හිතෝපදේශ 15:1-33

  • කාරුණික උත්තරයකින් කේන්තිය නිවෙයි (1)

  • යෙහෝවා හැම දෙයක්ම දකිනවා (3)

  • ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා දෙවියන්ට ප්‍රසන්නයි (8)

  • උපදෙස් ලබාගන්නේ නැතුව කරන සැලසුම් අසාර්ථක වෙයි (22)

  • උත්තරයක් දෙන්න කලින් හිතලා බලන්න (28)

15  කාරුණික* උත්තරයකින් කේන්තිය නිවිලා යයි.+ඒත් සැරපරුෂ* වචනයකින් කේන්තිය ඇවිස්සෙයි.+   ප්‍රඥාවන්තයා දැනුම පතුරුවන්නේ ප්‍රයෝජනවත් විදිහටයි.+ඒත් අඥානයන්ගේ කටින් පිට වෙන්නේ මෝඩ කතාමයි.   යෙහෝවා හැම දෙයක්ම දකිනවා.ඔහු හොඳ අය දිහාත් නරක අය දිහාත් බලාගෙන ඉන්නවා.+   සන්සුන් දිවක් ජීවන වෘක්ෂයක්.+ඒත් වැරදියට දිව හසුරුවන කෙනා හිත් බිඳලා දායි.   අඥානයා එයාගේ තාත්තාගේ හික්මවීම් සුළු කරයි.+ඒත් සිහිබුද්ධිය ඇති කෙනා තමන්ව නිවැරදි කරද්දී* ඒක පිළිගනියි.+   ධර්මිෂ්ඨයාගේ නිවසේ ඇති තරම් වස්තුව තියෙනවා.ඒත් දුෂ්ටයා නෙළන පලදාවෙන්* ඇති වෙන්නේ කරදර විතරයි.+   ප්‍රඥාවන්තයාගේ දිව දැනුම පතුරුවයි.+ඒත් අඥානයා එහෙම කරන්න කැමති නැහැ.+   දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවාට පිළිකුලක්.+ඒත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නයි.+   දුෂ්ටයන් කරන දේවල් යෙහෝවා හෙළා දකිනවා.+ඒත් හරි දේ කරන්න වෑයම් කරන කෙනාට ඔහු ආදරෙයි.+ 10  හරි මාර්ගය අත්හැරලා යන කෙනා හික්මවීම්වලට අකමැතියි.+අවවාද පිළිකුල් කරන කෙනා මිය යයි.+ 11  මිනී වළ සහ හැම දේම දිරාපත් වෙන තැන* යෙහෝවාගෙන් හැංගිලා නැහැ.+ එහෙනම්, මිනිස්සුන්ගේ හිත්වල තියෙන දේවල් ඔහුට දකින්න බැරිද?+ 12  සමච්චල් කරන කෙනා එයාව නිවැරදි කරන* කෙනාට ආදරේ කරන්නේ නැහැ.+ ප්‍රඥාවන්තයන්ගෙන් උපදෙස් ගන්නත් එයා කැමති නැහැ.+ 13  හිත සතුටින් තියෙද්දී ඒ සතුට මූණෙනුත් පේනවා.ඒත් හිතේ වේදනාව නිසා කෙනෙක් මනසින් කඩන් වැටෙනවා.+ 14  අවබෝධයෙන් වැඩ කරන කෙනා දැනුම හොයාගෙන යයි.+ඒත් අඥානයන්ගේ දිව ආස කරන්නේ මෝඩකමටයි.*+ 15  නිතරම සිත්තැවුලෙන් ඉන්න කෙනාට හැම දවසක්ම නරකයි.+ඒත් සතුටු සිතින් ඉන්න* කෙනාට හැම දවසක්ම උත්සව දවසක්.+ 16  ලොකු ධනයක් රැස් කරගෙන හිතේ බරෙන්* ඉන්නවාට වඩා+දේවල් ටිකක් තියාගෙන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එක හොඳයි.+ 17  හිතේ වෛරය තියාගෙන හරක් මස්* කනවාට වඩා+ආදරෙන් එළවළු ටිකක් කන එක හොඳයි.+ 18  ඉක්මනින් කේන්ති ගන්න කෙනා රණ්ඩු දබර ඇති කරයි.+ඒත් ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනා රණ්ඩුසරුවල් නතර කරයි.+ 19  කම්මැළියාගේ මාර්ගය කටු පඳුරුවලින් පිරිලා.+ඒත් ප්‍රතිපත්තිගරුක අයගේ මාර්ගය සමතලා මාවතක්.+ 20  ප්‍රඥාවන්ත පුතෙක් එයාගේ තාත්තාගේ හිත සතුටු කරයි.+ඒත් අඥාන කෙනා එයාගේ අම්මාව හෙළා දකියි.+ 21  සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනෙක්* එයාගේ මෝඩකම්වලින් සතුටක් ලබනවා.+ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනා දිගටම හරි මඟේ යනවා.+ 22  අනිත් අයගෙන් අදහස් අහන්නේ නැතුව වැඩ කරද්දී* සැලසුම් අසාර්ථක වෙනවා.ඒත් උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී සැලසුම් සාර්ථක වෙනවා.+ 23  නිවැරදි උත්තරයක් දුන්නාම* කෙනෙක් සතුටු වෙනවා.+හරිම වෙලාවේ කියන හොඳ වචනයක් කොච්චර වටිනවාද!+ 24  වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා ජීවනයට යන පාරේ ඉහළටම යනවා.+එයා මිනී වළට බැහැගෙන යන පාර මඟහරිනවා.+ 25  යෙහෝවා උඩඟු කෙනාගේ නිවස කඩලා දානවා.+ඒත් ඔහු වැන්දඹුවගේ ඉඩමේ මායිම ආරක්ෂා කරනවා.+ 26  දුෂ්ටයන්ගේ කූට උපායන් යෙහෝවාට පිළිකුලක්.+ඒත් කාරුණික වචන ඔහුට සතුටක්.+ 27  වංක විදිහට ලාභ උපයන කෙනා එයාගේ පවුලේ අයව කරදරේ දානවා.*+ඒත් අල්ලස පිළිකුල් කරන කෙනා එයාගේ ජීවිතය රැකගන්නවා.+ 28  ධර්මිෂ්ඨයා උත්තරයක් දෙන්න කලින් හොඳට හිතලා බලනවා.+ඒත් දුෂ්ටයා ගත් කටටම කියන්නේ නරක දේවල්. 29  යෙහෝවා දුෂ්ටයන්ගෙන් ඈත් වෙලා ඉන්නවා.ඒත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙනවා.+ 30  කෙනෙක් අපි දිහා සිනාමුසු මූණකින් බලද්දී* හිත සතුටින් පිරිලා යනවා.හොඳ ආරංචියක් ශරීරයට සුවයක් ගෙන දෙනවා.*+ 31  ජීවනය ගෙන දෙන අවවාදවලට සවන් දෙන කෙනාඉන්නේ ප්‍රඥාවන්තයන් අතරේ.+ 32  හික්මවීම ප්‍රතික්ෂේප කරන කෙනාට එයාගේ ජීවිතේ වටින්නේ නැහැ.+ඒත් අවවාද පිළිගන්න කෙනා අවබෝධය වැඩි කරගන්නවා.+ 33  යෙහෝවා ගැන තියෙන ගරුබිය කෙනෙක්ට ප්‍රඥාවන්තව හැසිරෙන්න උගන්වයි.+නිහතමානිකම ගෞරවයට මඟ පාදයි.+

පාදසටහන්

හෝ, “හිත රිද්දන.”
හෝ, “මෘදු.”
හෝ, “අවවාදයක් ලැබෙද්දී.”
හෝ, “දුෂ්ටයාගේ ආදායමෙන්.”
හෝ, “අබද්දොන්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “එයාට අවවාද දෙන.”
හෝ, “මෝඩකම පස්සේ යනවා.”
හෝ, “හිත හොඳ.”
හෝ, “නොසන්සුන් මනසකින්.”
හෝ, “තර කරපු හරකෙක්ගේ මස්.”
හෝ, “අඥාන කෙනෙක්.”
හෝ, “හිතේ තියෙන දේ හෙළි නොකරද්දී.”
මූ.අ., “තමන්ගේ කටින් පිට වෙන උත්තර නිසා.”
හෝ, “පවුලේ අයට නින්දාවක් ගේනවා.”
මූ.අ., “දීප්තිමත් ඇස් නිසා.”
මූ.අ., “ඇටකටු පුෂ්ටිමත් කරයි.”