හිතෝපදේශ 3:1-35
3 මගේ පුතේ, මං උගන්වන දේවල්* අමතක කරන්න එපා.මුළු හිතින්ම මගේ ආඥා පිළිපදින්න.
2 එතකොට ඔයාගේ ආයු කාලය වැඩි වෙයි.ඔයාගේ ජීවිතේට සමාදානයත් එකතු වෙයි.+
3 නොසැලෙන ආදරයත්* විශ්වාසවන්තකමත්* අත්හරින්න එපා.+
ඒවා ඔයාගේ ගෙල වටේ බැඳගන්න.හිත කියන පුවරුවේ ඒවා ලියාගන්න.+
4 එතකොට වටහාගැනීමේ හැකියාව දියුණු කරගෙනදෙවියන් සහ මිනිස්සු ඉස්සරහා හොඳ නමක් දිනාගන්න ඔයාට පුළුවන්.+
5 ඔයාගෙම නුවණ මත රඳා ඉන්න එපා.+මුළු හදවතින්ම යෙහෝවාව විශ්වාස කරන්න.+
6 ඔයා තියන හැම පියවරකදීම දෙවියන්ව සිහි කරන්න.+එතකොට ඔයා යන්න ඕනෙ හරි පාර ඔහු පෙන්වලා දෙයි.*+
7 ඔයා ප්‍රඥාවන්තයෙක් කියලා හිතන්න එපා.+
යෙහෝවාට ගරුබිය පෙන්වලා දුෂ්ටකම්වලින් ඈත් වෙන්න.
8 එතකොට ඔයාගේ ගතට* සුවයක් ලැබෙයි.ඇටකටුවලට අලුත් පණක් ලැබෙයි.
9 ඔයාගේ වටිනා දේවලිනුත්+ අස්වැන්නේ* මුල්ම පලදාවෙනුත්*+යෙහෝවාව ගෞරවයට පත් කරන්න.
10 එතකොට ඔයාගේ ගබඩා පිරිලා ඉතිරිලා යයි.+වයින් පුරවන භාජන* අලුත් වයින්වලින් ඉතිරිලා යයි.
11 මගේ පුතේ, යෙහෝවා දෙන හික්මවීම් ප්‍රතික්ෂේප කරන්න එපා.+ඔහු දෙන අවවාද හෙළා දකින්නත් එපා.+
12 මොකද තාත්තා කෙනෙක් එයාගේ ආදරණීය පුතාට අවවාද කරනවා වගේ+යෙහෝවාත් තමන් ආදරේ කරන අයට අවවාද කරනවා.+
13 ප්‍රඥාව හොයාගෙන+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න කෙනා සන්තෝෂවත්.
14 ප්‍රඥාව රිදීවලට වඩා වටිනවා.ඒකෙන් ලැබෙන ප්‍රයෝජන රන්වලටත් වඩා වැඩියි.+
15 ප්‍රඥාව කොරල්වලටත්* වඩා වටිනවා.ඔයා ආස කරන කිසිම දෙයක් ඒකට සම කරන්න බැහැ.
16 ඒකේ දකුණතේ දීර්ඝායුෂත්වමතේ වස්තුවත් ගෞරවයත් තියෙනවා.
17 ප්‍රඥාවේ මාර්ග ප්‍රසන්නයි.ඒකේ හැම පාරක්ම සාමයට මඟ පෙන්වයි.+
18 ප්‍රඥාව ජීවන වෘක්ෂයක්.ඒක අත් කරගෙන තදින් අල්ලගෙන ඉන්න අය සන්තෝෂවත්.+
19 යෙහෝවා ප්‍රඥාව යොදාගෙන පොළොවේ අත්තිවාරම් දැම්මා.+
හොඳ අවබෝධයකින් අහස ස්ථිරව පිහිටෙව්වා.+
20 ඔහු තමන්ගේ දැනුම යොදාගෙන මහා ජල කඳන් බෙදුවා.වලාකුළු පිරුණු අහසින් පිනි බිඳු වැටෙන්න සැලැස්සුවා.+
21 මගේ පුතේ, ඒ දේවල්* දිහාවටම හිත යොමු කරන්න.
ප්‍රඥාවත්* සිතීමේ හැකියාවත් රැකගන්න.
22 ඒවායින් ඔයාට ජීවනය ලැබෙයි.ඒවා ඔයාගේ ගෙල සරසන මාලයක් වගේ වෙයි.
23 එතකොට ඔයා යන මඟේ සුරක්ෂිතව යන්න ඔයාට පුළුවන්.ඔයා කවදාවත් පය පැටලිලා වැටෙන්නෙත් නැහැ.+
24 නින්දට යද්දී ඔයාට කිසි බයක් දැනෙන්නේ නැහැ.+ඔයාට සුව නින්දකුත් ලැබෙයි.+
25 හදිස්සියේම එන විපතකටවත්+දුෂ්ටයන් පිටට එන කුණාටුවටවත්+ ඔයා බය වෙන්නේ නැහැ.
26 යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න ඔයාට පුළුවන් වෙනවා.+ඔහු ඔයාගේ පාද කිසි උගුලකට අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+
27 උදව් ඕනෙ අයට උදව් නොකර ඉන්න එපා.+එයාලා වෙනුවෙන් යහපතක් කරන්න පුළුවන්කම තියෙද්දී+ ඒක කරන්න අදිමදි කරන්න එපා.
28 දෙන්න දෙයක් ඔයා ළඟ තියෙද්දීත්
“ගිහින් හෙට එන්න. මං හෙට ඔයාට මොනවා හරි දෙන්නම්”කියලා ඔයාගේ අසල්වැසියාට කියන්න එපා.
29 ඔයාගේ අසල්වැසියා ඔයාව විශ්වාස කරලා ඔයාත් එක්ක හොඳින් ඉද්දීඑයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න එපා.+
30 කෙනෙක් ඔයාට වරදක් කරලා නැත්නම්+නිකරුණේ එයාත් එක්ක රණ්ඩුවට පැටලෙන්න එපා.+
31 දාමරිකයන්ට ඊර්ෂ්‍යා කරන්න එපා.+එයාලා යන කිසිම පාරක යන්නත් එපා.
32 මොකද අනුන්ව රවට්ටන අය යෙහෝවාට පිළිකුලක්.+ඔහු කිට්ටු යාළුවෙක් වෙන්නේ අවංක අයටයි.+
33 යෙහෝවා දුෂ්ටයාගේ නිවස පිටට දඬුවම් ගේනවා.+ඒත් ධර්මිෂ්ඨයාගේ නිවහනට ඔහු ආශීර්වාද කරනවා.+
34 සමච්චල් කරන අයට ඔහු හිනා වෙනවා.+ඒත් නිහතමානී අයට ඔහු කරුණාව පෙන්වනවා.+
35 ප්‍රඥාවන්තයන්ට ගෞරවය හිමි වෙනවා.ඒත් මෝඩයන් උසස් කරලා සලකන්නේ අගෞරවයක් ගේන දේවල්මයි.+
පාදසටහන්
^ හෝ, “මගේ නීතිය.”
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “සත්‍යයත්.”
^ මූ.අ., “ඔයා යන පාර සමතලා කරයි.”
^ මූ.අ., “නාභියට.”
^ හෝ, “හොඳම කොටසෙනුත්.”
^ හෝ, “ආදායමේ.”
^ හෝ, “මිදි පාගන තැන්.”
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ පේන විදිහට මෙතන කතා කරන්නේ කලින් පදවල තියෙන දෙවියන්ගේ ගතිලක්ෂණ ගැනයි.
^ මූ.අ., “තැනට සුදුසු නුවණත්.”