හිතෝපදේශ 13:1-25

  • උපදෙස් ලබාගන්න අය ප්‍රඥාවන්තයි (10)

  • බලාපොරොත්තු වුණ දේ ප්‍රමාද වෙද්දී හිත කලකිරෙනවා (12)

  • විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් සුවයක් ගෙන දෙයි (17)

  • ප්‍රඥාවන්තයන්ව ඇසුරු කරද්දී ප්‍රඥාවන්ත වෙනවා (20)

  • හික්මවීම, ආදරේ සංකේතයක් (24)

13  තාත්තාගේ හික්මවීම් පිළිගන්න පුතෙක් ප්‍රඥාවන්තයි.+ඒත් සමච්චල් කරන කෙනෙක් අවවාද* ප්‍රතික්ෂේප කරයි.+   මිනිසෙක් එයාගේ කටින් පිට කරන වචනවලින් හොඳ ප්‍රතිඵල අද්දකියි.+ඒත් ද්‍රෝහිකම් කරන අයගේ එකම ආශාව ප්‍රචණ්ඩ දේවල් කරන එකයි.   දිව පාලනය කරන කෙනා එයාගේ ජීවිතය ආරක්ෂා කරගනියි.+ඒත් තොරතෝංචියක් නැතුව කියවන කෙනාට අත් වෙන්නේ විනාශයයි.+   කම්මැළියාට දහසකුත් ආශාවන් තිබුණත් ඒ එකක්වත් ඉටු වෙන්නේ නැහැ.+ඒත් කඩිසර කෙනාගේ හැම ආශාවක්ම ඉටු වෙයි.+   ධර්මිෂ්ඨයා බොරුව පිළිකුල් කරයි.+ඒත් දුෂ්ටයා තමන් කරන දේවල් නිසා නින්දාවටත් ලැජ්ජාවටත් පත් වෙයි.   හරි දේ කරන නිසා නිර්දෝෂ කෙනා ආරක්ෂා වෙයි.+ඒත් දුෂ්ටකම් කරන නිසා පව්කාරයා විනාශ වෙයි.   කිසිම දෙයක් නැතත් තමන් පොහොසත් කියලා පෙන්වන අය ඉන්නවා.+ලොකු ධනයක් තිබුණත් තමන් දුප්පත් කියලා පෙන්වන අයත් ඉන්නවා.   ධනවතෙක්ට එයාගේ ජීවිතය ගලවගන්න එයාගේ වස්තුව දෙන්න වෙයි.+ඒත් දුප්පතාට කිසිම කෙනෙක් තර්ජනයක්වත් කරන්නේ* නැහැ.+   ධර්මිෂ්ඨයාගේ පහනේ එළිය දීප්තියෙන් බැබළෙයි.*+ඒත් දුෂ්ටයාගේ පහන නිවලා දායි.+ 10  අහංකාරකම නිසා රණ්ඩු දබර ඇති වෙයි.+ඒත් අනිත් අයගෙන් උපදෙස් ලබාගන්න අය ප්‍රඥාවන්තයි.+ 11  ක්ෂණිකව* උපයගන්න වස්තුව ටිකෙන් ටික අඩු වෙලා යයි.+ඒත් ටිකෙන් ටික* උපයගන්න වස්තුව තව තවත් වැඩි වෙයි. 12  බලාපොරොත්තු වුණ දේ ප්‍රමාද වෙද්දී හිත කලකිරෙනවා.+ඒත් ආසාවෙන් හිටපු දේ ඉටු වෙද්දී ඒක ජීවන වෘක්ෂයක්.+ 13  මඟ පෙන්වීම්* ප්‍රතික්ෂේප කරන කෙනාට දඬුවම් විඳින්න වෙනවා.+ඒත් ආඥාවට ගරු කරන කෙනාට ආශීර්වාද ලැබෙනවා.+ 14  ප්‍රඥාවන්තයා උගන්වන දේවල්* ජීවනයේ උල්පතක්.+ඒවා මරණයේ උගුල්වලින් කෙනෙක්ව ආරක්ෂා කරයි. 15  හොඳ වටහාගැනීමේ ශක්තියක් තියෙන කෙනා හිත් දිනාගනියි.ඒත් ද්‍රෝහිකම් කරන අයගේ හැසිරීමෙන් දුක් වේදනා ඇති වෙයි. 16  බුද්ධිමත් කෙනා දැනුම් තේරුම් ඇතුව වැඩ කරයි.+ඒත් අඥානයා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරයි.+ 17  දුෂ්ට පණිවිඩකරුවෙක් කරදරේ වැටෙයි.+ඒත් විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් සුවයක් ගෙන දෙයි.+ 18  හික්මවීම්වලට පිටු පාන කෙනාට හිමි වෙන්නේ දුප්පත්කමයි, අගෞරවයයි.ඒත් නිවැරදි කිරීමක්* පිළිගන්න කෙනාට හිමි වෙන්නේ ගෞරවයයි.+ 19  ආශාවක් ඉටු කරගත්තාම ඒකෙන් සතුටක් දැනෙනවා.+ඒත් නපුරෙන් ඉවත් වෙන්න අඥානයා කොහොමටවත් කැමති නැහැ.+ 20  ප්‍රඥාවන්ත අය එක්ක ඇසුරු කරන කෙනා ප්‍රඥාවන්ත වෙනවා.+ඒත් අඥානයන්ව ඇසුරු කරන කෙනා කරදරේ වැටෙනවා.+ 21  විපත්ති පව්කාරයන්ව පන්නගෙන එයි.+ඒත් ධර්මිෂ්ඨයන්ට ආශීර්වාද නොඅඩුව ලැබෙයි.+ 22  යහපත් කෙනා එයාගේ මුනුපුරන්ටත් උරුමයක් තියලා යයි.ඒත් පව්කාරයන්ගේ වස්තුව හිමි වෙන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+ 23  දුප්පත් කෙනෙක් මහන්සි වෙලා ගොවිතැන් කරද්දී හොඳ පලදාවක් ලැබෙයි.ඒත් අසාධාරණකම් නිසා ඒක* විනාශ වෙන්න පුළුවන්. 24  වේවැල පාවිච්චි කරන්නේ* නැති කෙනා එයාගේ දරුවාට වෛර කරයි.+ඒත් දරුවාට ආදරේ කෙනා ලැබෙන්න ඕනෙ හික්මවීම් නොවරදවාම* දෙයි.+ 25  ධර්මිෂ්ඨයා කාලා බීලා තෘප්තිමත් වෙනවා.+ඒත් දුෂ්ටයාට බඩගින්නේ ඉන්න වෙනවා.+

පාදසටහන්

හෝ, “නිවැරදි කිරීම්.”
මූ.අ., “සැරපරුෂ වචනයක්වත් කියන්නේ.”
මූ.අ., “ප්‍රීතිමත් වෙයි.”
හෝ, “වංචාවෙන්; වැඩකට නැති දේවල් කරලා.”
මූ.අ., “දෑතේ වීර්යයෙන්.”
හෝ, “දෙවියන්ගේ වචනය.”
හෝ, “නීතිය.”
හෝ, “අවවාද.”
හෝ, “ඒ කෙනා.”
හෝ, “දඬුවමක්; නිවැරදි කිරීමක් දෙන්නේ.”
හෝ සමහරවිට, “පරක්කු නොකර.”