හෙබ්‍රෙව්වරුන්ට 6:1-20

  • අවබෝධයෙන් වැඩ කරන්න උනන්දු කරයි (1-3)

  • සත්‍ය ඉගැන්වීම් අතහරින අය පුතාව ආයෙත් වධකණුවේ ඇණ ගහයි (4-8)

  • ඔයාලාගේ බලාපොරොත්තුව ස්ථිර කරගන්න (9-12)

  • දෙවියන්ගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා (13-20)

    • දෙවියන්ගේ පොරොන්දුව සහ දිවුරුම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ (17, 18)

6  ක්‍රිස්තුස් ගැන ඉගෙනගත්ත මූලික ඉගැන්වීම් අපි දැන් පහු කරලා ගිහින්+ තියෙන නිසා අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න ලොකු උත්සාහයක් දරමු.+ ආයෙත් අත්තිවාරමක් දාන්න අපිට ඕනෙ නැහැ. උදාහරණෙකට කිසි තේරුමක් නැති වැඩ ගැන පසුතැවිලි වෙන්න ඕනෙ කියලවත් දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනෙ කියලවත් ආයේ උගන්නන්න අවශ්‍ය නැහැ.  විවිධ බව්තීස්මයන්, අත් තියන එක,+ මැරුණ අයගේ නැවත නැඟිටීම+ සහ සදාකාල විනිශ්චය වගේ ඉගැන්වීම් ගැන ආයේ උගන්නන්න අවශ්‍ය නැහැ.  දෙවියන්ගේ උදව්වෙන් අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න අපිට පුළුවන්.  සමහරුන්ට දෙවියන් දෙන ආලෝකය ලැබිලා තිබුණත්+ එයාලා ස්වර්ගයෙන් නොමිලේ ලැබෙන තෑග්ගේ රස බලලා තිබුණත් එයාලට දෙවියන්ගේ බලය ලැබිලා තිබුණත් එයාලා සත්‍ය ඉගැන්වීම් අතහැරලා දාලා.  එයාලට දෙවියන්ගේ අනර්ඝ වචන ලැබිලා තිබුණත් එයාලා ඉස්සරහට එන්න තියෙන අලුත් ලෝකේ* ආශීර්වාද* අද්දැකලා තිබුණත්  එයාලා සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරලා.+ ඒ වගේ අයට පසුතැවිලි වෙන්න උදව් කරන්න කොහොමටවත් බැහැ. මොකද එයාලා දෙවියන්ගේ පුතාව ආයෙත් වධකණුවේ ඇණ ගහලා ඔහුව හැමෝම ඉස්සරහා ලැජ්ජාවට පත් කරනවා.+  නිතර ඇද හැලෙන වැස්ස ගැන හිතන්න. ඒක දෙවියන්ගෙන් පොළොවට ලැබෙන ආශීර්වාදයක්. පොළොව ඒ වතුර උරාගෙන වගා කරන අයට හොඳ පලදාවක් ලබා දෙනවා.  ඒත් පොළොවෙන් කටු ගස් සහ වල් පැළෑටි හටගන්නවා නම් ඒකෙන් කිසිම වැඩක් නැහැ. ළඟදීම ඒකට ශාප කරයි. අන්තිමේදී පුච්චලා දායි.  ආදරණීය සහෝදරයෙනි, අපි ඒ දේවල් ගැන කිව්වත් ඔයාලා ඊට වඩා හොඳ තත්වෙක ඉන්නවා කියලත් ඔයාලාගේ ගැලවීමට මඟ පාදන දේවල් ඔයාලා කරනවා කියලත් අපිට විශ්වාසයි. 10  ඔයාලා කරපු සේවයවත් දෙවියන්ගේ නමට ඔයාලා පෙන්නපු ආදරේවත් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+ එහෙම කරන්න ඔහු අධර්මිෂ්ඨ කෙනෙක් නෙමෙයි. ඔයාලා ශුද්ධ අය වෙනුවෙන් සේවය කළෙත් දිගටම එයාලා වෙනුවෙන් සේවය කරන්නෙත් දෙවියන්ගේ නමට තියෙන ආදරේ නිසයි. 11  ඒත් අපි කැමතියි මුල ඉඳන් ඔයාලට තිබුණ උද්‍යෝගය ඔයාලා දිගටම තියාගන්නවා දකින්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි අන්තිමේ වෙන කල්ම+ ඔයාලා බලාපොරොත්තු වෙන දේ ඉටු වෙයි කියලා ස්ථිර විශ්වාසයකින් ඉන්න.+ 12  අපි කැමති නැහැ ඔයාලා කම්මැළි වෙනවාට.+ ඒ වෙනුවට විශ්වාසයෙන් සහ ඉවසීමෙන් වැඩ කරලා පොරොන්දු උරුම කරගත්ත අයව ආදර්ශයට ගන්න. 13  දෙවියන් ආබ්‍රහම්ට පොරොන්දුව දුන්නේ තමා ගැනම දිවුරලා.+ මොකද දිවුරන්න තමන්ට වඩා උතුම් කෙනෙක් තවත් නැහැ. 14  ඔහු මෙහෙම කිව්වා. “මම ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. මම ඔයාගෙන් පැවතෙන අයව ගොඩක් වැඩි කරනවා.”+ 15  ආබ්‍රහම් ඉවසීමෙන් බලාගෙන හිටියාට පස්සේ එයාට ඒ පොරොන්දුව ලැබුණා. 16  සාමාන්‍යයෙන් මිනිස්සු පොරොන්දු දෙන්නේ එයාලට වඩා උසස් කෙනෙක් ගැන දිවුරලා. එහෙම කරන එකෙන් ආරවුල් ඇති වෙන එක වළක්වගන්න පුළුවන්. මොකද එයා කියන දේ ඇත්තක් කියන්න ඒක සහතිකයක්.+ 17  දෙවියන් කළෙත් ඒ වගේම දෙයක්. දීපු පොරොන්දුව ඔහු දිවුරුමක් මාර්ගයෙන් පොරොන්දුවට උරුමකම් කියන අයට+ සහතික කළා. ඔහු එහෙම කළේ තමන් කරන්න අදහස් කරලා තියෙන දේ කොහොමටවත් වෙනස් වෙන්නේ නැහැ කියලා එයාලට පැහැදිලිව පෙන්නන්න ඔහු තීරණය කරපු නිසයි. 18  දෙවියන්ට කවදාවත් බොරු කියන්න බැරි නිසා+ ඔහු කරපු ඒ දේවල් දෙක* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ආරක්ෂාව ලබාගන්න දෙවියන් ළඟට දුවලා ගිය අපිට, අපි ඉස්සරහා තියෙන බලාපොරොත්තුව තදින් අල්ලගන්න ඒ දේවල් ලොකු දිරිගැන්වීමක් වෙනවා. 19  අපිට තියෙන ඒ බලාපොරොත්තුව+ අපේ ජීවිතේට නැංගුරමක් වගේ. ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. ඒක සැක කරන්න කිසිම හේතුවක් නැහැ. තිරය පහු කරගෙන යන්න+ ඒ බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. 20  අපිට කලින් අපි වෙනුවෙන් යේසුස් ඒ තිරය පහු කරගෙන ඇතුල් වෙලයි තියෙන්නේ.+ ඔහු මෙල්කිසදෙක්ට සමාන උත්තම පූජකයෙක් වුණා. ඔහු සදහටම ඒ සේවය කරනවා.+

පාදසටහන්

මූ.අ., “සමාජයේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “බලවත් දේවල්.”
ඒ කියන්නේ දෙවියන් දුන්න පොරොන්දුව සහ දිවුරුම.