පළවෙනි රාජාවලිය 10:1-29

  • ෂෙබාවල රැජින සලමොන්ව හම්බ වෙන්න එයි (1-13)

  • සලමොන්ට තිබුණ වස්තුව (14-29)

10  යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් කරපු නිසා+ සලමොන්ට ලැබුණ ප්‍රසිද්ධිය ගැන ෂෙබා දේශයේ රැජිනට ආරංචි වුණා. ඉතින් ඉතා අමාරු ප්‍රශ්න* අහලා රජට කොච්චර දැනුමක් තියෙනවාද කියලා බලන්න එයා ආවා.+  එයා යෙරුසලමට ආවේ සේවකයන්ව පිරිවරාගෙන,+ රත්තරන් සහ මැණික් ගල් විශාල ප්‍රමාණයකුත් බෝල්සම් තෙලුත්+ ඔටුවන් පිටේ පටවගෙනයි. එයා සලමොන් රජ ඉස්සරහට ගිහිල්ලා එයා දැනගන්න ආසාවෙන් හිටපු හැම දෙයක්ම රජගෙන් ඇහුවා.  සලමොන් එයා අහපු හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. රජට උත්තර දෙන්න බැරි වුණ එක ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ.  ෂෙබාවල රැජින සලමොන්ට කොච්චර ප්‍රඥාවක් තියෙනවාද+ කියලත් එයා හදපු මාලිගාවත් දැක්කා.+  රජගේ මේසයේ තිබුණ කෑමත්+ කෑම ගන්න නිලධාරීන්ව වාඩි කරවන්න තිබ්බ සැලැස්මත් මේසයට කෑම ගෙනාපු සේවකයන්වත් එයාලාගේ ඇඳුමුත් බීම වර්ග පිළිගන්වපු සේවකයන්වත් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ නිතරම ඔප්පු කරපු දවන පූජාවනුත් එයා දැක්කා. ඒවා දැක්කාම එයාට අදහාගන්න බැරුව ගියා.  ඉතින් එයා රජට මෙහෙම කිව්වා. “ඔබ කරපු දේවල්* ගැනයි, ඔබේ ප්‍රඥාව ගැනයි මගේ රටේදී මට ආරංචි වුණ හැම දෙයක්ම ඇත්ත.  ඒත් ඔබව හම්බ වෙන්න ඇවිත් ඒ දේවල් මගේම ඇස් දෙකෙන් දකින කල් මං ඒවා විශ්වාස කළේ නැහැ. මට අහන්න ලැබුණාට වඩා ගොඩක් දේවල් ඔබට තියෙනවා. ඇත්තටම ඒ දේවල්වලින් භාගයක් ගැනවත් මට අහන්න ලැබිලා නැහැ. ඔබට තියෙන ප්‍රඥාව ගැන මට හිතාගන්න බැහැ.  ඔබ කියන ප්‍රඥාවන්ත දේවල් ගැන නිතරම අහන්න ලැබෙන ඔබේ සෙනඟයි, ඔබ ළඟ ඉඳන් වැඩ කරන ඔබේ සේවකයනුයි මොන තරම් ආශීර්වාද ලබපු අයද!+  ඔබ ගැන සතුටු වෙලා ඔබව ඊශ්‍රායෙල්වරුන්ගේ රජ විදිහට පත් කරපු ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ඊශ්‍රායෙල් සෙනඟ ගැන යෙහෝවා දෙවියන්ට තියෙන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරයක්. ඒ නිසයි ඔහු ධර්මිෂ්ඨව, සාධාරණව ඔහුගේ සෙනඟව විනිශ්චය කරන්න රජ විදිහට ඔබව පත් කළේ.” 10  ඊටපස්සේ රැජින සලමොන්ට රත්තරන් තලෙන්ත* 120ක්, මැණික්+ සහ බෝල්සම් තෙල්+ විශාල ප්‍රමාණයක් දුන්නා. එදා ෂෙබාවල රැජින සලමොන් රජට දුන්න බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් ඊටපස්සේ කිසිම දවසක එයාට හම්බ වුණේ නැහැ. 11  ඕෆීර්වල+ ඉඳන් රත්තරන් ගෙනාපු හීරාම්ට අයිති නැව් සමූහය එහෙන් හඳුන් ලී+ ඉතා විශාල ප්‍රමාණයකුයි, මැණික් ගලුයි+ ගෙනාවා. 12  සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ ආධාරක හදන්න ඒ හඳුන් ලී පාවිච්චි කළා. ඒ වගේම ගායකයන්ට අවශ්‍ය වීණා සහ වෙනත් සංගීත භාණ්ඩ හදන්නත් ඒ ලී පාවිච්චි කළා.+ අද වෙන කල් ඒ වගේ හඳුන් ලී ප්‍රමාණයක් ගෙනාවෙවත් දකින්න ලැබුණෙවත් නැහැ. 13  සලමොන් රජ එයාට තිබුණ දේවල්වලින් ෂෙබාවල රැජිනට කැමැත්තෙන්ම දුන්න දේවල්වලට අමතරව රැජින ඉල්ලපු, ආස කරපු හැම දෙයක්මත් එයාට දුන්නා. ඊටපස්සේ රැජින එයාගේ සේවකයනුත් එක්ක ආපහු එයාගේ රටට යන්න පිටත් වුණා.+ 14  සලමොන් රජට අවුරුද්දකට තලෙන්ත 666ක* බර ප්‍රමාණයක් තියෙන රත්තරන් ලැබුණා.+ 15  එයාට ඒ රත්තරන් ප්‍රමාණය හම්බ වුණේ සංචාරක වෙළෙන්දන්ගෙන්, ව්‍යාපාරවල ලාභයෙන්, අරාබිවරුන්ගේ රජවරු හැමෝගෙන්ම සහ දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ලැබුණ ආදායමට අමතරවයි. 16  සලමොන් රජ මිශ්‍ර කරපු රත්තරන්වලින් විශාල පලිස් 200ක් හැදුවා.+ (ඒ එක පලිහක් හදන්න රත්තරන් ෂෙකෙල්* 600ක් පාවිච්චි කළා.)+ 17  එයා මිශ්‍ර කරපු රත්තරන්වලින් කුඩා පලිස්* 300කුත් හැදුවා. (ඒ එක පලිහක් හදන්න මීනා* තුනක රත්තරන් පාවිච්චි කළා.) ඊටපස්සේ එයා ඒවා ලෙබනොන් වනාන්තරය කියලා හඳුන්වපු ශාලාවේ තිබ්බා.+ 18  රජ ඇත්දළවලින් විශාල සිංහාසනයක්+ හදලා ඒක පිරිසිදු රත්තරන්වලින් ආවරණය කළා.+ 19  සිංහාසනයට නඟින්න පඩි හයකුත් සිංහාසනය පිටිපස්සේ වක්‍රාකාර උඩු වියනකුත් හදලා තිබුණා. සිංහාසනය දෙපැත්තේ හයි කරලා තිබුණ අත්ඇඳි ළඟම සිංහ රූප දෙකක්+ හිටවලා තිබුණා. 20  පඩි හය දෙපැත්තේම එක පැත්තකට හය ගාණේ තවත් සිංහ රූප 12ක් හිටවලා තිබුණා. වෙන කිසිම රාජ්‍යයක ඒ වගේ සිංහාසනයක් තිබුණේ නැහැ. 21  සලමොන් රජගේ කුසලාන හැම එකක්ම හදලා තිබුණේ රත්තරන්වලින්. ලෙබනොන් වනාන්තරය කියලා හඳුන්වපු ශාලාවේ+ තිබුණ භාජන හැම එකක්මත් හදලා තිබුණේ පිරිසිදු රත්තරන්වලින්. රිදීවලින් හදපු කිසිම දෙයක් තිබුණේ නැහැ. මොකද සලමොන් රජගේ කාලේ රිදී එච්චර වටින දෙයක් විදිහට සැලකුවේ නැහැ.+ 22  සලමොන්ට අයිති තර්ෂිෂ්+ කියලා හඳුන්වපු නැව් සමූහය හීරාම්ගේ නැව් සමූහයත් එක්ක මුහුදේ යාත්‍රා කළා. ඒ නැව්වලින් අවුරුදු තුනකට සැරයක් රත්තරන්, රිදී, ඇත්දළ,+ වඳුරන්* සහ මොනරුන් අරගෙන ආවා. 23  සලමොන් රජට පොළොවේ හිටපු අනිත් හැම රජ කෙනෙක්ටම වඩා ධනය+ සහ ප්‍රඥාව+ තිබුණා. එයා හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණා. 24  දෙවියන් සලමොන්ට ප්‍රඥාව ලබා දීලා තිබුණ නිසා එයාට ඇහුම්කන් දෙන්න පොළොවේ හැම තැනින්ම මිනිස්සු ආවා.+ 25  එයාලා හැම කෙනෙක්ම තෑගි විදිහට රිදී සහ රත්තරන් භාණ්ඩ, ඇඳුම්, යුධායුධ, බෝල්සම් තෙල්, අශ්වයන් සහ කොටළුවන් ගෙනාවා. ඒක හැම අවුරුද්දකම වුණා. 26  සලමොන් රජ අශ්ව රථ වගේම අශ්වයනුත්* තව තවත් එකතු කරගත්තා. එයාට අශ්ව රථ 1,400කුයි, අශ්වයන්* 12,000කුයි+ හිටියා. රජ ඒ රථ සහ අශ්වයන් තිබ්බේ ඒ වෙනුවෙන්ම වෙන් කරපු නගරවල. ඒ නගර තිබුණේ රජ හිටපු යෙරුසලමට කිට්ටුවෙන්.+ 27  රජ විශාල රිදී ප්‍රමාණයක් යෙරුසලමට ගෙන්නගත්ත නිසා ගල් වගේ හැම තැනම රිදී තිබුණා. එයා එකතු කරපු දේවදාර ලී ප්‍රමාණය කොච්චරද කියනවා නම් ඒවා හරියට ෂෙපේලා+ ප්‍රදේශයේ තිබුණ සිකමෝර් ගස් තරම් විශාල ප්‍රමාණයක් වුණා. 28  සලමොන් රජ අශ්වයන්ව ගෙන්නගත්තේ ඊජිප්තුවෙන්. කතා කරගත්ත ගාණකට රජගේ වෙළෙන්දෝ ගිහින් අශ්වයන් රංචු පිටින් මිල දීලා ගත්තා.*+ 29  ඊජිප්තුවෙන් ගෙන්නගත්ත අශ්ව රථයක ගාණ රිදී ෂෙකෙල් 600යි. අශ්වයෙක්ගේ ගාණ රිදී ෂෙකෙල් 150යි. එහෙම ගෙන්නගත්ත අශ්වයන්ව එයාලා හිත්තීවරුන්ගේ+ රජවරු හැමෝටමත් සිරියාවේ රජවරුන්ටත් විකුණුවා.

පාදසටහන්

හෝ, “ප්‍රහේලිකා.”
හෝ, “ඔබ කියපු දේවල්.”
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
ඒ කියන්නේ ටොන් 23ක් විතර.
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.
දුනුවායන් පාවිච්චි කරපු එකක්.
හෙබ්‍රෙව් ලියවිල්ලේ කතා කරන මීනා එකක බර ග්‍රෑම් 570ක්. උප. B14 බලන්න.
හෝ, “වලිගය නැති වානර විශේෂයක්.”
හෝ, “අසරුවනුත්.”
හෝ, “අසරුවන්.”
හෝ සමහරවිට, “සලමොන් රජ අශ්වයන්ව ගෙන්නගත්තේ ඊජිප්තුවෙන් සහ කියුවලින්; රජගේ වෙළෙන්දන් කියුවලින් උන්ව මිල දීලා ගත්තා.” කියු කියන්නේ සිලීසියාව වෙන්න පුළුවන්.