පළවෙනි තිමෝති 4:1-16

  • භූතයන්ගේ ඉගැන්වීම් ගැන අනතුරු අඟවයි (1-5)

  • ක්‍රිස්තුස් වෙනුවෙන් හොඳ දේවසේවකයෙක් වෙන විදිහ (6-10)

    • ශරීර ශක්තිය වැඩි කරන පුහුණුවීම් සහ දෙවියන් ගැන භක්තියක් ඇති කරගන්න එක (8)

  • ඔයා උගන්වන දේ ගැන හොඳ අවධානයකින් ඉන්න (11-16)

4  ඉස්සරහට* සමහරු අපි විශ්වාස කරන ඉගැන්වීම් අත්හැරලා යනවා කියලා දෙවියන්ගේ බලයෙන් පැහැදිලිව හෙළි කරලා තියෙනවා. එහෙම වෙන්නේ දෙවියන්ගෙන්* ලැබුණා කියලා කියන නොමඟ යවන පණිවිඩවලට+ සහ භූතයන්ගේ ඉගැන්වීම්වලට එයාලා අවධානය දෙන නිසයි.  එයාලා නොමඟ යන්නේ කුහක මිනිස්සු පතුරුවන බොරු නිසයි.+ ඒ කුහක මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය හරියට රත් වුණ යකඩයකින් හංවඩු ගහපු හමක් වගේ. ඒකට කිසිම දෙයක් හැඟෙන්නේ දැනෙන්නේ නැහැ.  එයාලා විවාහ වෙන එක තහනම් කරනවා.+ ඒ වගේම එයාලා සමහර කෑම කන්න එපා කියලත් කියනවා.+ දෙවියන් ඒවා නිර්මාණය කළේ සත්‍ය ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් තියෙන, විශ්වාසයක් තියෙන අයට+ ස්තුති යාච්ඤාවක් කරලා කෑමට ගන්නයි.+  මොකද දෙවියන් නිර්මාණය කරපු හැම දේම යහපත්.+ ස්තුති යාච්ඤාවක් කළාට පස්සේ ඒ දේවල් කෑමට ගන්න එකේ වරදක් නැති නිසා ඒවා ප්‍රතික්ෂේප කරන එක සුදුසු නැහැ.+  මොකද ඒවා පවිත්‍රයි කියලා දෙවියන් කියලා තියෙනවා. ඒ වගේම ඒවා කෑමට ගන්න කලින් ඒවා වෙනුවෙන් යාච්ඤාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒවා පවිත්‍රයි.  මං දීපු මඟ පෙන්වීම් ගැන සහෝදරයන්ට කියන්න. එහෙම කරද්දී ඔයාට පුළුවන් වෙයි ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් හොඳ දේවසේවකයෙක් වෙන්න. ඒ වගේම විශ්වාසයක් ඇති කරන පණිවිඩයෙනුයි, ඔයා හිතට ගත්ත යහපත් ඉගැන්වීම්වලිනුයි හොඳින් පෝෂණය වුණ කෙනෙක් වෙන්නත් ඔයාට පුළුවන් වෙයි.+  සමහර මහලු ස්ත්‍රීන් දෙවියන්ට අගෞරවයක් ගේන බොරු කතා පතුරුවනවා. ඒ වගේ බොරු කතා ප්‍රතික්ෂේප කරන්න.+ ඒ වෙනුවට දෙවියන් ගැන ලොකු භක්තියක් ඇති කරගන්න අරමුණින් ඔයාවම පුහුණු කරගන්න.  කෙනෙක් ශරීර ශක්තිය වැඩි කරගන්න අරමුණින් පුහුණුවීම්වල යෙදෙද්දී* ඒකෙන් එයාට යම් ප්‍රයෝජනයක් තියෙනවා. ඒත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ටිකයි. හැබැයි කෙනෙක් දෙවියන් ගැන භක්තියක් ඇති කරගන්න වෑයම් කරද්දී ඒකෙන් එයාට හැම පැත්තකින්ම ප්‍රයෝජන ලැබෙනවා. මොකද දැන් ගත කරන ජීවිතේදීත් අනාගතේදී ලැබෙන්න යන ජීවිතේදීත් හුඟක් ආශීර්වාද ලබාගන්න ඒක උදව් වෙනවා.+  ඒ දේ විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්න ඕනෙ දෙයක්. 10  අපි මේ තරම් මහන්සි වෙන්නේ, වීර්යය කරන්නේ ඒ ආශීර්වාද ලබාගන්නයි.+ මොකද අපි බලාපොරොත්තු තියලා තියෙන්නේ ජීවමාන දෙවි කෙනෙක් මතයි. හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට,+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට ගැලවීම ලබා දෙන්නේ ඔහුයි.+ 11  ඒ නිසා මේ ආඥා, මඟ පෙන්වීම් දිගටම එයාලට ලබා දෙන්න. 12  ඔයා තරුණයෙක් වෙන නිසාම ඔයාව සුළු කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඔයා කතා කරන විදිහෙන්, හැසිරෙන විදිහෙන්, ආදරේ, විශ්වාසය, නිර්මලකම* පෙන්නන විදිහෙන් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වෙන්න. 13  මං එන කල් ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවන එක,+ උපදෙස් මඟ පෙන්වීම්* ලබා දෙන එක සහ උගන්වන එක හොඳින් කරන්න දිගටම මහන්සි වෙන්න. 14  වැඩිමහල් මණ්ඩලය ඔයා පිට අත් තියලා ඔයාට දුන්න දීමනාව සුළුවට ගන්න එපා. ඔයා ගැන කියලා තිබුණ අනාවැකියක් මාර්ගයෙන් තමයි ඔයාට ඒ දීමනාව ලැබුණේ.+ 15  ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඔයාගේ මුළු ශක්තියම වැය කරලා ඒ දේවල් කරන්න. එතකොට ඔයා දියුණු වෙන විදිහ හැමෝටම දකින්න පුළුවන් වෙයි. 16  නිතරම ඔයා ගැනත් ඔයා උගන්වන දේ ගැනත් හොඳ අවධානයකින් ඉන්න.+ අත්හරින්නේ නැතුව දිගටම ඒ දේවල් කරන්න. මොකද එහෙම කළොත් ඔයාටත් ඔයාට ඇහුම්කන් දෙන අයටත් ගැලවීම ලැබෙයි.+

පාදසටහන්

මූ.අ., “ඉස්සරහට එන කාලවලදී.”
ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “ව්‍යායාම් කරද්දී.”
හෝ, “පවිත්‍රකම.”
හෝ, “දිරිගැන්වීම්.”