පළවෙනි තෙසලෝනික 2:1-20

  • තෙසලෝනියේ පාවුල් කරපු සේවය (1-12)

  • තෙසලෝනිකවරුන් දෙවියන්ගේ පණිවිඩය පිළිගත්තා (13-16)

  • තෙසලෝනිකවරුන්ව දැකගන්න පාවුල්ට තිබුණ වුවමනාව (17-20)

2  සහෝදරයෙනි, අපි ඔයාලව හම්බ වෙන්න ඇවිත් ඔයාලා එක්ක ගත කරපු කාලය අපතේ ගියේ නැහැ. ඒකට ඔයාලත් එකඟ වෙයි කියලා මට විශ්වාසයි.+  මොකද ඔයාලා දන්නවා ඔයාලා ළඟට එන්න කලින් ෆිලිප්පියේදී අපිට ගොඩක් පීඩාවලට, නින්දා අපහාසවලට මුහුණ දෙන්න වුණා කියලා.+ ඒත් දෙවියන්ගේ උදව්වෙන් හිතට ධෛර්යය අරගෙන දරුණු විරුද්ධවාදිකම් මැද්දේ* අපි ඔයාලටත් ශුභාරංචිය ගැන කිව්වා.+  අපි ඔයාලට දෙන උපදෙස්, මඟ පෙන්වීම් පදනම් වෙලා තියෙන්නේ බොරු දේවල් මත නෙමෙයි. අපි ඒ දේවල් කියන්නේ නරක චේතනාවක් හිතේ තියාගෙනවත් ඔයාලව රවට්ටන්න හිතාගෙනවත් නෙමෙයි.  ඒ වෙනුවට ශුභාරංචිය දේශනා කරන වගකීම දෙවියන් විශ්වාසයෙන් අපිට භාර දුන්න නිසයි අපි එහෙම කළේ. අපි ඔයාලට ඒ දේවල් ගැන කතා කරන්නේ මිනිස්සුන්ව සතුටු කරන්න නෙමෙයි අපේ හිත් සෝදිසි කරලා බලන දෙවියන්ව+ සතුටු කරන්නයි.  ඔයාලත් දන්නවා අපි කවදාවත් චාටු කතා කියලා ඔයාලාගේ හිත දිනාගන්න හැදුවේ නැහැ කියලා. ඒ වගේම අපිට වාසි ප්‍රයෝජන ගන්න හිතාගෙන අපි ඔයාලට බොරු මවාපෑමක් කළෙත් නැහැ.+ ඒ ගැන දෙවියන්ම සාක්ෂි දෙයි.  අපි ඔයාලාගෙන්වත් වෙන කාගෙන්වත් ගෞරවය ලබාගන්න හිතාගෙන වැඩ කළේ නැහැ. ඕනෙ නම් අපිට අයිතියක් තිබ්බා ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්* විදිහට ඔයාලාගෙන් සල්ලි, උදව් අරන් ඔයාලට බරක් වෙන්න.+  ඒත් අපි එහෙම කළේ නැහැ. හරියට කිරි දෙන අම්මා කෙනෙක් එයාගෙම දරුවන්ව ආදරෙන් රැකබලා ගන්නවා වගේ අපි ඔයාලව ලොකු සෙනෙහසකින් රැකබලා ගත්තා.  ඔයාලා ගැන අපේ හිතේ තියෙන ආදරේ,+ සෙනෙහස නිසා ඔයාලට ශුභාරංචිය කියන්න විතරක් නෙමෙයි අපේ ජීවිත වුණත් ඔයාලා වෙනුවෙන් දෙන්න අපි ලෑස්ති වෙලා හිටියා.*+  සහෝදරයෙනි, අපි කොයි තරම් මහන්සි වෙලා වැඩ කළාද කියලා ඔයාලට හොඳටම මතක ඇති. අපි ඔයාලා අතරේ ශුභාරංචිය දේශනා කරද්දී අපි ඔයාලට බරක් වුණේ නැහැ.+ රෑ දවල් බලන්නේ නැතුව වැඩ කරලා අපේ වියදමට ඕනෙ කරන සල්ලි අපිම හොයාගත්තා. 10  සහෝදරයෙනි, අපි ඔයාලා එක්ක ඉද්දී මොන තරම් විශ්වාසවන්තව, ධර්මිෂ්ඨව සහ නිර්දෝෂව වැඩ කළාද කියලා ඔයාලා දන්නවා. දෙවියනුත් ඒ ගැන දන්නවා. 11  තාත්තා කෙනෙක් වගේ+ අපිත් ඔයාලට උපදෙස්, මඟ පෙන්වීම් දුන්නා. ඔයාලව සැනසුවා.+ ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා ඔයාලට කියලා දුන්නා. 12  අපි එහෙම කළේ ඔයාලා හැමදාමත් දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙනවා දකින්න අපිට ඕනෙ වුණ නිසයි.+ මොකද තමන්ගේ රාජ්‍යයට+ එන්නත් ඔහුගේ තේජස+ අද්දකින්නත් ඔයාලට අවස්ථාව දෙන්නේ ඔහුයි. 13  අපි අත්හරින්නේ නැතුව දිගටම දෙවියන්ට ස්තුති කරනවා.+ මොකද අපි ඔයාලට දෙවියන්ගේ පණිවිඩය ගැන කියද්දී ඔයාලා ඒක පිළිගත්තේ මිනිස්සුන්ගෙන් ලැබුණ දෙයක් විදිහට නෙමෙයි. දෙවියන්ගෙන්ම ලැබුණ දෙයක් විදිහට. ඇත්තටම ඒක දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් තමයි. ඒ පණිවිඩය ඔයාලාගේ හිත්වලට තදින්ම බලපාලා තියෙනවා කියලා ඔයාලා වැඩ කරන විදිහෙන් පේනවා. 14  ඔයාලා යුදයේ තියෙන දෙවියන්ගේ සභාවල ඉන්න අයව ආදර්ශයට ගත්තා. ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න එයාලා එහේ ඉන්න යුදෙව්වරුන් අතින් ගොඩක් දුක් පීඩා විඳිනවා. ඔයාලත් ඔයාලාගෙම රටේ අය නිසා දුක් විඳිනවා.+ 15  ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වයි, අනාගතවක්තෘවරුන්වයි මැරුවා විතරක් නෙමෙයි අපිටත් පීඩා කළා.+ එයාලා වැඩ කරන විදිහ ගැන දෙවියන් පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. එයාලා වැඩ කරන්නේ හැම කෙනෙක්ටම අනතුරක් වෙන විදිහටයි. 16  ගැලවීම ලබාගන්න පුළුවන් විදිහ ගැන අපි වෙනත් ජාතීන්ට දේශනා කරන එක නවත්තන්නයි එයාලා හදන්නේ.+ එහෙම කරලා එයාලාගේ පව්වලට එයාලා තව තවත් පව් එකතු කරගන්නවා. ඒත් දෙවියන්ගේ උදහස එයාලා පිටට එන දවස වැඩි ඈතක නැහැ.+ 17  සහෝදරයෙනි, ටික කාලෙකට ඔයාලාගෙන් සමුගන්න වුණත් අපිට ඔයාලව අමතක වුණේ නැහැ. ඔයාලව දකින්න අපිට ලොකු වුවමනාවක් තිබ්බා. ඔයාලා ළඟට ආයෙත් එන්න අපි ගොඩක් උත්සාහ කළේ ඒ නිසයි. 18  අපිට ඔයාලව කොහොමහරි බලන්න එන්න ඕනෙ වුණා. පාවුල් වන මම එක පාරක් නෙමෙයි දෙපාරක්ම ඔයාලා ළඟට එන්න හැදුවා. ඒත් සාතන් අපේ ගමනට බාධා කළා. 19  අපේ ස්වාමීන් වන යේසුස් ආයෙත් පැමිණෙන කාලයේදී* අපේ බලාපොරොත්තුවත් සතුටත් කිරුළත් ඔයාලයි.+ 20  ඇත්තටම ඔයාලා තමයි අපේ ගෞරවය, අපේ සතුට.

පාදසටහන්

හෝ සමහරවිට, “අමාරුකම් මැද්දේ.”
හෝ, “යවනු ලැබූ අය.”
මූ.අ., “සතුටු වුණා.”
හෝ, “පැමිණ සිටින කාලයේදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.