පළවෙනි රාජාවලිය 1:1-53

  • දාවිත් සහ අබිෂග් (1-4)

  • අදොනියා රජකම ලබාගන්න හදයි (5-10)

  • නාතනුයි, බැත්ෂෙබායි පියවර ගනියි (11-27)

  • සලමොන්ව අභිෂේක කරන්න කියලා දාවිත් අණ කරයි (28-40)

  • අදොනියා පූජාසනය ළඟට යයි (41-53)

1  දාවිත් රජ හිටියේ ගොඩක් වයසට ගිහිල්ලා.+ රජගේ සේවකයන් රජට උණුසුම ලබා දෙන්න ගනකම් රෙදිවලින් එයාව පෙරෙව්වත් ඒකෙන් වැඩක් වුණේ නැහැ.  ඉතින් රජගේ සේවකයන් එයාට මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපේ රජතුමනි, ඔබට සාත්තු සප්පායම් කරලා ඔබව බලාගන්න තරුණ කන්‍යාවක් හොයාගෙන එන්න අපිට අවසර දෙන්න. එතකොට එයාට පුළුවන්නේ අපේ ස්වාමීන් වන ඔබ ළඟින්ම ඉඳලා ඔබට උණුසුමක් ලබා දෙන්න.”  ඊටපස්සේ එයාලා ලස්සන තරුණියක්ව හොයන්න මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ගියා. එතකොට එයාලට ෂුනෙම් ජාතික+ තරුණියක් වුණ අබිෂග්ව+ හම්බ වුණා. ඉතින් එයාලා අබිෂග්ව රජ ළඟට ගෙනාවා.  එයා හරිම ලස්සන තරුණියක්. එයා රජට සාත්තු සප්පායම් කරලා රජව බලාගත්තා. ඒත් රජ අබිෂග් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ.  ඒ කාලේදී හග්ගිත්ගේ පුතා වුණ අදොනියා+ එයාවම උසස් කරගන්න හැදුවා. එයා කිව්වා “ඊළඟට රජ වෙන්නේ මමයි” කියලා. අදොනියා එයාගේ පාවිච්චියට අශ්ව රථයක් හදාගෙන ඒකට අසරුවන්වයි, එයා ඒකේ යද්දී එයාට ඉස්සරහින් දුවන්න මිනිස්සු 50දෙනෙක්වයි ලෑස්ති කරගත්තා.+  ඒත් එයාගේ තාත්තා කොයිම වෙලාවකවත් “ඇයි ඔයා මේ වගේ දෙයක් කරන්නේ” කියලා එයාගෙන් අහලා එයාව නිවැරදි කළේ නැහැ.* අදොනියාත් හරිම කඩවසම් කෙනෙක්. එයා ඉපදුණේ අබ්සලොම් ඉපදුණාට පස්සේ.  එයා නිතරම උපදෙස් ගත්තේ ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ්ගෙන් සහ පූජක අබියාතර්ගෙන්.+ එයාලත් අදොනියාට සහයෝගය දීලා උදව් කළා.+  ඒත් පූජක සාදොක්,+ යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා,+ අනාගතවක්තෘ නාතන්,+ ෂිමෙයි+ සහ රේයි එයාට එකතු වුණේ නැහැ. දාවිත්ගේ දක්ෂ සෙබළුනුත්+ අදොනියාට සහයෝගය දුන්නේ නැහැ.  පස්සේ අදොනියා ඒන්රොගෙල් කිට්ටුව තිබුණ ෂොහෙලෙත් ගල ළඟදී බැටළුවන්වයි, ගවයන්වයි, තර සතුන්වයි පූජා කළා.+ එයා ඒ අවස්ථාවට රජගේ පුතාලා වුණ එයාගේ සහෝදරයන් හැමෝටමයි, යූදාවල හිටපු රජගේ සේවකයන් හැමෝටමයි ආරාධනා කළා. 10  ඒත් එයා අනාගතවක්තෘ නාතන්ටයි, බෙනායාටයි, දක්ෂ සෙබළුන්ටයි, එයාගේ සහෝදරයා වුණ සලමොන්ටයි ආරාධනා කළේ නැහැ. 11  නාතන්+ සලමොන්ගේ අම්මා+ වුණ බැත්ෂෙබාට+ මෙහෙම කිව්වා. “අපේ ස්වාමීන් වන දාවිත් රජ දන්නෙවත් නැතුව හග්ගිත්ගේ පුතා අදොනියා+ රජ වෙලා. ඒ ගැන ඔයාට ආරංචි වුණේ නැද්ද? 12  ඔයාගේ ජීවිතෙයි, ඔයාගේ පුතා සලමොන්ගේ ජීවිතෙයි බේරගන්න+ මොනවාද කරන්න ඕනෙ කියලා ඔයාට කියන්න මට අවසර දෙන්න. 13  ඔයා දාවිත් රජ ළඟට ගිහිල්ලා මෙහෙම අහන්න. ‘මගේ ස්වාමීනි, රජතුමනි, “මගෙන් පස්සේ රජ වෙන්නේ ඔයාගේ පුතා සලමොන්. මගේ සිංහාසනයේ ඉඳගන්නේ එයායි”+ කියලා ඔබේ දාසියට දිවුරලා කිව්වේ ඔබම නේද? එහෙමනම් අදොනියාට රජකම ලැබුණේ කොහොමද?’ 14  ඔයා රජ එක්ක කතා කරකර ඉද්දී මමත් එන්නම්. මං ඇවිල්ලා ඔයා කියන දේ ස්ථිර කරන්නම්.” 15  ඉතින් බැත්ෂෙබා රජව හම්බ වෙන්න රජගේ නිදන කාමරයට ගියා. ගොඩක් වයසට ගිහින් හිටපු රජට සාත්තු කරන්න හිටපු ෂුනෙම් ජාතික අබිෂග්+ රජ ළඟ හිටියා. 16  එතකොට බැත්ෂෙබා බිමට නැමිලා ඔළුව පහත් කරලා රජට ආචාර කළා. එතකොට රජ “ඔයාට මොනවාද ඕනෙ” කියලා එයාගෙන් ඇහුවා. 17  බැත්ෂෙබා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබම නේද ඔබේ දාසියට ඔබේ දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වුණේ ‘මගෙන් පස්සේ රජ වෙන්නේ ඔයාගේ පුතා සලමොන්. මගේ සිංහාසනයේ ඉඳගන්නේ එයායි’+ කියලා? 18  ඒත් බලන්නකෝ දැන් අදොනියා රජ වෙලානේ. මගේ ස්වාමීන් වන රජතුමා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.+ 19  එයා ගොඩක් ගවයන්වයි, තර සතුන්වයි, බැටළුවන්වයි පූජා කළා. ඒ අවස්ථාවට රජතුමාගේ පුතාලා හැමෝටමයි, පූජක අබියාතර්ටයි, හමුදාපති වන යෝවාබ්ටයි+ ආරාධනා කළා. ඒත් එයා ඔබේ සේවක සලමොන්ට ආරාධනා කළේ නැහැ.+ 20  මගේ ස්වාමීන් වන රජතුමනි, ඔබට පස්සේ ඔබේ සිංහාසනයේ ඉඳගන්නේ කවුද කියලා මගේ ස්වාමීන් වන ඔබතුමා කියන කල් ඊශ්‍රායෙල් දේශයේ ඉන්න හැමෝම බලාගෙන ඉන්නවා. 21  මගේ ස්වාමීන් වන රජතුමනි, ඔබ ඒ ගැන දැන් කිව්වේ නැත්තම් ඔබත් ඔබේ මුතුන්මිත්තන් වගේ මිය ගියාම එයාලා මාවයි, මගේ පුතා සලමොන්වයි ද්‍රෝහීන් විදිහට සලකයි.” 22  බැත්ෂෙබා රජ එක්ක කතා කරකර ඉද්දී අනාගතවක්තෘ නාතන් ආවා.+ 23  එතකොටම රජගේ සේවකයෝ රජට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘ නාතන් ඇවිත් ඉන්නවා.” ඊටපස්සේ එයා රජ ඉස්සරහට ඇවිල්ලා බිමට නැමිලා ඔළුව පහත් කරලා රජට ආචාර කළා. 24  නාතන් රජගෙන් මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, රජතුමනි, ඔබ කිව්වාද ‘මගෙන් පස්සේ රජ වෙන්නේ අදොනියා. මගේ සිංහාසනයේ ඉඳගන්නේ එයායි’+ කියලා? 25  මොකද එයා අද ගවයන්, තර සතුන් සහ බැටළුවන් ගොඩක් පූජා කළා.+ ඒ අවස්ථාවට එන්න කියලා රජගේ පුතාලා හැමෝටමයි, හමුදාවේ ප්‍රධානීන්ටයි, පූජක අබියාතර්ටයි+ ආරාධනා කරලා තියෙනවා. එයාලා එහේ අදොනියා එක්ක කාලා බීලා මෙහෙම කියකිය කෑගහනවා. ‘අදොනියා රජ දිගු කල් ජීවත් වේවා!’ 26  ඒත් එයා ඔබේ සේවකයා වන මටයි, පූජක සාදොක්ටයි, යෙහෝයාදාගේ පුතා බෙනායාටයි,+ ඔබේ සේවක සලමොන්ටයි ආරාධනා කළේ නැහැ. 27  මගේ ස්වාමීන් වන රජතුමනි, ඔබෙන් පස්සේ සිංහාසනයේ ඉඳගන්නේ කවුද කියලා ඔබේ සේවකයා වන මටවත් කියන්නේ නැතුව ඔබ මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නාද?” 28  එතකොට දාවිත් රජ “බැත්ෂෙබාට එන්න කියන්න” කියලා කිව්වා. ඉතින් එයා ඇවිල්ලා රජ ඉස්සරහා හිටගත්තා. 29  එතකොට රජ මෙහෙම කිව්වා. “හැම දුක් කරදරේකින්ම මාව බේරගත්ත+ ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මම මේ පොරොන්දුව දෙනවා. 30  ‘මගෙන් පස්සේ රජ වෙන්නේ ඔයාගේ පුතා සලමොන්. මගේ සිංහාසනයේ ඉඳගන්නේ එයායි’ කියලා මං ඔයාට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වුණා. මං අද ඒක ඒ විදිහටම කරනවා.” 31  එතකොට බැත්ෂෙබා බිමට නැමිලා ඔළුව පහත් කරලා රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීන් වන දාවිත් රජ හැමදාටම ජීවත් වේවා!” 32  ඒත් එක්කම දාවිත් රජ මෙහෙම කිව්වා. “පූජක සාදොක්ටයි, අනාගතවක්තෘ නාතන්ටයි, යෙහෝයාදාගේ+ පුතා බෙනායාටයි+ එන්න කියන්න.” ඉතින් එයාලා රජ ඉස්සරහට ආවා. 33  රජ එයාලට මෙහෙම කිව්වා. “මගේ සේවකයන්ව ලෑස්ති කරගන්න. මගේ පුතා සලමොන්ව මගේ කොටළුවා* පිටේ නග්ගගෙන+ එයාලත් එක්ක ගීහොන්වලට යන්න.+ 34  එහෙදී පූජක සාදොක් සහ අනාගතවක්තෘ නාතන් සලමොන්ව ඊශ්‍රායෙල් දේශයේ රජ විදිහට අභිෂේක කරයි.+ ඊටපස්සේ හොරණෑව පිඹලා ‘සලමොන් රජ දිගු කල් ජීවත් වේවා’+ කියලා කියන්න. 35  ඊටපස්සේ එයාත් එක්ක ආපහු මෙහෙට එන්න. එයා ඇවිල්ලා මගේ සිංහාසනයේ ඉඳගනියි. මං වෙනුවට රජ වෙන්නේ එයායි. ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟගේ නායකයා විදිහට මං එයාව පත් කරනවා.” 36  එතකොටම යෙහෝයාදාගේ පුතා බෙනායා රජට මෙහෙම කිව්වා. “ආමෙන්!* මගේ ස්වාමීන් වන රජතුමනි, ඔබ කියපු දේ ඔබේ දෙවි වන යෙහෝවා ස්ථිර කරනු ලැබේවා! 37  මගේ ස්වාමීන් වන රජතුමනි, යෙහෝවා ඔබ එක්ක ඉඳලා ඔබට උදව් කළා. ඒ විදිහටම ඔහුගේ උදව් සලමොන්ටත් ලැබේවා!+ ඔහුගේ ආශීර්වාදෙන් මගේ ස්වාමීන් වන දාවිත් රජගේ සිංහාසනයට වඩා සලමොන්ගේ සිංහාසනය බලයෙන් උසස් වේවා!”+ 38  ඊටපස්සේ පූජක සාදොක්, අනාගතවක්තෘ නාතන්, යෙහෝයාදාගේ පුතා බෙනායා,+ කෙරෙතිවරු සහ පෙලෙතිවරු+ එකතු වෙලා සලමොන්ව දාවිත් රජගේ කොටළුවා පිටේ නග්ගගෙන+ ගීහොන්වලට+ ගියා. 39  පූජක සාදොක්, කූඩාරමේ*+ තිබුණ තෙල් බඳුන*+ අරගෙන ගිහින් සලමොන්ව අභිෂේක කළා.+ ඊටපස්සේ එයාලා හොරණෑව පිඹලා හයියෙන් කෑගහලා මෙහෙම කියන්න පටන්ගත්තා. “සලමොන් රජ දිගු කල් ජීවත් වේවා!” 40  ඊටපස්සේ මුළු සෙනඟම බටනළා වාදනය කරකර හරිම සතුටින් සලමොන් පස්සෙන් ඇවිදගෙන ගියා. එයාලාගේ සද්දෙට පොළොවත් දෙදරුම් කෑවා.+ 41  කෑම කාලා ඉවර වුණාට පස්සේ අදොනියාටයි, එයා ආරාධනා කරපු හැමෝටමයි ඒ සද්දේ ඇහුණා.+ යෝවාබ්ට හොරණෑවේ සද්දේ ඇහුණ ගමන්ම එයා මෙහෙම ඇහුවා. “ඇයි මේ නගරෙන් මෙච්චර ලොකු සද්දයක් ඇහෙන්නේ?” 42  එයා ඒක කියද්දීම පූජක අබියාතර්ගේ පුතා වුණ යොනාතාන්+ එතනට ආවා. එතකොට අදොනියා මෙහෙම කිව්වා. “ඇතුළට එන්න. ඔයා හොඳ මනුස්සයෙක් කියලා මං දන්නවා. ඔයා හොඳ ආරංචියක් අරගෙන වෙන්න ඇති ඇවිත් තියෙන්නේ.” 43  ඒත් යොනාතාන් අදොනියාට මෙහෙම කිව්වා. “මේක හොඳ ආරංචියක් නෙමෙයි. අපේ ස්වාමීන් වන දාවිත් රජ සලමොන්ව රජකමට පත් කළා. 44  රජතුමා සලමොන් එක්ක පූජක සාදොක්වයි, අනාගතවක්තෘ නාතන්වයි, යෙහෝයාදාගේ පුතා බෙනායාවයි, කෙරෙතිවරුන්වයි, පෙලෙතිවරුන්වයි යැව්වා. එයාලා සලමොන්ව රජගේ කොටළුවා පිටේ නග්ගගෙන ගියා.+ 45  ගීහොන්වලදී පූජක සාදොක් සහ අනාගතවක්තෘ නාතන් එයාව රජ විදිහට අභිෂේක කළා. ඊටපස්සේ හැමෝම සතුටින් කෑගගහා මුළු නගරේම දෙවනත් කළා. ඒ සද්දේ තමයි ඔයාලට ඇහුණේ. 46  දැන් රජගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නේ සලමොන්. 47  ඒ විතරක් නෙමෙයි රජගේ සේවකයන් අපේ ස්වාමීන් වන දාවිත් රජ ළඟට ගිහින් මෙහෙම සුබ පතනවා. ‘ඔබේ දෙවියන්ගේ ආශීර්වාදෙන් සලමොන්ගේ නම ඔබේ නමට වඩා ශ්‍රේෂ්ඨ වේවා! සලමොන්ගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා බලවත් වේවා!’ ඒක අහලා රජ ඇඳේ ඉඳන්ම ඔළුව පහත් කරලා දෙවියන්ට නමස්කාර කළා. 48  රජතුමත් මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මගේ සිංහාසනයේ ඉඳගන්න ඔහු අද කෙනෙක්ව පත් කළා. ඒක මගේ ඇස් දෙකෙන්ම දැකගන්න ඔහු මට ඉඩ දුන්නා.’” 49  ඒක ඇහුවාම අදොනියාගේ ආරාධනාව පිළි අරන් එතනට ඇවිත් හිටපු හැමෝම හොඳටම බය වුණා. එයාලා එක් එක් කෙනා නැඟිටලා එතනින් යන්න ගියා. 50  අදොනියාටත් සලමොන් ගැන ලොකු බයක් ඇති වුණා. ඉතින් එයා ගිහින් පූජාසනයේ අං අල්ලගෙන හිටියා.+ 51  ඊටපස්සේ සලමොන් රජට මේ ආරංචිය ලැබුණා. “අදොනියා සලමොන් රජට බයේ පූජාසනය ළඟට ගිහින් ඒකේ අං අල්ලගෙන ඉන්නවා. එයා මෙහෙම කියනවා. ‘සලමොන් රජ එයාගේ සේවකයා වන මාව කඩුවෙන් මරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වෙන කල් මං මෙතනින් යන්නේ නැහැ.’” 52  එතකොට සලමොන් රජ මෙහෙම කිව්වා. “එයා විශ්වාසවන්තව වැඩ කරනවා නම් එයාගේ එක කෙස්ගහකටවත් හානියක් වෙන්නේ නැහැ. ඒත් එයා මොනවා හරි නරක දෙයක් කළොත්+ එයාව මරලා දාන්න වෙනවා.” 53  ඉතින් සලමොන් රජ මිනිස්සුන්ව යවලා එයාව පූජාසනය ළඟින් ගෙන්නගත්තා. එයා සලමොන් රජ ඉස්සරහට ඇවිල්ලා නැමිලා ආචාර කළා. ඊටපස්සේ සලමොන් රජ එයාට මෙහෙම කිව්වා. “දැන් ඔයාගේ ගෙදරට යන්න.”

පාදසටහන්

හෝ, “එයාගේ හිත රිද්දුවේ නැහැ.”
හෝ, “කොටළුදෙන.”
හෝ, “එසේම වේවා!”
ගිවිසුම් පෙට්ටිය තියන්න ගහලා තිබුණ කූඩාරම වෙන්න පුළුවන්.
මූ.අ., “තෙල් පුරවපු අඟ.”