පළවෙනි පේතෘස් 2:1-25

  • දේවවචනයට ආසාවක් ඇති කරගන්න (1-3)

  • ජීවමාන ගල්, දෙවියන්ගේ බලය මාර්ගයෙන් ගෘහයක් විදිහට ඉදි කරයි (4-10)

  • විදේශිකයන් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න (11, 12)

  • යටත් වෙන්න ඕන විදිහ (13-25)

    • ක්‍රිස්තුස් අපිට ආදර්ශයක් (21)

2  හැම නරක වැඩක්ම, වංචනික වැඩක්ම, කුහක විදිහට වැඩ කරන එක, ඊර්ෂ්‍යා කරන එක, අනිත් අයට නින්දා අපහාස කරන එක ඔයාලාගේ ජීවිතවලින් අයින් කරලා දාන්න.+  අලුත ඉපදුණ දරුවන්ට+ කිරි බොන්න තියෙන ආසාවට සමාන ආසාවක් දේවවචනයේ තියෙන පිරිසිදු කිරි* බොන්න ඔයාලත් ඇති කරගන්න. ඔයාලට වර්ධනය වෙන්නත් ගැලවීම ලබාගන්නත් ඒක උදව් වෙයි.+  ස්වාමීන් කොච්චර කරුණාවන්තයිද කියලා ඔයාලා අද්දැකලා* තියෙන නිසා ඒ දේ කරන්න ඔයාලට පුළුවන්.  මිනිස්සු ජීවමාන ගල ප්‍රතික්ෂේප කළා.+ ඒත් දෙවියන් ඔහුව තෝරගත්තා. දෙවියන්ට ඔහුව ගොඩක් වටිනවා.+ ඔයාලා ඔහු ළඟට එද්දී  ජීවමාන ගල්වලට සමාන ඔයාලව දෙවියන්ගේ බලය මාර්ගයෙන් ගෘහයක් විදිහට ඉදි කරනවා.+ එහෙම කරන්නේ දෙවියන් වෙනුවෙන් සේවය කරන පූජකයන් විදිහට ඔයාලව වෙන් කරන්නයි.+ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව, ඔහු පිළිගන්න විදිහේ පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කරන්නයි.+  මොකද ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියලා තියෙනවා. “තෝරගත්ත ගලක් මම සියොන්වල තියනවා. ඒ ගල අනර්ඝයි. ඒක අත්තිවාරමේ ප්‍රධාන ගලයි. ඒ ගැන විශ්වාසය තියන කිසිම කෙනෙක්ගේ බලාපොරොත්තු කවදාවත් කඩ වෙන්නේ නැහැ.”+  ඔයාලට ඔහු ගැන විශ්වාසයක් තියෙන නිසා ඔයාලට ඔහුව වටිනවා. ඒත් ඔහු ගැන විශ්වාසයක් නැති අයට එහෙම දැනෙන්නේ නැහැ. ලියවිල්ලේ මෙහෙම කියලා තියෙනවා. “ඉදි කරන්නන් ඉවතට දාපු ගල+ දැන් ප්‍රධාන ගල* වෙලා!”+  ඒ වගේම ඒක “කකුල පැටලිලා වැටෙන්න හේතු වෙන ගලක්, ගමනට බාධා වෙන ලොකු ගලක්.”+ එයාලාගේ කකුල පැටලිලා වැටෙන්නේ දෙවියන්ගේ වචනයට එයාලා අකීකරු වෙන නිසයි. එයාලට එහෙම වෙනවා කියලා කලින්ම කියලා තිබුණා.  ඒත් ඔයාලා “තෝරගත්ත ජාතියක්. රජවරු විදිහට සේවය කරන පූජකයන්. ශුද්ධ ජාතියක්.+ දෙවියන්ට අයිති විශේෂ සෙනඟක්.+ ඔයාලව එහෙම තෝරගත්තේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ ගුණාංග හැම තැනකදීම ප්‍රකාශ කරන්නයි.”+ ඔයාලව අන්ධකාරයෙන්, ඔහුගේ දීප්තිමත් ආලෝකයට අරන් ආවේ ඔහුයි.+ 10  කලින් ඔයාලා දෙවියන්ගේ සෙනඟ නෙමෙයි. ඒත් දැන් ඔයාලා ඔහුගේ සෙනඟ.+ කලින් ඔයාලට දයාව පෙන්නලා තිබුණේ නැහැ. ඒත් දැන් ඔයාලට දයාව පෙන්නලා තියෙනවා.+ 11  ආදරණීය සහෝදරයෙනි, විදේශිකයන් සහ තාවකාලික පදිංචිකරුවන් විදිහට ඉන්න ඔයාලාගෙන් මං මේ දේ ඉල්ලනවා.+ ඔයාලත් එක්ක නිතරම සටන් කරන,+ ඔයාලාගේ වැරදි ආශාවන්වලට කිසිම ඉඩක් දෙන්න එපා.+ 12  ඔයාලා මේ ලෝකේ මිනිස්සු අතරේ ඉද්දී දිගටම යහපත් විදිහට හැසිරෙන්න.+ එහෙම කරද්දී වැරදිකරුවන් කියලා ඔයාලට චෝදනා කරන අය ඔයාලා කරන හොඳ දේවල් දකියි.+ එතකොට සෝදිසි කරන දවසේදී එයාලා දෙවියන්ට ගෞරව කරයි. 13  මිනිස්සු පිහිටුවලා තියෙන හැම අධිකාරියකටම යටත් වෙන්න.+ ස්වාමීන්ගේ කැමැත්ත ඒකයි. මිනිස්සුන්ට වඩා ඉහළින් ඉන්න රජ කෙනෙක්ට+ වුණත් 14  වැරදි කරන අයට දඬුවම් කරන්න එහෙම නැත්නම් යහපත් දේවල් කරන අයට ප්‍රශංසා කරන්න රජ එවලා තියෙන ආණ්ඩුකාරයන්ට වුණත් යටත් වෙන්න.+ 15  මොකද දෙවියන් කැමතියි ඔයාලා යහපත් දේවල් කරලා, හොයන්නේ බලන්නේ නැතුව මෝඩ කතා කියන මිනිස්සුන්ගේ කටවල් වහලා දානවාට.*+ 16  ඔයාලා නිදහස් අය.+ ඒත් ඔයාලට තියෙන නිදහස වැරදි දේවල් කරන්න පාවිච්චි කරන්න එපා.+ ඒ වෙනුවට දෙවියන්ගේ දාසයන් විදිහට ජීවත් වෙන්න.+ 17  හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට ගෞරව කරන්න.+ සහෝදර සහෝදරියන් හැමෝටම ආදරේ කරන්න.+ දෙවියන් ගැන ගරුබියකින් ඉන්න.+ රජට ගෞරව කරන්න.+ 18  සේවකයන් එයාලාගේ ස්වාමිවරුන්ට යටත් වෙන්න ඕනේ. එහෙම කරද්දී එයාලට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.+ සාධාරණ විදිහට වැඩ කරන, හොඳ ස්වාමිවරුන්ට විතරක් නෙමෙයි සතුටු කරන්න අමාරු අයටත් ඒ විදිහට යටත් වෙන්න. 19  දෙවියන් ඉස්සරහා හොඳ හෘද සාක්ෂියක් තියාගන්න ඕනෙ නිසා කෙනෙක් දුෂ්කරතා විඳදරාගද්දී,* වරදක් කරලා නැතත් පීඩාවලට මූණ දෙද්දී දෙවියන් ඒ කෙනා ගැන සතුටු වෙනවා.+ 20  ඔයාලා වරදක් කරලා ගුටි කද්දී ඒක විඳදරාගන්න එක හොඳ දෙයක් වෙන්නේ කොහොමද?+ ඒත් ඔයාලා හොඳ දෙයක් කරලා දුක් විඳිද්දී ඒක දෙවියන් දකින්නේ යහපත් දෙයක් විදිහට.+ 21  ඔයාලා වෙනුවෙන් ක්‍රිස්තුස් දුක් වින්දා.+ ඔහු එහෙම කළේ ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න ඔයාලට ආදර්ශයක් තියන්නයි. ඇත්තටම දෙවියන් ඔයාලව කැඳෙව්වේ ඒ මාර්ගයේ ගමන් කරන්නයි.+ 22  ක්‍රිස්තුස් කිසිම වරදක් කළේ නැහැ.+ අනිත් අයව රවට්ටන විදිහේ කිසිම දෙයක් කිව්වෙත් නැහැ.+ 23  ඔහුට නින්දා කරද්දී+ ඒ අයට ඔහු නින්දා කළේ නැහැ.+ ඔහු වධ වේදනා අද්දකිද්දී+ තර්ජනය කළේ නැහැ. ඒ වෙනුවට ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාගේ අතට ඔහු තමන්ගේ ජීවිතේ භාර දුන්නා.+ 24  ඔහුගේ ශරීරය වධකණුවට* තියලා ඇණ ගහද්දී+ අපේ පව් ඔහු පිටට ගත්තා.+ ඔහු එහෙම කළේ අපේ පව්වලින් අපිව නිදහස් කරලා ධර්මිෂ්ඨ අය විදිහට ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙන්නයි. “ඔහුගේ තුවාල නිසා ඔයාලට සුවය ලැබුණා.”+ 25  ඔයාලා හිටියේ මංමුළා වුණ බැටළුවෝ වගේ.+ ඒත් දැන් ඔයාලාගේ ජීවිත රැකබලා ගන්නා එඬේරා+ ළඟට ඔයාලා ආයෙත් ඇවිත් ඉන්නවා.

පාදසටහන්

හෝ, “කිසිම දෙයක් මිශ්‍ර කරලා නැති කිරි.”
හෝ, “රහ බලලා.”
මූ.අ., “ඉහළින්ම තියෙන ප්‍රධාන ගල.”
මූ.අ., “මිනිස්සුන්ට කටකලියාවක් දානවාට.”
හෝ, “වේදනා දරාගද්දී.”
හෝ, “ගහට.”