පළවෙනි පේතෘස් 1:1-25

  • සුබ පැතුම් (1, 2)

  • අලුත් උපතක් මාර්ගයෙන් ජීවමාන බලාපොරොත්තුවක් (3-12)

  • කීකරු දරුවන් නිසා ශුද්ධව ඉන්න (13-25)

1  මේ ලිපිය ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයෙක්* වන පේතෘස්.+ මේක ලියන්නේ තාවකාලික පදිංචිකරුවන් විදිහට ඉන්න, පොන්තසය, ගලාතිය, කපදෝසිය,+ ආසියාව සහ බිතිනිය කියන පළාත්වල විසිරිලා ඉන්න තෝරගත්ත අයටයි.  අපේ තාත්තා වන දෙවියන් කලින්ම සැලසුම් කරපු දේට එකඟවයි ඔහු ඔයාලව තෝරගත්තේ.+ ඔහු තමන්ගේ බලය දීලා ඔයාලව ශුද්ධ අය විදිහට වෙන් කළා.+ එහෙම කළේ ඔයාලා ඔහුට කීකරු වෙනවා දකින්නයි. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස්ගේ ලේ මාර්ගයෙන් ඔයාලව පවිත්‍ර කරන්නයි.+ ඔයාලට මහත් කරුණාවත්* සමාදානයත් වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මම පතනවා.  අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තාත්තා වන දෙවියන්ට ප්‍රශංසා වේවා! මොකද ඔහු මහත් දයාවක් පෙන්නලා අපිට අලුත් උපතක් දුන්නා.+ ජීවමාන බලාපොරොත්තුවක් දුන්නා.+ අපිට ඒ බලාපොරොත්තුව ලැබුණේ යේසුස් ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිට්ටවපු නිසයි.+  අලුත් උපතක් මාර්ගයෙන් ඔහු අපිට උරුමයක් දෙනවා. කවදාවත් කුණු වෙන්නේ නැති, කිසිම කැළලක් නැති, පර වෙලා යන්නේ නැති ජීවිතයක් ඒ උරුමයට අයිතියි.+ ඒ උරුමය ඔයාලා වෙනුවෙන් ස්වර්ගයේ වෙන් කරලයි තියෙන්නේ.+  ඔයාලව තමයි දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ආරක්ෂා කරන්නේ. ඒ ඔයාලට තියෙන විශ්වාසය නිසයි. ඔහු ඔයාලව ආරක්ෂා කරන්නේ ඔයාලට ගැලවීම ලබා දෙන්නයි. ඒ ගැලවීම අවසාන කාලේදී එළිදරව් වෙයි.  ඇත්ත, කෙටි කාලෙකට වුණත් දැන් ඔයාලට එක එක විදිහේ පීඩා නිසා දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම වුණත් ඔයාලට තියෙන ඒ බලාපොරොත්තුව නිසා ඔයාලා ඉන්නේ ගොඩක් සතුටින්.+  ඒ විදිහට ඔයාලට පීඩාවලට මූණ දෙන්න වෙන්නේ ඔයාලාගේ විශ්වාසය කොච්චර ශක්තිමත්ද කියලා ඔප්පු කරන්නයි.+ ශක්තිමත් විශ්වාසයක් තියෙන එක ගොඩක් වටිනවා. ගින්නෙන් පරීක්ෂා* කරලා තිබුණත් විනාශ වෙලා යන රත්තරන්වලටත් වඩා ඒක වටිනවා. ඒ වගේ විශ්වාසයක් තියෙන ඔයාලට යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වෙන වෙලාවේදී ප්‍රශංසාවත් ගෞරවයත් තේජසත් ලැබෙයි.+  ඔයාලා ඔහුව කවදාවත් දැකලා නැති වුණත් ඔහුට ආදරෙයි. ඔයාලට දැන් ඔහුව පේන්නේ නැති වුණත් ඔයාලා ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරනවා. වචනවලින් විස්තර කරන්න බැරි, පුදුමාකාර සතුටක් ඔයාලා අද්දකිනවා.  ඒ, ඔයාලාගේ විශ්වාසය නිසා ඔයාලට ලැබෙන තෑග්ගට ඒ කියන්නේ ඔයාලාගේ ගැලවීමට ළං වෙන නිසයි.+ 10  ඔයාලට ලැබිලා තියෙන මහත් කරුණාව ගැන කතා කරපු අනාගතවක්තෘවරු හරිම උනන්දුවෙන් ඒ ගැලවීම ගැන විස්තර ඇහුවා. තොරතුරු හොයලා බැලුවා.+ 11  ක්‍රිස්තුස් දුක් විඳිනවා+ කියලත් ඊටපස්සේ ඔහුට උසස් තත්වයක් ලැබෙනවා කියලත් දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන් එයාලට කලින්ම දැන්නුවා. ඒ නිසයි එයාලා ක්‍රිස්තුස්ට වෙන්නේ මොනවාද, එහෙම වෙන්නේ කොයි කාලේදීද කියලා දැනගන්න දිගටම ලොකු උත්සාහයක් ගත්තේ.+ 12  එයාලා අනාවැකි කියන්නේ එයාලා වෙනුවෙන් නෙමෙයි ඔයාලා වෙනුවෙන් කියලා තේරුම්ගන්න, දෙවියන් ඒ අනාගතවක්තෘවරුන්ට උදව් කළා. ඇත්තටම එයාලා කියපු දේවල් තමයි ශුභාරංචිය කියපු අය ඔයාලට දැන්නුවේ. ඒ අයට ඒක කරන්න පුළුවන් වුණේ ස්වර්ගයේ ඉඳන් දෙවියන් එවපු බලය එයාලට උදව් කරපු නිසයි.+ ඒ කාරණා ගැන දැනගන්න දේවදූතයන් පවා ඉන්නේ ලොකු ආසාවකින්. 13  ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න ඔයාලාගේ මනස හොඳින් සූදානම් කරගන්න.+ මොන දේ කළත් හොඳ කල්පනාවෙන් ඒක කරන්න.+ යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වෙන අවස්ථාවේදී ඔයාලා අද්දකින්න යන මහත් කරුණාව ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. 14  දෙවියන් ගැන දැනගන්න කලින් ඔයාලා වැඩ කළේ ඔයාලාගේ වැරදි ආශාවන්වලට වහල් වෙලයි. දැන් ඔයාලා කීකරු දරුවන් නිසා ඔයාලව පාලනය කරන්න ඒ ආශාවන්වලට ඉඩ දෙන්න එපා. 15  ඒ වෙනුවට ඔයාලව කැඳවපු ශුද්ධ තැනැත්තා වගේ ඔයාලත් ශුද්ධව ඉන්න. ඔයාලා කරන හැම දේකදීම ඒක දකින්න තියෙන්න ඕනේ.+ 16  මොකද “මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි”+ කියලා ලියලා තියෙනවා. 17  තරාතිරම් බලන්නේ නැතුව එක් එක් කෙනා වැඩ කරන විදිහට අනුව එයාලව විනිශ්චය කරන පියාණන්ට+ ඔයාලා කන්නලව් කරනවා නම් ඔහු ගැන ගරුබියක් තියෙනවා කියලා පෙන්නන්න.+ ඒ ගරුබිය ඔයාලා මේ ලෝකේ තාවකාලිකව ජීවත් වෙන කාලේදී දකින්න තියෙන්න ඕනේ. 18  ඔයාලා දන්නවා ඔයාලාගේ මුතුන්මිත්තන්ගෙන්* උරුම වුණ කිසි තේරුමක් නැති ජීවිතෙන් ඔයාලව නිදහස් කළේ* රිදී, රත්තරන් වගේ නැති වෙලා යන දේවල් දීලා නෙමෙයි+ කියලා. 19  ඔයාලව නිදහස් කළේ කිසිම කැළලක්, කිසිම දෝෂයක් නැති බැටළු පැටියෙක්ගේ+ ලේවලට සමාන, ගොඩක් වටින ක්‍රිස්තුස්ගේ+ ලේ+ දීලයි. 20  ඒ දේ කරන්න දෙවියන් ඔහුව තෝරගත්තේ පොළොවේ දරුවන්* බිහි වෙන්න කලින්.+ ඒත් මේ කාලවල්වල අවසානයේදී ඔහු පෙනී හිටියේ ඔයාලා වෙනුවෙන්.+ 21  ඔහු කරපු දේ නිසා දෙවියන් ගැන ඔයාලට විශ්වාසයක් ඇති වුණා.+ දෙවියන් තමයි ඔහුව මරණයෙන් නැඟිට්ටවලා,+ ඔහුව තේජසට පත් කළේ.+ එහෙම කළේ ඔයාලට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙන්නයි. දෙවියන් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නයි. 22  ඔයාලා සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වෙන නිසා ඔයාලාගේ ජීවිත පවිත්‍ර කරගෙනයි තියෙන්නේ. දැන් ඔයාලා සහෝදරයන්ට පෙන්නන්නේ කිසිම මවාපෑමක් නැති, අවංක ආදරයක්, සෙනෙහසක්.+ ඉතින් එක් එක් කෙනාට හද පත්ලෙන්ම ආදරේ කරන්න.+ 23  හැමදාටම ඉන්න, ජීවමාන දෙවියන් ඔහුගේ වචනය මාර්ගයෙන්+ ඔයාලට අලුත් උපතක් ලබා දුන්නේ+ මැරිලා යන බීජයකින් නෙමෙයි. ජීවය ලබා දෙන, කවදාවත් විනාශ වෙන්නේ නැති බීජයකින්.*+ 24  මොකද “හැම මනුෂ්‍යයෙක්ම තණකොළ වගෙයි. එයාලාගේ පෙනුම හරියට තණබිම්වල පිපෙන මල් වගෙයි. තණකොළ වේළිලා යනවා. මල් පර වෙලා වැටෙනවා. 25  ඒත් යෙහෝවාගේ* වචනය සදහටම පවතියි.”+ ශුභාරංචියක් විදිහට ඔයාලට කිව්වේ ඒ “වචනය” තමයි.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “පිරිසිදු.”
හෝ, “සම්ප්‍රදායෙන්.”
මූ.අ., “ඔයාලව ගලවගන්න වන්දියක් ගෙව්වේ; ඔයාලව මුදවගත්තේ.”
මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.
ඒ කියන්නේ පල දරන්න පුළුවන් බීජයකින්.
උප. A5 බලන්න.