පළවෙනි පේතෘස් 3:1-22

  • භාර්යාවන් සහ ස්වාමිපුරුෂයන් (1-7)

  • අනුකම්පාවෙන් සලකන්න; සාමය රැකගන්න (8-12)

  • ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා දුක් විඳියි (13-22)

    • බලාපොරොත්තුව ගැන ප්‍රශ්න කරන අයට උත්තර දෙන්න ලෑස්ති පිට ඉන්න (15)

    • බව්තීස්මය සහ නිදොස් හෘද සාක්ෂිය (21)

3  භාර්යාවෙනි, ඔයාලත් ඒ විදිහටම ඔයාලාගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙන්න.+ එයාලාගෙන් සමහරදෙනෙක් දෙවියන්ගේ වචනයට කීකරු වෙන්නේ නැති අය වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා කියන දේවල්වලින් නෙමෙයි ඔයාලාගේ යහපත් හැසිරීමෙන් එයාලව දිනාගන්න පුළුවන් වෙයි.+  මොකද ඔයාලා නිර්මලව හැසිරෙනවා කියලත් එයාලට ලොකු ගෞරවයක් පෙන්නනවා කියලත් එයාලා දකිනවා.+  ඔයාලා ලස්සන වෙන්න ඕනෙ පිටින් පේන දේවල්වලින් නෙමෙයි. ඒ කියන්නේ කොණ්ඩ මෝස්තර දාලා, රත්තරන් ආභරණ පැලඳලා,+ ගොඩක් ගණන් ඇඳුම් ඇඳලා නෙමෙයි.  ඒ වෙනුවට ඔයාලා ලස්සන වෙන්න ඕනෙ හදවතින්, ඇතුළාන්තයෙන්. ඔයාලා සැරසිලා ඉන්න ඕනෙ සන්සුන්කම සහ මෘදුකම කියන ගතිගුණවලින්.+ ඒවා කවදාවත් දිරලා යන්නේ නැති ඇඳුමක් වගේ. දෙවියන්ට ගොඩක් වටින්නේ ඒ වගේ අයවයි.  ඒ විදිහට තමයි අතීතයේ හිටපු, දෙවියන් ගැන බලාපොරොත්තු තියපු, ලොකු භක්තියක් තිබුණ කාන්තාවන් තමන්ව ලස්සන කරගත්තේ. එයාලා තමන්ගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙලා හිටියා.  සාරාත් ආබ්‍රහම්ට කීකරු වුණා. එයා ආබ්‍රහම්ට කතා කළේ ස්වාමීනි කියලයි.+ ඔයාලත් දිගටම යහපත් දේ කරනවා නම්, කිසිම දෙයක් නිසා බය වෙන්නේ නැතුව+ ඉන්නවා නම් සාරාගේ දරුවෝ කියලා ඔයාලටත් කියන්න පුළුවන්.  ඒ වගේම ස්වාමිපුරුෂයෙනි, ඔයාලා ඔයාලාගේ භාර්යාවන්ව තේරුම් අරන් ඉන්නවා කියලා වැඩ කරන විදිහෙන් පෙන්නන්න.* කාන්තාවන්ට ඔයාලට තරම් ශක්තියක් නැහැ. එයාලා ඉක්මනින්ම බිඳෙන්න පුළුවන් බඳුන් වගේ. ඒක මතකයේ තියාගෙන එයාලට ගෞරවයෙන් සලකන්න.+ මොකද දෙවියන්ගේ මහත් කරුණාව නිසා ඔයාලට වගේම එයාලටත් ජීවනය කියන තෑග්ග උරුම වෙනවා.+ එයාලට ගෞරවයෙන් සැලකුවේ නැත්නම් දෙවියන් ඔයාලාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ.  අන්තිමට මං මේ දේ කියන්න කැමතියි. ඔයාලා හැමෝම එක මනසකින් ඉන්න.*+ අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න. සහෝදර සහෝදරියන්ට ආදරයක්, සෙනෙහසක් පෙන්නන්න. ගැඹුරු දයානුකම්පාවෙන්+ එයාලට සලකන්න. නිහතමානීව ඉන්න.+  කෙනෙක් නරකක් කළාම එකට එක කරන්න එපා.+ නින්දා කළාම නින්දා කරන්න එපා.+ ඒ වෙනුවට අනිත් අයට යහපත් දේවල් කරන්න.+ මොකද දෙවියන් ඔයාලව තෝරගත්තේ ඒ දේ කරන්නයි. ඔහු ඔයාලා වෙනුවෙනුත් යහපත් දේවල් කරයි. 10  මොකද “කෙනෙක් ජීවිතේට ආදරේ කරනවා නම්, ජීවිතේ සතුටින් ගත කරන්න කැමතියි නම් තමන්ගේ දිවෙන් නපුරු කතා කියන එකෙනුත්+ තොල්වලින් අනුන්ව රවට්ටන එකෙනුත් වළකින්න ඕනේ. 11  එයා නපුරු දෙයින් ඈත් වෙලා+ යහපත් දේ කරන්න ඕනේ.+ හැම කෙනෙක් එක්කම සමාදානයෙන් ඉන්නත් සාමය රැකගන්නත් ලොකු වෑයමක් දරන්න ඕනේ.*+ 12  මොකද යෙහෝවා* දෙවියන්ගේ ඇස් ධර්මිෂ්ඨ අය වෙතටත් ඔහුගේ කන් එයාලාගේ කන්නලව්වලටත් යොමු වෙලා තියෙනවා.+ ඒත් නපුරු දේවල් කරන අයව යෙහෝවා* ප්‍රතික්ෂේප කරනවා.”+ 13  ඇත්තටම ඔයාලා හරිම උද්‍යෝගයෙන් යහපත් දේවල් කරනවා නම් ඔයාලට අනතුරක් කරන්නේ කවුද?+ 14  ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා ඔයාලට දුක් විඳින්න වුණත් ඔයාලට සතුටක් දැනෙයි.+ හැබැයි ඔයාලා වටේ ඉන්න අය බය වෙන දේවල්වලට ඔයාලා බය වෙන්න එපා.* කිසිම දෙයක් නිසා කලබල වෙන්න එපා.+ 15  ඒ වෙනුවට ක්‍රිස්තුස් ස්වාමීන් කියලා ඔයාලාගේ හදවතින්ම පිළි අරන් ඔහුට ගෞරව කරන්න. ඔයාලට තියෙන බලාපොරොත්තුව ගැන ප්‍රශ්න කරන හැමෝටම උත්තර දෙන්න නිතරම ලෑස්ති පිට ඉන්න. ඒත් ඔයාලා උත්තර දෙද්දී කාරුණිකව+ සහ එයාලට ගෞරවයක් පෙන්නලා+ ඒක කරන්න. 16  මිනිස්සු ඔයාලට විරුද්ධව මොන වගේ දේවල් කිව්වත් දෙවියන් ඉස්සරහා නිදොස් හෘද සාක්ෂියක් තියාගන්න උත්සාහ කරන්න.+ එතකොට ඔයාලට විරුද්ධව කතා කරන අය ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් විදිහට ඔයාලා කරන හොඳ දේවල්+ දැකලා ලැජ්ජාවට පත් වෙයි.+ 17  යහපත් දේවල් කරන නිසා දුක් විඳින්න+ දෙවියන් ඉඩහැරලා තියෙනවා නම් නපුරු දේවල් කරලා දුක් විඳිනවාට වඩා ඒක හොඳයි.+ 18  මොකද පව්වලට සමාව ලබා දෙන්න ක්‍රිස්තුස් තමන්ගේ ජීවිතේ පූජා කළා. ඔහුට ඒ දේ කරන්න වුණේ එක පාරයි.+ ධර්මිෂ්ඨ කෙනෙක් වුණ ඔහු ඒ දේ කළේ අධර්මිෂ්ඨ අය වෙනුවෙන්.+ ඔහු මැරුණේ ඔයාලට දෙවියන් ළඟට යන්න උදව් කරන්නයි.+ මිනිසෙක් විදිහට හිටපු ඔහුව මරණයට පත් කළා.+ ඒත් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට* ඔහුව මරණයෙන් ආපහු නැඟිට්ටෙව්වා.+ 19  ඊටපස්සේ ඔහු හිරේ හිටපු දේවදූතයන්ට එයාලට ලැබෙන විනිශ්චය ගැන කිව්වා.+ 20  එයාලා තමයි නෝවාගේ කාලේදී දෙවියන්ට අකීකරු වුණ දේවදූතයන්. නෝවා නැව හදන කල්+ දෙවියන් ඉවසීමෙන් බලාගෙන හිටියා.+ ඒ නැවට ඇතුල් වුණ ටිකදෙනාට ඒ කියන්නේ අටදෙනාට වතුරෙන් තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වුණා.+ 21  අපිට ඒ සිද්ධිය සමාන කරන්න පුළුවන් දැන් ඔයාලට ගැලවීම ලබා දෙන බව්තීස්මයට. (බව්තීස්මය කියන්නේ ශරීරයේ තියෙන කුණු හෝදන්න කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ඒක නිදොස් හෘද සාක්ෂියක් ලබා දෙන්න කියලා දෙවියන්ට කරන ඉල්ලීමක්.)+ ඔයාලා බව්තීස්ම වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔයාලට විශ්වාසයක් තියෙන නිසයි. 22  ක්‍රිස්තුස් දැන් ඉන්නේ දෙවියන්ගේ දකුණු පැත්තේ.+ මොකද ඔහු ස්වර්ගයට ගියා. ඒ වගේම දේවදූතයන්වත් අධිකාරියක් සහ බලයක් තියෙන අයවත් ඔහුට යටත් කරලා දුන්නා.+

පාදසටහන්

හෝ, “භාර්යාවන් ගැන සැලකිලිමත් වෙන්න; එයාලව තේරුම්ගන්න.”
හෝ, “එක විදිහට හිතන්න.”
මූ.අ., “සාමය හොයාගෙන ඒක ලුහුබඳින්න ඕනේ.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
හෝ සමහරවිට, “එයාලාගේ තර්ජනවලට බය වෙන්න එපා.”
ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.