පළවෙනි යොහන් 4:1-21

  • පණිවිඩයක් ලැබෙන්නේ දෙවියන්ගෙන්ද කියලා හොයලා බලන්න (1-6)

  • දෙවියන්ව හඳුනගන්න එක සහ ඔහුට ආදරේ කරන එක (7-21)

    • “දෙවියන් තමයි ආදරය” (8, 16)

    • දෙවියන්ට ආදරේ කරන කෙනෙක් තුළ බයක් නැහැ (18)

4  ආදරණීය සහෝදරයෙනි, දෙවියන්ගෙන්* ලැබුණා කියලා කියන හැම පණිවිඩයක්ම විශ්වාස කරන්න එපා.+ ඒ පණිවිඩ ඇත්තටම එන්නේ දෙවියන්ගෙන්ද කියලා හොයලා බලන්න.+ මොකද දැනටමත් මේ ලෝකයේ බොරු අනාගතවක්තෘවරුන්* හුඟදෙනෙක් ඉන්නවා.+  ඒ වගේ පණිවිඩයක් ලැබුණේ දෙවියන්ගෙන්ද කියලා දැනගන්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස් මිනිසෙක් විදිහට මේ පොළොවට ආවා කියලා ඒකේ සඳහන් වෙනවා නම් ඒක දෙවියන්ගෙන් ආපු පණිවිඩයක් විදිහට පිළිගන්න පුළුවන්.+  ඒත් යේසුස්ව පිළිගන්නේ නැහැ කියලා ඒකේ සඳහන් වෙනවා නම් ඒක දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් නෙමෙයි.+ ඒක ක්‍රිස්තු විරෝධියාගෙන්* ලැබුණ එකක්. ඒ කෙනා මේ ලෝකයට එනවා කියලා ඔයාලා අහලා තියෙනවා.+ ඇත්තටම ඒ කෙනා දැනටමත් ඇවිල්ලයි ඉන්නේ.+  මගේ දරුවෙනි, දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන නිසා ඔයාලා ඒ බොරු අනාගතවක්තෘවරුන්ව පරාජය කරලා තියෙනවා.+ මොකද මේ ලෝකයට බලපෑම් කරන යක්ෂයාට+ වඩා ඔයාලා එක්ක එකට බැඳිලා ඉන්න දෙවියන් බලවත්.+  බොරු අනාගතවක්තෘවරු අයිති මේ ලෝකයටයි.+ එයාලා මේ ලෝකය පිළිගන්න අදහස් ගැන කතා කරන්නෙත් ලෝකයේ ඉන්න අය එයාලට ඇහුම්කන් දෙන්නෙත් ඒ නිසයි.+  ඒත් අපි ජීවත් වෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව. දෙවියන්ව හඳුනන කෙනා අපිට ඇහුම්කන් දෙනවා.+ දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිගන්නේ නැති කෙනා අපිට ඇහුම්කන් දෙන්නේ නැහැ.+ පණිවිඩයක් ඇත්තද බොරුද කියලා දැනගන්නේ එහෙමයි.+  මගේ සහෝදරයෙනි, අපි දිගටම එකිනෙකාට ආදරේ කරමු.+ මොකද ආදරය කියන්නේ දෙවියන්ගෙන් එන දෙයක්. අනිත් අයට ආදරේ කරන හැම කෙනෙක්ම දෙවියන්ගේ දරුවන්. එයාලා දෙවියන්ව හඳුනනවා.+  අනිත් අයට ආදරේ කරන්නේ නැති කෙනා දෙවියන්ව හඳුනන්නේ නැහැ. මොකද දෙවියන් තමයි ආදරය.*+  දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියනවා නම් ඔහුගේ එකම පුතාව*+ මේ ලෝකයට එව්වා. ඒ, ඔහුගේ පුතා මාර්ගයෙන් සදාකාල ජීවනය ලබාගන්න අපිට අවස්ථාව දෙන්නයි.+ 10  දෙවියන් එහෙම කළේ අපි ඔහුට ආදරේ කරපු නිසා නෙමෙයි, ඔහු අපිට ආදරේ කරපු නිසයි. ඔහු එක්ක සමාදාන වෙන්න+ අපිට අවස්ථාව දෙන්න* ඔහු තමන්ගේ පුතාව පූජාවක්+ විදිහට එව්වේ අපිට තියෙන ආදරේ නිසයි. 11  ආදරණීය සහෝදරයෙනි, දෙවියන් අපිට එච්චර ආදරේ කළා නම් අපිත් එකිනෙකාට ආදරේ කරන්න බැඳිලා ඉන්නවා+ නේද? 12  කිසිම කෙනෙක් කවදාවත් දෙවියන්ව දැකලා නැහැ.+ ඒත් අපි දිගටම එකිනෙකාට ආදරේ කළොත් දෙවියන් අපි එක්කම ඉන්නවා. ඒ නිසා ඔහු පෙන්නන ආදරේ කිසිම අඩුවක් නැතුව පෙන්නන්නත් අපිට පුළුවන්.+ 13  දෙවියන් ඔහුගේ බලය අපිට දීලා තියෙන නිසා අපි ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා කියලත් ඔහු අපි එක්ක එකට බැඳිලා ඉන්නවා කියලත් අපි දන්නවා. 14  ඒ විතරක් නෙමෙයි පියාණන් ඔහුගේ පුතාව ගැලවුම්කරු+ විදිහට මේ ලෝකයට එව්වා කියන දේ ගැන අපි සාක්ෂි දෙනවා. මොකද අපි ඔහුව අපේ ඇස් දෙකෙන්ම දැක්කා. 15  යේසුස් දෙවියන්ගේ පුතා කියලා කෙනෙක් පිළිගත්තොත්+ දෙවියන් ඒ කෙනා එක්ක එකට බැඳිලා ඉන්නවා. ඒ කෙනාත් දෙවියන් එක්ක එකට බැඳිලා ඉන්නවා.+ 16  දෙවියන්ගේ ආදරේ අපි අද්දැක්කා. ඒ නිසා ඔහු අපිට ආදරෙයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.+ දෙවියන් තමයි ආදරය.+ දිගටම දෙවියන්ට ආදරේ කරන කෙනා දෙවියන් එක්ක එකට බැඳිලා ඉන්නවා. දෙවියනුත් ඒ කෙනා එක්ක එකට බැඳිලා ඉන්නවා.+ 17  ඒ වගේම අපි කිසිම අඩුවක් නැතුව ආදරේ පෙන්නද්දී දෙවියන් විනිශ්චය කරන දවසේදී කිසිම බයක් නැතුව කතා කරන්න+ අපිට පුළුවන්. මොකද මේ ලෝකයේ ඉන්න අපිත් ක්‍රිස්තුස්ට සමානව ඉන්නවා. 18  අපි තුළ බයක් තියෙනවා නම් සමහර දේවල් කරන්න අපි අදිමදි කරනවා. ඒත් දෙවියන්ට ආදරේ කරන කෙනෙක් තුළ කිසිම බයක් නැහැ.+ මොකද මුළු හිතින්ම ආදරේ කරද්දී අපේ බය නැති වෙනවා. අපේ හිතේ බයක් තියෙනවා කියන්නේ අපිට තියෙන ආදරේ අඩුවක් තියෙනවා කියන එකයි.+ 19  අපි අනිත් අයට* ආදරේ කරන්නේ දෙවියන් අපිට මුලින්ම ආදරේ කරපු නිසයි.+ 20  කෙනෙක් “මම දෙවියන්ට ආදරෙයි” කියලා කිව්වත් එයා තමන්ගේ සහෝදරයාට වෛර කරනවා නම් එයා බොරුකාරයෙක්.+ මොකද පේන්න ඉන්න සහෝදරයාට ආදරේ කරන්න බැරි නම්+ පේන්නේ නැති දෙවියන්ට ආදරේ කරන්න එයාට කොහොමටවත් බැහැ.+ 21  ඔහු අපිට ආඥා කළේ දෙවියන්ට ආදරේ කරන කෙනා තමන්ගේ සහෝදරයාටත් ආදරේ කරන්න ඕනෙ කියලයි.+

පාදසටහන්

ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ දෙවියන්ගෙන් පණිවිඩ ලැබුණා කියලා බොරුවට කියන අය.
ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ට විරුද්ධව වැඩ කරන කෙනා.
ඒ කියන්නේ ආදරයේ උල්පත දෙවියන්.
ඒ කියන්නේ ඔහුගේ අතින්ම නිර්මාණය කරපු ඔහුගේ එකම පුතාව.
හෝ, “අපිට දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න අවස්ථාව දෙන්න.”
ඒ කියන්නේ මිනිසුන්ටයි, දෙවියන්ටයි.