පළවෙනි කොරින්ති 9:1-27

  • නියෝජිතයෙක් විදිහට පාවුල්ගේ ආදර්ශය (1-27)

    • “ගවයෙක්ගේ කට බඳින්න එපා” (9)

    • ‘ශුභාරංචිය දේශනා කරන්නේ නැත්නම් මට වෙන්නේ කොච්චර නරකක්ද!’ (16)

    • හැම පසුබිමකම ඉන්න අයව දිනාගන්න පුළුවන් හැම දේම කළා (19-23)

    • ජීවනයට යන ධාවන තරඟයේදී තමන්ව පාලනය කරගන්න (24-27)

9  මං කැමති දේ කරන්න මට නිදහස නැද්ද? මං නියෝජිතයෙක් නෙමෙයිද? අපේ ස්වාමීන් වන යේසුස්ව මං දැක්කේ නැද්ද?+ මං ස්වාමීන් වෙනුවෙන් කරපු සේවයට සාක්ෂි ඔයාලා නෙමෙයිද?  අනිත් අය මාව නියෝජිතයෙක් විදිහට සැලකුවේ නැතත් ඔයාලා අනිවාර්යයෙන්ම මාව නියෝජිතයෙක් විදිහට සලකනවා. මං ස්වාමීන්ගේ නියෝජිතයෙක් කියන දේ සහතික කරන මුද්‍රාව තමයි ඔයාලා.  මගේ වැරදි හොයන අයට මට කියන්න තියෙන්නේ මේකයි.  අනිත් අය අපිට දෙන දේවල් කන්න බොන්න අපිට අයිතියක් නැද්ද?  සහෝදරියක්* එක්ක විවාහ වෙලා එයාවත් අපේ ගමන්වලට හවුල් කරගන්න අපිට අයිතියක් නැද්ද?+ අනිත් නියෝජිතයනුයි, ස්වාමීන්ගේ සහෝදරයනුයි,+ සීෆසුයි*+ කරනවා වගේ අපිටත් කරන්න බැරිද?  ජීවත් වෙන්න මමයි, බානබසුයි+ විතරද රස්සාවල් කරන්න ඕනේ?  තමන්ගෙම වියදමින් සේවය කරන හේවායෙක් ඉන්නවාද? මිදිවත්තක් වවලා ඒකේ පලදාව කන්නේ නැති කෙනෙක් ඉන්නවාද?+ සත්ව රැළෙන් ගන්න කිරිවලින් ටිකක් බොන්නේ නැති එඬේරෙක් ඉන්නවාද?  මං මේ කියන්නේ මිනිස්සුන්ගේ අදහස් නෙමෙයි. නීතියෙත් මේ දේවල් ගැන කතා කරලා තියෙනවා.  මෝසෙස්ගේ නීතියේ තියෙනවා “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා”+ කියලා. දෙවියන් සැලකිලිමත් වෙන්නේ ගවයන් ගැන විතරද? 10  නැත්නම් දෙවියන් එහෙම දෙයක් කිව්වේ අපි ගැනත් හිතලද? ඇත්තටම ඒක ලියලා තියෙන්නේ අපේ ප්‍රයෝජනයට. සීසාන කෙනායි, ධාන්‍ය වෙන් කරන කෙනායි අස්වැන්නෙන් කොටසක් බලාපොරොත්තු වෙන එක වැරදිද? 11  දෙවියන්ගේ බලයෙන් ලැබුණ දේවල් අපි ඔයාලත් එක්ක බෙදාගත්තා නම් අපිට අවශ්‍ය සමහර දේවල් ඔයාලාගෙන් ලබාගන්න එක වැරදිද?+ 12  ඔයාලාගෙන් උදව් ලබාගන්න අනිත් අයට අයිතියක් තියෙනවා නම් ඊට වඩා වැඩි අයිතියක් අපිට නැද්ද? අපිට ඒ අයිතිය තිබුණාට අපි ඔයාලාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ.+ ඒ වෙනුවට අපි හැම අමාරු දෙයක්ම දරාගන්නවා. අපි එහෙම කරන්නේ කිසිම කෙනෙක්ට බාධාවක් නැතුව ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය පිළිගන්න පුළුවන් වෙන්නයි.+ 13  සෙනඟ දේවමාලිගාවට අරන් එන දේවල්වලින් දේවමාලිගාවේ සේවය කරන පුරුෂයන් කනවා කියලා ඔයාලා දන්නවා නේද? ඔප්පු කරන පූජාවෙන් කොටසක් පූජාසනය ළඟ සේවය කරන අයට හම්බ වෙනවා කියලා ඔයාලා දන්නවා නේද?+ 14  ශුභාරංචිය ගැන දේශනා කරන අය ජීවත් වෙන්න ඕනෙ ඒ සේවය කරද්දී ලැබෙන දේවල්වලින් කියලා ස්වාමීන් කිව්වා.+ 15  ඒත් මං ඒ කිසිම දේකින් කවදාවත් ප්‍රයෝජන අරන් නැහැ.+ මං මේ දේවල් ලියන්නේ දැන් මට ඔයාලාගෙන් මොනවා හරි දෙයක් ඕනෙ නිසා නෙමෙයි. ඔයාලාගෙන් උදව් ගන්නවාට වඩා මට මැරෙන එක හොඳයි. මට ආඩම්බරයෙන් කතා කරන්න තියෙන හේතුව මගෙන් අයින් කරන්න මං කාටවත් ඉඩ දෙන්නේ නැහැ.+ 16  මම ශුභාරංචිය දේශනා කරනවා නම් ආඩම්බර වෙන්න ඒක මට හේතුවක් නෙමෙයි. මොකද ඒක කරන්න මම බැඳිලා ඉන්නවා. ඇත්තටම මම ශුභාරංචිය දේශනා කරන්නේ නැත්නම් ඒකෙන් මට වෙන්නේ කොච්චර නරකක්ද!+ 17  මං මුළු හදවතින්ම ඒක කළොත් මට තෑග්ගක් ලැබෙයි. මං ඒක කරන්නේ කරන්නන් වාලේ වුණත් මං ඒක කරන්න ඕනේ. මොකද ඒ වැඩේ කරන්න මාව පත් කරලයි තියෙන්නේ.+ 18  එහෙමනම් මට ලැබෙන තෑග්ග මොකක්ද? ඒ තමයි කිසි අය කිරීමක් කරන්නේ නැතුව, කැමැත්තෙන්ම ශුභාරංචිය දේශනා කරන්න ලැබෙන එක. ඒකෙන් මට පුළුවන් වෙනවා ශුභාරංචිය ප්‍රකාශ කරන කෙනෙක් විදිහට මට තියෙන අයිතිය වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැතුව ඉන්න. 19  මම නිදහස් කෙනෙක් වුණත් හැම මනුස්සයෙක්ම වෙනුවෙන් මං දාසයෙක් වෙනවා. එහෙම කරන්නේ පුළුවන් තරම් දෙනෙක්ව දිනාගන්නයි. 20  මං යුදෙව්වන් එක්ක ඉද්දී එයාලව දිනාගන්න යුදෙව්වෙක් වගේ වැඩ කළා.+ නීතියට යටත් වෙලා හිටපු අය එක්ක ඉද්දී නීතියට යටත් කෙනෙක් වගේ මමත් වැඩ කළා. මම නීතියට යටත් වෙලා හිටියේ නැති වුණත් එයාලව දිනාගන්නයි එහෙම කළේ.+ 21  නීතිය පිළිපදින්නේ නැති අය එක්ක ඉද්දී මාත් නීතිය පිළිපදින්නේ නැති කෙනෙක් වගේ වැඩ කළා. ඇත්තටම මම දෙවියන්ගේ නීතියයි, ක්‍රිස්තුස්ගේ නීතියයි පිළිපදිනවා.+ ඒත් නීතිය පිළිපදින්නේ නැති කෙනෙක් වගේ මම වැඩ කළේ නීතිය පිළිපදින්නේ නැති අයව දිනාගන්නයි. 22  දුර්වල අය එක්ක ඉද්දී ඒ අයව දිනාගන්න මම දුර්වල කෙනෙක් වගේ වැඩ කළා.+ හැම පසුබිමකම ඉන්න අයට උදව් කරන්න මට පුළුවන් හැම දේම මං කළා. එහෙම කළේ එයාලාගෙන් සමහරදෙනෙක්ව හරි ගලවගන්නයි. 23  ශුභාරංචිය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම මං කරනවා. මට ඕනෙ අනිත් අය එක්ක ඒ පණිවිඩය බෙදාගන්න.+ 24  ඔයාලා දන්නවා ධාවන තරඟයකට සහභාගි වෙන හැමෝම දිව්වත් තෑග්ග හම්බ වෙන්නේ එක් කෙනෙක්ට කියලා. ඉතින් තෑග්ග දිනාගන්න පුළුවන් විදිහට දුවන්න.+ 25  තරඟයකට සහභාගි වෙන ඕනෙම කෙනෙක් හැම පැත්තකින්ම තමන්ව පාලනය කරගන්නවා. එයාලා එහෙම කරන්නේ පර වෙලා යන ඔටුන්නක් දිනාගන්න.+ ඒත් අපි එහෙම කරන්නේ කවදාවත් පර වෙන්නේ නැති ඔටුන්නක් දිනාගන්න.+ 26  මම කිසිම අරමුණක් නැතුව දුවන්නේ නැහැ.+ මං පහර දෙන්නේ හුළඟට නෙමෙයි ඉලක්කයකට. 27  මං මගේ ශරීරයට පහර දීලා+ ඒක යටත් කරගන්නවා. හරියට දාසයෙක්ව යටත් කරගන්නවා වගේ. එහෙම කළේ නැත්නම් මං අනිත් අයට දේශනා කළත් දෙවියන් මාව පිළිගන්න එකක් නැහැ.

පාදසටහන්

හෝ, “ස්වාමීන් ගැන විශ්වාසයක් තියෙන කාන්තාවක්.”
පේතෘස් කියලත් හඳුන්වනවා.