල්ලන්නද?+ ඔබ පියවර ගන්න කල් මං තව කොච්චර කාලයක් බලන් ඉන්නද?   ඔබ කිසි දෙයක් නොකර මිනිස්සු කරන හිංසා පීඩා දිහා බලන් ඉන්නේ ඇයි? මිනිස්සු මේ තරම් විනාශයක් කරන්නේ ඇයි? මැරවරකම් කරන්නේ ඇයි? මේ තරම් කෝලහල, අඬදබර සිද්ධ වෙන්නේ ඇයි? මගේ ඇස් දෙකෙන් මේ වගේ දුෂ්ට දේවල් දකින්න ඔබ ඉඩහරින්නේ ඇයි?   යුක්තියටවත් නීතියටවත් කිසිම තැනක් නැහැ. දුෂ්ටයෝ ධර්මිෂ්ඨයන්ව වට කරගෙන ඉන්නවා. යුක්තිය කණපිට පෙරළිලා.+   “ජනයෙනි, අවට ජාතීන් දිහා බලන්න. කට ඇරන් ඔවුන් දිහා පුදුමයෙන් බලන් ඉන්න.මොකද ඔබ ජීවත් වෙලා ඉන්න කාලේදීම ඔබ හිතන්නෙවත් නැති දෙයක් සිද්ධ වෙනවා.ඔබට ඒ ගැන කිව්වත් ඔබ ඒක විශ්වාස කරන්නේ නැහැ.+   බලන්න! මම කල්දිවරුන්ව+ බලයට පත් කරනවා.ඔවුන් හරිම කුරිරු, ආවේගශීලී ජාතියක්. ඔවුන් පොළොවේ විශාල ප්‍රදේශ හරහා ගමන් කරලාඔවුන්ට අයිති නැති දේශ යටත් කරගන්නවා.+   ඔවුන් බියකරු පෙනුමක් තියෙන භයානක ජාතියක්. ඔවුන් බලය තමන්ගේ අතට අරගෙන* හිතුමනාපෙට නීති පනවනවා.+   ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ටත් වඩා වේගවත්.රාත්‍රියේ සැරිසරන වෘකයන්ටත් වඩා දරුණුයි.+ ඔවුන්ගේ යුධ අශ්වයෝ විදුලි වේගයෙන් ඉදිරියට යයි.උන් එන්නේ දුර ඈත ඉඳන්. උන් හරියට ගොදුර ඩැහැගන්න වේගයෙන් බැස එන රාජාලීන් වගේ.+   ඔවුන් එන්නේ හැම දෙයක්ම විනාශ කරන අරමුණින්.+ ඔවුන් ගමන් කරන්නේ හරියට නැඟෙනහිර දෙසින් හමන සුළිසුළඟක් වගේ.+වැලි එකතු කරගන්නවා වගේ ඔවුන් විශාල පිරිසක් වහල්කමට ගන්නවා. 10  ඔවුන් රජවරුන්ට සමච්චල් කරනවා.උසස් නිලධාරීන්ට හිනා වෙනවා.+ හැම බලකොටුවක් දිහාම බලලා හිනා වෙනවා.+ඒවා වටේට බැම්මක් හදලා ඒවා අල්ලගන්නවා. 11  ඊටපස්සේ ඔවුන් සුළිසුළඟක් වගේ ඉදිරියට ගිහින් දේශය හරහා ගමන් කරනවා.ඒත් ඔවුන්ව සලකන්නේ වරදකරුවන් විදිහටයි.+මොකද ඔවුන් කියන්නේ ඔවුන්ට බලය ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ දෙවියන්ගෙන් කියලා.”*+ 12  යෙහෝවා දෙවියනි,+ ඔබ හැමදාමත් ඉඳලා තියෙනවා. මගේ දෙවියනි, මගේ ශුද්ධ තැනැත්තාණෙනි, ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.*+ යෙහෝවා දෙවියනි, ඔබ ඔවුන්ව තෝරගත්තේ ඔබේ විනිශ්චය ඉටු කරන්නයි.මගේ පර්වතය,+ ඔබ ඔවුන්ව තෝරගත්තේ වරදකරුවන්ට දඬුවම් කරන්නයි.*+ 13  ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිව්වොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ.+දුෂ්ටකම් නොසලකාහරින්නත් ඔබට බැහැ. එහෙමනම් ද්‍රෝහිකම් කරන අයට විරුද්ධව ඔබ පියවර ගන්නේ නැත්තේ ඇයි?+දුෂ්ටයා තමන්ට වඩා යහපත් කෙනෙක්ව විනාශ කරද්දී ඔබ නිහඬව බලාගෙන ඉන්නේ ඇයි?+ 14  ඔබ මිනිස්සුන්ව මුහුදේ මත්ස්‍යයන්ගේ තත්වයට පත් කරන්නේ ඇයි?ඔවුන්ව පාලකයෙක් නැති මුහුදු ජීවීන් වගේ වෙන්න සලස්වන්නේ ඇයි? 15  සතුරා* බිළී කොකු දාලා ඒ හැමෝවම අල්ලගනියි. ඔහුගේ මාදැල දාලා ඔවුන්ව හසු කරගනියි.මාළු දැලෙන් ඔවුන්ව ඇදගනියි. ඔහු ලොකු සතුටකින් ඉන්නේ ඒ නිසයි.+ 16  ඔහු තමන්ගේ මාදැලට පුදපූජා ඔප්පු කරන්නේ ඒ නිසයි.තමන්ගේ මාළු දැලට පූජා* ඔප්පු කරන්නෙත් ඒ නිසයි.මොකද ඒවා නිසා ඔහුට ලැබෙන්නේ හොඳම,* ඉස්තරම්ම කෑම. 17  ඔහු දිගින් දිගටම ඔහුගේ මාදැල පුරවගනියිද? ඔහු සිත්පිත් නැතුව හැමදාමත් ජාතීන්ව නැති නාස්ති කරලා දායිද?+

පාදසටහන්

තේරුම, “ආදරෙන් වැලඳගන්නවා” වෙන්න පුළුවන්.
හෝ, “තමන්ටම කීර්ති නාමයක් හදාගෙන.”
හෝ සමහරවිට, “ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ දෙවියන්.”
හෝ සමහරවිට, “අපි කවදාවත් මිය යන්නේ නැහැ.”
හෝ, “අවවාද කරන්නයි.”
ඒ කියන්නේ කල්දිවරු.
හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”
මූ.අ., “තෙලින් පිරුණු.”