පළවෙනි රාජාවලිය 12:1-33

  • රෙහබෝවම් නපුරු විදිහට උත්තර දෙයි (1-15)

  • ගෝත්‍ර දහය කැරලිගහයි (16-19)

  • යෙරොබොවම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (20)

  • ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න එපා කියලා රෙහබෝවම්ට කියයි (21-24)

  • යෙරොබොවම් වසු නමස්කාරය පටන්ගනියි (25-33)

12  රෙහබෝවම්ව රජකමට පත් කරන්න+ ඊශ්‍රායෙල්වරු හැමෝම ෂීකෙම්වලට+ ආවා. ඒ නිසා රෙහබෝවම් එහෙට ගියා.  ඒ ගැන නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්ට ආරංචි වුණා. (ඒ වෙද්දීත් යෙරොබොවම් හිටියේ ඊජිප්තුවේ. මොකද එයා සලමොන් රජගෙන් පැනලා ගිහිල්ලා ඊජිප්තුවේ තමයි ජීවත් වුණේ.)+  සෙනඟ යෙරොබොවම්ට පණිවිඩයක් යවලා එයාව ගෙන්නගත්තා. ඊටපස්සේ යෙරොබොවම් ඊශ්‍රායෙල් සෙනඟත් එක්ක රෙහබෝවම් රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා.  “ඔබේ තාත්තා අපිට දරාගන්න බැරි තරම් බරක්* පැටෙව්වා.+ ඒත් ඔබ ඔබේ තාත්තා වගේ අපෙන් ගොඩක් වැඩ ගන්නේ නැතුව අපේ බර සැහැල්ලු කළොත් අපි ඔබට සේවය කරනවා.”  එතකොට රෙහබෝවම් රජ එයාලට මෙහෙම කිව්වා. “ගිහින් දවස් තුනකින් එන්න.” ඉතින් සෙනඟ එතනින් පිටත් වෙලා ගියා.+  රෙහබෝවම් රජ එයාගේ තාත්තා වුණ සලමොන් ළඟ උපදේශකයන් විදිහට සේවය කරපු වැඩිමහල්ලන්ගෙන්* මෙහෙම ඇහුවා. “ඔයාලා මොකද හිතන්නේ? මං මොනවාද මේ සෙනඟට කියන්න ඕනේ?”  එයාලා මෙහෙම උත්තර දුන්නා. “ඔබ මේ සෙනඟගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා එයාලා සතුටු වෙන උත්තරයක් දුන්නොත් ඔබ එයාලා වෙනුවෙන් සේවය කරන්න කැමතියි කියලා සෙනඟට තේරෙයි. එතකොට එයාලත් හැමදාම ඔබට සේවය කරයි.”  ඒත් එයා වැඩිමහල්ලන් දුන්න උපදෙස පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට එයා පොඩි කාලේ ඉඳලා ආශ්‍රය කරපු, දැන් එයාගේ සේවකයන් විදිහට ඉන්න තරුණ අයගෙන් උපදෙස් ගත්තා.+  රජ එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලා මොනවාද මේ ගැන හිතන්නේ? ‘ඔබේ තාත්තා අපිට පටවපු බර සැහැල්ලු කරන්න’ කියලා මගෙන් ඉල්ලපු සෙනඟට අපි මොනවාද කියන්නේ?” 10  එයා පොඩි කාලේ ඉඳලා ආශ්‍රය කරපු ඒ තරුණයෝ රජට මෙහෙම කිව්වා. “‘ඔබේ තාත්තා අපිට දරාගන්න බැරි තරම් බරක් පැටෙව්වා. ඒත් ඔබ ඒ බර සැහැල්ලු කරන්න ඕනෙ’ කියලා කියපු අයට මෙහෙම කියන්න. ‘මං තාත්තාට වඩා ගොඩක් තදින් ඔයාලා එක්ක වැඩ කරනවා.* 11  මගේ තාත්තා දරාගන්න බැරි බරක් ඔයාලට පැටෙව්වා තමයි. හැබැයි මං ඊටත් වඩා ලොකු බරක් ඔයාලට පටවනවා. තාත්තා ඔයාලාගෙන් වැඩ ගත්තේ කසවලින් ගහලා. මං ගහන්නේ කටු අමුණපු කසවලින්.’”* 12  “දවස් තුනකින් එන්න” කියලා රජ කියපු නිසා යෙරොබොවම් සෙනඟත් එක්ක තුන්වෙනි දවසේ රෙහබෝවම් රජව හම්බ වෙන්න ආවා.+ 13  එතකොට රජ වැඩිමහල්ලන් දීපු උපදෙස ගණන් ගන්නේ නැතුව සෙනඟට තදින් කතා කළා. 14  තරුණයන් උපදෙස් දුන්න විදිහට එයා සෙනඟට මෙහෙම කිව්වා. “මගේ තාත්තා දරාගන්න බැරි බරක් ඔයාලට පැටෙව්වා තමයි. හැබැයි මං ඊටත් වඩා ලොකු බරක් ඔයාලට පටවනවා. තාත්තා ඔයාලාගෙන් වැඩ ගත්තේ කසවලින් ගහලා. මං ඔයාලට ගහන්නේ කටු අමුණපු කසවලින්.” 15  රජ සෙනඟගේ ඉල්ලීමට එකඟ වුණේ නැහැ. ඇත්තටම ඒ වගේ දෙයක් වුණේ යෙහෝවා දෙවියන් එහෙම වෙන්න සැලැස්සුව නිසයි.+ යෙහෝවා එහෙම කළේ ෂීලෝවලින් ආපු අහියා+ මාර්ගයෙන් නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්ට ඔහු කියපු දේ ඉටු කරන්නයි. 16  රජ එයාලාගේ ඉල්ලීම ඉටු කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල් සෙනඟට* තේරුණාම එයාලා රජට මෙහෙම කිව්වා. “අපිට දාවිත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. යෙස්සේගේ පුතාගෙන් අපිට ඇති වැඩේ මොකක්ද? එයාලාගේ උරුමය එයාලම තියාගත්තදෙන්! ඊශ්‍රායෙල්වරුනි, දැන් ඔයාලා ඔයාලාගේ දෙවිවරු ළඟට යන්න. දාවිත් එයාගේ පෙළපත බලාගත්තදෙන්!” එහෙම කියලා ඊශ්‍රායෙල් සෙනඟ එයාලාගේ ගෙවල්වලට ගියා.+ 17  ඒත් රෙහබෝවම් යූදා දේශයට අයිති නගරවල හිටපු ඊශ්‍රායෙල්වරුන්ව දිගටම පාලනය කළා.+ 18  දවසක් රෙහබෝවම් රජ, සේවයට බඳවගත්ත අයගේ වැඩ බලන්න පත් කරලා හිටපු අදොරාම්ව+ ඊශ්‍රායෙල් සෙනඟ ළඟට යැව්වා. එයාලා හැමෝම එකතු වෙලා අදොරාම්ට ගල් ගහලා එයාව මැරුවා. ඒත් රෙහබෝවම් රජ කොහොමහරි එයාගේ අශ්ව රථයට නැඟගෙන යෙරුසලමට පැනලා ගියා.+ 19  ඊශ්‍රායෙල්වරු අද වෙන කල් දාවිත්ගේ පෙළපතට විරුද්ධව වැඩ කරනවා.+ 20  යෙරොබොවම් ආපහු ඇවිල්ලා කියලා ඊශ්‍රායෙල් සෙනඟට ආරංචි වුණ ගමන්ම එයාලා එක් රැස් වෙලා එයාට එතනට එන්න කිව්වා. ඊටපස්සේ එයාලා යෙරොබොවම්ව ඊශ්‍රායෙල් සෙනඟගේ රජ විදිහට පත් කළා.+ දාවිත්ගේ පෙළපතට පක්ෂව හිටියේ යූදා ගෝත්‍රය විතරයි.+ 21  රෙහබෝවම් යෙරුසලමට ආපු ගමන්ම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න යූදා ගෝත්‍රයෙන් සහ බෙන්ජමින් ගෝත්‍රයෙන් යුද්දෙට දක්ෂ සෙබළුන් එක්ලක්ෂ අසූදාහක් එක් රැස් කළා. සලමොන්ගේ පුතා වුණ රෙහබෝවම් එහෙම කළේ ආයෙත් මුළු රාජ්‍යයම තමන් යටතට ගන්න අරමුණින්.+ 22  ඒ වෙලාවේ සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වුණ ෂෙමායාට+ සැබෑ දෙවියන් කතා කරලා මෙහෙම කිව්වා. 23  “යූදාවල රජ වන සලමොන්ගේ පුතා රෙහබෝවම්ටයි, යූදා ගෝත්‍රයේ හැමෝටමයි, බෙන්ජමින් ගෝත්‍රයටයි, අනිත් සෙනඟටයි මේ දේ කියන්න. 24  ‘යෙහෝවා මෙහෙම කියනවා. “මේ හැම දෙයක්ම වෙන්න සැලැස්සුවේ මමයි.+ ඒ නිසා ඔයාලාගේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න යන්න එපා. දැන් ඔයාලා ඔයාලාගේ ගෙවල්වලට යන්න.”’” ඉතින් එයාලා යෙහෝවා කියපු දේ ඇහුවා. ඊටපස්සේ යෙහෝවා දෙවියන් කියපු විදිහටම එයාලා ආපහු ගෙවල්වලට හැරිලා ගියා. 25  යෙරොබොවම් එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ තිබුණ ෂීකෙම්+ නගරය වැඩි දියුණු කරලා* එහේ පදිංචි වුණා. එයා එහෙන් පෙනුයෙල්වලට+ ගිහින් ඒ නගරයත් වැඩි දියුණු කළා. 26  පස්සේ යෙරොබොවම්ට මෙහෙම හිතුණා. “මුළු රාජ්‍යයම ආපහු දාවිත්ගේ පෙළපතට යයිද දන්නේ නැහැ.+ 27  මේ සෙනඟ පූජා ඔප්පු කරන්න දිගටම යෙරුසලමේ තියෙන යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගියොත්+ එයාලාගේ හිත ආපහු යූදාවල රෙහබෝවම් රජට ඇදිලා යන්න පුළුවන්. එහෙම වුණොත් එයාලා මාව මරලා එයාලාගේ ස්වාමියා වන රෙහබෝවම් රජට සේවය කරයි.” 28  රජ ඒ ගැන උපදේශකයන් එක්ක කතා කළාට පස්සේ රන් වස්සන් දෙන්නෙක්ව හදලා+ සෙනඟට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, හැම තිස්සේම යෙරුසලමට යන එක ඔයාලට අමාරුයි. මේ ඉන්නේ ඔයාලව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+ 29  ඊටපස්සේ එයා එක රූපයක් බෙතෙල්වලත්+ අනිත් රූපය දාන්වලත්+ තිබ්බා. 30  ඒක නිසා සෙනඟ බරපතළ වරදක් කරන්න පෙලඹුණා.+ මිනිස්සු වස්සාට නමස්කාර කරන්න දාන් වෙන කල් ගියා. 31  එයා උස් තැන්වල දේවාල හැදුවා. ඒ දේවාලවල සේවය කරන්න එයා ලෙවී ගෝත්‍රයට අයිති නැති සාමාන්‍ය මිනිස්සු අතරින් පූජකයන්වත් පත් කළා.+ 32  යූදා දේශයේ පවත්වන උත්සවයට සමාන උත්සවයක් අටවෙනි මාසේ 15වෙනිදාට+ පවත්වන්න යෙරොබොවම් ලෑස්ති කළා. බෙතෙල්වල+ එයා හදපු පූජාසනය උඩ එයා වහු රූපවලට පූජා ඔප්පු කළා. එයා හදපු උස් තැන්වල සේවය කරන්න එයා බෙතෙල්වලදී පූජකයන්වත් පත් කළා. 33  බෙතෙල්වල එයා හදපු පූජාසනය උඩ එයා පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. එයා ඒක කළේ අටවෙනි මාසේ 15වෙනිදා. එයාගේ කැමැත්තට අනුව එයාම තෝරගත්ත මාසෙක එයා ඊශ්‍රායෙල්වරුන්ට උත්සවයක් හඳුන්වලා දුන්නා. එයා පූජාසනය ළඟට ගිහිල්ලා දුම ඉහළට නඟින විදිහට ඒක උඩ පූජා ඔප්පු කළා.

පාදසටහන්

මූ.අ., “දරාගන්න බැරි වියගහක්.”
හෝ, “වයසින් වැඩි උපදේශකයන්ගෙන්.”
මූ.අ., “මගේ තාත්තාගේ තුනටියට වඩා මගේ පොඩි ඇඟිල්ල මහතයි.”
කසයට අමුණපු කටු නිසා ඒක ගෝනුස්සෙක්ගේ වලිගයට සමාන කරලා තිබුණා.
පේන විදිහට මෙතන කතා කරන්නේ උතුරේ තිබුණ ඊශ්‍රායෙල් ගෝත්‍ර දහය ගැනයි.
හෝ, “ආරක්ෂාව වැඩි කරලා.”