හෙබ්‍රෙව්වරුන්ට 5:1-14

  • යේසුස් පොළොවේ හිටපු උත්තම පූජකයන්ට වඩා ශ්‍රේෂ්ඨයි (1-10)

    • මෙල්කිසදෙක් වගේ (6, 10)

    • වින්ද දුක් පීඩාවලින් කීකරුකම ඉගෙනගත්තා (8)

    • සදාකාල ගැලවීම ලැබෙන්නේ ඔහු මාර්ගයෙන් (9)

  • අවබෝධයෙන් වැඩ කරන්නේ නැති එක ගැන අනතුරු අඟවයි (11-14)

5  සෙනඟ අතරින් කෙනෙක්ව උත්තම පූජකයෙක් විදිහට පත් කරන්නේ මිනිස්සු වෙනුවෙන් දෙවියන්ට සේවය කරන්නයි.+ එයා තමයි තෑගි විදිහට සෙනඟ ගේන පූජා සහ පව් වෙනුවෙන් ගේන පූජා ඔප්පු කරන්නේ.+  එයාට තමන්ගෙම දුර්වලකම් ගැන අවබෝධයක් තියෙන නිසා නොදැනුවත්කමින් වැරදි කරන* අයට අනුකම්පාවෙන්* සලකන්න පුළුවන්.  සෙනඟ වෙනුවෙන් පූජා ඔප්පු කරන විදිහටම එයා තමන්ගේ වැරදි වෙනුවෙනුත් පූජා ඔප්පු කරන්න ඕනේ. මොකද එයාටත් දුර්වලකම් තියෙනවා.+  ගෞරවයක් ලැබෙන ඒ පැවරුමට තමන්වම පත් කරගන්න කෙනෙක්ට බැහැ. එයාට ඒක ලැබෙන්නේ දෙවියන් එයාව පත් කළොත් විතරයි. හරියට ආරොන්ව පත් කළා වගේ.+  ක්‍රිස්තුස්ගේ පත්වීමත් ඒ වගෙයි. උත්තම පූජකයා විදිහට ඔහු තමාවම පත් කරගත්තේ නැහැ.+ ඔහු තමාව ගෞරවයට පත් කරගත්තෙත් නැහැ. ඒ වෙනුවට “ඔබ මගේ පුතා. අද ඉඳන් ඔබේ තාත්තා මමයි”+ කියලා කියපු තැනැත්තා තමයි ඔහුව ගෞරවයට පත් කළේ.  ශුද්ධ ලියවිල්ලේ තවත් පදයක ඔහු මෙහෙම කියලා තියෙනවා. “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා. ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා.”+  ක්‍රිස්තුස් පොළොවේ ජීවත් වුණ කාලේදී කෑගහලා අඬඅඬ, කඳුළු සලමින් තමාව මරණයෙන් ගලවගන්න පුළුවන් තැනැත්තාණන්ට කන්නලව් කළා.+ ඔහුට ඉල්ලීම් ඉදිරිපත් කළා. යේසුස්ගේ හිතේ දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ නිසා ඔහුගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දුන්නා.  ඔහු ඒ තැනැත්තාණන්ගේ පුතෙක් වුණත් ඔහු වින්ද දුක් පීඩාවලින් කීකරුකම කියන්නේ මොකක්ද කියලා ඔහු ඉගෙනගත්තා.+  ඒ පැත්තෙන් ඔහු සම්පූර්ණ කෙනෙක් වුණාට පස්සේ*+ ඔහුට කීකරු වෙන හැමෝටම ඔහු මාර්ගයෙන් සදාකාල ගැලවීම ලබාගන්න පුළුවන් වුණා.+ 10  මොකද දෙවියන් ඔහුව මෙල්කිසදෙක්ට සමාන උත්තම පූජකයෙක් විදිහට පත් කළා.+ 11  ඔහු ගැන කියන්න අපිට ගොඩක් දේවල් තිබුණත් ඒ දේවල් පැහැදිලි කරලා දෙන එක ලේසි නැහැ. මොකද කියන දේවල් තේරුම්ගන්න ඔයාලා කිසිම උත්සාහයක් ගන්නේ නැහැ.* 12  හරි නම් මේ වෙද්දී ඔයාලා ගුරුවරුන් වෙලා ඉන්න ඕනේ. ඒත් දෙවියන්ගේ වචනයෙන් ඔයාලා මුලින්ම ඉගෙනගත්ත දේවල්+ දැන් ඔයාලට ආයෙත් උගන්නන්න වෙලා තියෙනවා. ඔයාලා ඝන ආහාර කනවා වෙනුවට ආයෙත් කිරි බොන තත්වයට පත් වෙලා. 13  කිරි විතරක් දිගටම බොන්නේ ළදරුවෝ. ඒ නිසා ඒ වගේ අයට බැහැ හරි දේ ගැන අපිට කියලා දෙන දෙවියන්ගේ වචනය* තේරුම්ගන්න.+ 14  ඝන ආහාර තියෙන්නේ අවබෝධයෙන් වැඩ කරන අයට. එයාලා හිතලා බලලා වැඩ කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන්* හරි දේ සහ වැරදි දේ අතර වෙනස හොඳින් හඳුනගන්න.

පාදසටහන්

හෝ, “නොමඟ ගිය.”
හෝ, “ආදරෙන්.”
හෝ, “හැම අතින්ම සුදුසුකම් ලබාගත්තාට පස්සේ.”
හෝ, “මොකද ඔයාලා ඇහුම්කන් දෙන්න කම්මැළියි.”
මූ.අ., “ධර්මිෂ්ඨ වචනය.”
හෝ, “එයාලා පුහුණු වෙලා තියෙනවා.”