පළවෙනි යොහන් 2:1-29

  • යේසුස්, දෙවියන් එක්ක සමාදාන වෙන්න අවස්ථාව ලබා දෙන පූජාව (1, 2)

  • ඔහුගේ ආඥා පිළිපදින්න (3-11)

    • පරණ ආඥාව සහ අලුත් ආඥාව (7, 8)

  • ලිපිය ලියන්න හේතුව (12-14)

  • ලෝකයට ආශාවක් ඇති කරගන්න එපා (15-17)

  • ක්‍රිස්තු විරෝධියා ගැන අනතුරු අඟවයි (18-29)

2  මගේ දරුවෙනි, මං ඔයාලට මේ දේවල් ගැන ලියන්නේ ඔයාලා අතින් පාපයක් වෙන එක වළක්වන්නයි. ඒත් කාගේ හරි අතින් පාපයක් වුණොත් එයාගේ උදව්වට* කෙනෙක් ඉන්නවා. ඒ, පියාණන් එක්ක ඉන්න තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්.+ ඔහු ධර්මිෂ්ඨ කෙනෙක්.+  යේසුස් අපේ පාප වෙනුවෙන්+ ඔහුගේ ජීවිතය පූජා කළා. ඒ පූජාව නිසා දෙවියන් එක්ක ආයෙත් සමාදාන වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.*+ ඒත් ඔහු ජීවිතය පූජා කළේ අපේ පාප වෙනුවෙන් විතරක් නෙමෙයි හැම මිනිසෙක්ගෙම පාප වෙනුවෙන්.+  අපි ඔහුගේ* ආඥා දිගටම පිළිපදිනවා නම් අපි ඔහුව හඳුනගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්.  කෙනෙක් “මං ඔහුව හඳුනනවා” කියලා කිව්වත් ඒ කෙනා ඔහුගේ ආඥා පිළිපදින්නේ නැත්නම් එයා බොරුකාරයෙක්. එයා සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා කියන්නත් බැහැ.  ඒත් කෙනෙක් යේසුස් කියන දේවල් පිළිපදිනවා නම් දෙවියන් ගැන එයාට තියෙන ආදරේ කිසිම අඩුවක් නැහැ කියලා කියන්න පුළුවන්.+ අපි එහෙම කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා කියලයි.+  ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා කියලා කෙනෙක් කියනවා නම් යේසුස් ජීවත් වුණ විදිහටම ජීවිතය ගත කරන්න එයා බැඳිලා ඉන්නවා.+  ආදරණීය සහෝදරයෙනි, මං ඔයාලට ලියන්නේ අලුත් ආඥාවක් ගැන නෙමෙයි, මුල ඉඳන්ම ඔයාලට ලැබුණ ආඥාවක් ගැනයි.+ ඒ පරණ ආඥාව තමයි ඔයාලා දැනගත්ත පණිවිඩය.  ඒත් මං දැන් ඔයාලට අලුත් ආඥාවක් ගැන ලියනවා. යේසුස් පිළිපදින විදිහටම ඔයාලත් ඒ ආඥාව පිළිපදිනවා. මොකද දැන් අන්ධකාරය නැති වේගනයි යන්නේ. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙනවා.+  කෙනෙක් තමන් ආලෝකයේ ඉන්නවා කියලා කිව්වත් එයා එයාගේ සහෝදරයාට වෛර කරනවා නම්+ එයා තාමත් ඉන්නේ අන්ධකාරයේ.+ 10  කෙනෙක් එයාගේ සහෝදරයාට ආදරෙයි නම් එයා ඉන්නේ ආලෝකයේ.+ එයා පාපයට වැටෙන්නේ නැහැ.* 11  ඒත් තමන්ගේ සහෝදරයාට වෛර කරන කෙනෙක් ඉන්නේ අන්ධකාරයේ. එයා ගමන් කරන්නෙත් අන්ධකාරයේ.+ අන්ධකාරයෙන් එයාගේ ඇස් අන්ධ වෙලා තියෙන නිසා යන්නේ කොහෙද කියලවත් එයා දන්නේ නැහැ.+ 12  මගේ දරුවෙනි, මං ඔයාලට ලියන්නේ ඔයාලාගේ පව්වලට සමාව දීලා තියෙන නිසයි. දෙවියන් එහෙම කළේ යේසුස්ගේ* නම වෙනුවෙන්.+ 13  පියවරුනි, මං ඔයාලට ලියන්නේ පටන්ගැන්මේ ඉඳන් ජීවත් වෙන කෙනාව ඔයාලා හඳුනගෙන ඉන්න නිසයි. තරුණයෙනි, මං ඔයාලට ලියන්නේ ඔයාලා දුෂ්ටයාව පරාජය කරපු නිසයි.+ මගේ දරුවෙනි, මං ඔයාලට ලියන්නේ ඔයාලා පියාණන්ව හඳුනගෙන ඉන්න නිසයි.+ 14  පියවරුනි, මං ඔයාලට ලියන්නේ පටන්ගැන්මේ ඉඳන් ජීවත් වෙන කෙනාව ඔයාලා හඳුනගෙන ඉන්න නිසයි. තරුණයෙනි, ඔයාලා හුඟක් ශක්තිමත්ව ඉන්නවා.+ දෙවියන්ගේ පණිවිඩය ඔයාලාගේ හිත්වල තියෙනවා.+ ඒ වගේම ඔයාලා දුෂ්ටයාව පරාජය කරලා තියෙනවා.+ ඒ නිසයි මං ඔයාලට ලියන්නේ. 15  මේ ලෝකයටවත් ලෝකයේ තියෙන දේවල්වලටවත් ආශාවක්* ඇති කරගන්න එපා.+ කෙනෙක් මේ ලෝකයේ තියෙන දේවල්වලට ආශාවක් ඇති කරගන්නවා නම් පියාණන් ගැන එයාගේ හිතේ ආදරයක් නැහැ.+ 16  මොකද මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ඒ කියන්නේ, පව්කාර ආශාවන් ඉටු කරගන්න එක,*+ දකින දකින දේ ලබාගන්න තියෙන ආශාව+ සහ තමන්ට අයිති දේවල් ප්‍රදර්ශනය කරන්න තියෙන ආශාව* පියාණන්ට අයිති දේවල් නෙමෙයි. ඒවා මේ ලෝකයට අයිති දේවල්. 17  මේ ලෝකයත් ඒකේ තියෙන ආශාවනුත් නැති වෙලා යනවා.+ ඒත් දෙවියන් කැමති දේ කරන කෙනා සදාකාලයටම ජීවත් වෙනවා.+ 18  මගේ දරුවෙනි, අපි ඉන්නේ අන්තිම පැයේ. ඔයාලා අහලා තියෙනවා ක්‍රිස්තු විරෝධියා* එනවා කියලා.+ ඇත්තටම ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක් දැනටමත් ඉන්නවා.+ ඒකෙන් තේරෙනවා අපි ඉන්නේ අන්තිම පැයේ කියලා. 19  ඒ අය අපිව අත්හැරලා ගියා. මොකද ඒ අය අපි වගේ නෙමෙයි.+ එයාලා අපේම අය වුණා නම් දිගටම අපිත් එක්කම ඉන්නවා. එයාලා අපිව අත්හැරලා ගිය එකෙන් තේරෙනවා හැමෝම අපේම අය නෙමෙයි කියලා.+ 20  ඒත් ශුද්ධ තැනැත්තා ඔයාලව අභිෂේක කරලා තියෙනවා.+ ඔයාලා හැමෝම සත්‍ය ඉගැන්වීම් අවබෝධ කරගෙන ඉන්නවා. 21  මං ඔයාලට ලියන්නේ ඔයාලා සත්‍යය ගැන දන්නේ නැති නිසා නෙමෙයි.+ ඔයාලා සත්‍ය ඉගැන්වීම් ගැන හොඳට දන්නවා. ඒ ඉගැන්වීම්වල කිසිම බොරුවක් නැහැ.+ මං ඔයාලට ලියන්නේ ඒ නිසයි. 22  යේසුස්ව ක්‍රිස්තුස්* විදිහට පිළිගන්නේ නැති කෙනා බොරුකාරයෙක්.+ එයා තමයි ක්‍රිස්තු විරෝධියා.+ එයා පියාණන්වත් පුතාවත් ප්‍රතික්ෂේප කරනවා. 23  පුතාව ප්‍රතික්ෂේප කරන කෙනාට පියාණන් එක්ක කිසිම බැඳීමක් නැහැ.+ ඒත් පුතාව පිළිගන්න කෙනාට+ පියාණන් එක්ක තියෙන්නේ කිට්ටු බැඳීමක්.+ 24  ඔයාලා මුල ඉඳන්ම ඉගෙනගත්ත දේවල් කවදාවත් හිතින් අයින් කරගන්න එපා. ඒ දේවල් හැමදාමත් හිත්වල තියාගන්නවා නම්+ පුතා එක්කත් පියාණන් එක්කත් එකට බැඳිලා ඉන්න ඔයාලට පුළුවන්. 25  ඒ වගේම ඔහු අපිට සදාකාල ජීවනය+ දෙන්නත් පොරොන්දු වෙලා තියෙනවා. 26  මං ඔයාලට මේ දේවල් ලියන්නේ සමහරු ඔයාලව රවට්ටන්න හදන නිසයි. 27  දෙවියන් ඔහුගේ බලයෙන් ඔයාලව අභිෂේක කරලා තියෙනවා.+ ඒ බලය දිගටම ඔයාලා තුළ පවතින නිසා කවුරුත් ඔයාලට උගන්වන්න ඕනෙ නැහැ. මොකද ඒ බලය මාර්ගයෙන් දෙවියන් ඔයාලට හැම දේම උගන්වනවා.+ ඔයාලව අභිෂේක කරලා තියෙනවා කියලා දෙවියන්ගේ බලයෙන් ලැබෙන සාක්ෂිය බොරුවක් නෙමෙයි. ඒක ඇත්තක්. ඒ නිසා ඔයාලට උගන්වපු විදිහට දිගටම ඔහුත් එක්ක එකට බැඳිලා ඉන්න.+ 28  ඉතින් මගේ දරුවෙනි, ඔහු එක්ක තියෙන බැඳීම නැති කරගන්න එපා. එතකොට ඔහු පෙනී ඉද්දී ඔයාලට කිසි බයක් සැකක් නැතුව කතා කරන්න+ පුළුවන් වෙනවා. ඒ වගේම ඔහු ආයෙත් පැමිණෙන කාලයේදී* ඔහුට මුහුණ දෙන්න බැරුව ලැජ්ජාවෙන් හැංගෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. 29  ඔහු ධර්මිෂ්ඨ කෙනෙක් කියලා ඔයාලා පිළිගන්නවා නම් ධර්මිෂ්ඨ දේ කරන හැමෝම දෙවියන්ගෙම දරුවන්+ කියලා ඔයාලට නිසැක වෙන්න පුළුවන්.

පාදසටහන්

හෝ, “එයා වෙනුවෙන් කතා කරන්න.”
හෝ, “අපිට දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න අවස්ථාව ලැබෙනවා.” මූ.අ., “දෙවියන් එක්ක සමාදාන වෙන්න අවස්ථාව ලබා දෙන පූජාව ඔහුයි.”
මෙතන කතා කරන්නේ දෙවියන් ගැන වෙන්නත් පුළුවන් යේසුස් ගැන වෙන්නත් පුළුවන්.
හෝ සමහරවිට, “පාපයට වැටෙන්න එයා වෙන කෙනෙක්ව පොලඹවන්නේ නැහැ.”
මූ.අ., “ඔහුගේ.”
හෝ, “ඇල්මක්.”
හෝ, “ඉඳුරන් පිනවගන්න තියෙන ආශාව.”
හෝ, “තමන්ට තියෙන දේවල් ගැන උජාරුවෙන් කියවන එක.”
ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ට විරුද්ධව වැඩ කරන කෙනා.
හෝ, “ගැලවුම්කරු.” ක්‍රිස්තුස් කියන්නේ “අභිෂේක ලබපු කෙනා” කියන අර්ථය තියෙන පදවියක්.
හෝ, “පැමිණ සිටින කාලයේදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.