පළවෙනි රාජාවලිය 15:1-34

  • අබියාම් යූදාවල රජ වෙයි (1-8)

  • ආසා යූදාවල රජ වෙයි (9-24)

  • නාදාබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (25-32)

  • බාෂා ඊශ්‍රායෙල්වල රජ වෙයි (33, 34)

15  නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් රජකම් කරපු 18වෙනි අවුරුද්දේ+ අබියාම් යූදාවල රජ වුණා.+  එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු තුනක් රජකම් කළා. එයාගේ අම්මාගේ නම මයකා.+ මයකා කියන්නේ අබිෂාලොම්ගේ මිනිපිරිය.  අබියාම් එයාගේ තාත්තා කරපු වැරදි හැම එකක්ම කළා. එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් මුළු හදවතින්ම දෙවියන්ට ළැදි වෙලා හිටපු විදිහට අබියාම් එයාගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම ළැදි වුණේ නැහැ.*  ඒත් දෙවියන් දාවිත්ව+ අමතක කළේ නැහැ. ඒ නිසා ඔහු අබියාම්ගේ පුතාව රජ විදිහට පත් කළා. ඔහු යෙරුසලමත් ආරක්ෂා කළා. ඒ විදිහට අබියාම්ගේ දෙවි වන යෙහෝවා අබියාම්ගෙන් පැවතෙන කෙනෙක්ට යෙරුසලමේ ඉඳන් දිගටම පාලනය කරන්න අවස්ථාව දුන්නා.*+  මොකද දාවිත් යෙහෝවා හරියි කියලා සලකන දේ කළා. හිත්තීවරයෙක් වුණ උරියාට සම්බන්ධ ප්‍රශ්නේදී ඇරෙන්න+ දාවිත් එයාගේ ජීවිත කාලේ පුරාම දෙවියන් අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම කළා.  රෙහබෝවම්ගේ ජීවිත කාලේ පුරාම එයා සහ යෙරොබොවම් අතර නිතරම ගැටුම් තිබුණා.+  අබියාම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ අබියාම් සහ යෙරොබොවම් අතරෙත් යුද්ධ ඇති වුණා.+  ඊටපස්සේ අබියාම් රජ මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ ආසා+ රජකමට පත් වුණා.+  ඊශ්‍රායෙල්වල රජ වුණ යෙරොබොවම් පාලනය කරපු 20වෙනි අවුරුද්දේදී ආසා යූදාවල රජකමට පත් වුණා. 10  එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 41ක් රජකම් කළා. එයාගේ ආච්චිගේ නම මයකා.+ මයකා අබිෂාලොම්ගේ මිනිපිරිය. 11  ආසා එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් වගේ යෙහෝවා හරියි කියලා සලකන දේවල් කළා.+ 12  දේවාලවල හිටපු පිරිමි ගණිකාවන්ව එයා දේශයෙන් එළවලා දැම්මා.+ එයාගේ මුතුන්මිත්තන් හදලා තිබුණ පිළිකුල් රූප* හැම එකක්මත් එයා අයින් කළා.+ 13  එයාගේ ආච්චි වුණ මයකා,+ නමස්කාර කරන්න තිබුණ කණුව* ළඟ තියන්න පිළිකුල් රූපයක් හැදුවා. ඒ නිසා ආසා මව් රැජින විදිහට එයාට තිබුණ තනතුරෙන් ආච්චිව අයින් කළා. ඊටපස්සේ ආසා ඒ පිළිකුල් රූපය කෑලිවලට කඩලා+ ඒක කිද්‍රොන් නිම්නයේදී පුච්චලා දැම්මා.+ 14  ඒත් නමස්කාරයට හදපු උස් තැන් ඒ විදිහටම තිබුණා.+ ඒ වුණත් ආසා එයාගේ ජීවිත කාලේ පුරාම මුළු හදවතින්ම යෙහෝවාට ළැදි වෙලා හිටියා.* 15  ආසා එයායි, එයාගේ තාත්තායි දෙවියන්ට කැප කරපු* රිදී, රත්තරන් සහ වෙනත් භාණ්ඩ යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනාවා.+ 16  ආසා සහ ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා+ අතරේ දිගටම ගැටුම් තිබුණා. 17  ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා යූදාවලට විරුද්ධව ඇවිත් රාමාවල+ ආරක්ෂාව වැඩි කළා.* එයා එහෙම කළේ යූදාවල රජ වුණ ආසාගේ+ දේශයට කාටවත් ඇතුල් වෙන්නවත් පිට වෙන්නවත් බැරි වෙන්නයි. 18  එතකොට ආසා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩාගාරවල සහ රජමාලිගාවේ භාණ්ඩාගාරවල ඉතුරු වෙලා තිබුණ රිදී සහ රත්තරන් ඔක්කොම අරගෙන ඒවා එයාගේ සේවකයන්ට දුන්නා. ඊටපස්සේ ආසා එයාලව දමස්කයේ හිටපු සිරියාවේ රජ+ වුණ බෙන්හාදද් ළඟට යැව්වා. බෙන්හාදද් කියන්නේ හෙෂියොන්ගේ පුතා වුණ තබ්රිම්මොන්ගේ පුතා. ආසා එයාට මේ පණිවිඩය යැව්වා. 19  “අපි දෙන්නා අතරෙත් මගේ තාත්තායි, ඔබේ තාත්තායි අතරෙත් ගිවිසුමක් තියෙනවා. මං ඔබට තෑග්ගක් විදිහට රිදී සහ රත්තරනුත් එවනවා. දැන් මම ඔබෙන් ඉල්ලන්නේ ඊශ්‍රායෙල්වල රජ වන බාෂා එක්ක ඔබ ඇති කරගත්ත ගිවිසුම අහෝසි කරන්න කියලයි. එතකොට එයා මගේ දේශයෙන් අයින් වෙලා යයි.” 20  බෙන්හාදද් ආසා රජ කියපු දේ අහලා එයාගේ හමුදාවල ප්‍රධානීන්ව ඊශ්‍රායෙල්වල තිබුණ නගරවලට විරුද්ධව යැව්වා. එයාලා ඊයොන්,+ දාන්+ සහ ආබෙල්බෙත්මයකාවලට වගේම මුළු කින්නෙරෙත් ප්‍රදේශයටත් මුළු නෆ්තලී ප්‍රදේශයටත් පහර දුන්නා. 21  ඒ ගැන බාෂාට ආරංචි වුණ ගමන්ම එයා රාමාවල කරපු ඉදි කිරීම්* වැඩ නවත්තලා තිර්ෂාවලට+ ගිහින් එහේ හිටියා. 22  ඊටපස්සේ ආසා රජ යූදාවල හිටපු හැමෝවම රැස් කළා. එයාලා රාමාවලට ගිහින් බාෂා එහේ ඉදි කිරීම් කරන්න පාවිච්චි කරපු ගලුයි, ලීයි එහෙන් අරගෙන ආවා. ආසා රජ ඒවා පාවිච්චි කරලා බෙන්ජමින් දේශයේ තිබුණ ගෙබාවල+ සහ මිෂ්පාවල+ ඉදි කිරීම් වැඩ කරලා ඒ නගරවල ආරක්ෂාව වැඩි කළා.* 23  ආසාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් එයා කරපු වෙනත් දේවල් ගැනත් එයා ගොඩනඟපු* නගර ගැනත් යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. මහලු වයසේදී ආසාට කකුල්වල රෝගයක් හැදුණා.+ 24  ඊටපස්සේ ආසා මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ එයාගේ මුතුන්මිත්තෙක් වුණ දාවිත්ගේ නුවරේ. ආසාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝෂපාට්+ රජ වුණා. 25  යූදාවල රජ වුණ ආසා රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ යෙරොබොවම්ගේ පුතා වුණ නාදාබ්+ ඊශ්‍රායෙල්වල රජ වුණා. එයා අවුරුදු දෙකක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළා. 26  නාදාබ් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. එයා එයාගේ තාත්තාගේ අඩිපාරේ ගිහින්+ තාත්තාගේ බලපෑම නිසා ඊශ්‍රායෙල්වරු කරපු වරදම එයාත් කළා.+ 27  ඒ කාලේදී ඉසකාර් ගෝත්‍රයට අයිති අහියාගේ පුතා වුණ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයක් කළා. නාදාබ් ඊශ්‍රායෙල්වරු හැමෝමත් එක්ක ගිහින් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වැටලුවා. බාෂා ගිබ්බෙතොන්වලදී+ නාදාබ්ව මරලා දැම්මා. 28  බාෂා එයාව මැරුවේ යූදාවල රජ වුණ ආසා පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේ. ඊටපස්සේ බාෂා නාදාබ් වෙනුවට රජ වුණා. 29  බාෂා රජ වුණ ගමන්ම එයා යෙරොබොවම්ගේ පවුලට අයිති හැමෝවම මරලා දැම්මා. යෙරොබොවම්ගේ පවුලේ කාටවත් එයා බේරෙන්න ඉඩ දුන්නේ නැහැ. යෙහෝවා දෙවියන් ෂීලෝවල+ හිටපු ඔහුගේ සේවකයා වුණ අහියා මාර්ගයෙන් කියපු විදිහටම බාෂා යෙරොබොවම්ගේ පවුලේ අයව නැත්තටම නැති කරලා දැම්මා. 30  එහෙම වුණේ යෙරොබොවම් කරපු වරද නිසයි. ඒ වගේම එයා ඒ වරදම කරන්න ඊශ්‍රායෙල්වරුන්වත් පෙලඹුවා. ඒ විදිහට එයා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව ගොඩක් කේන්ති ගැස්සුවා. 31  නාදාබ්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 32  ආසා සහ ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා අතරේ නිතරම ගැටුම් තිබුණා.+ 33  යූදාවල රජ වුණ ආසා පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේදී අහියාගේ පුතා වුණ බාෂා ඊශ්‍රායෙල් දේශයේ රජ විදිහට පත් වුණා. එයා අවුරුදු 24ක් පුරා තිර්ෂාවල ඉඳන් පාලනය කළා.+ 34  එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ යෙරොබොවම්ගේ අඩිපාරේ ගිහින් යෙරොබොවම්ගේ බලපෑම නිසා ඊශ්‍රායෙල්වරු කරපු වරදම එයාත් කළා.+

පාදසටහන්

හෝ, “සම්පූර්ණ භක්තියක් පෙන්නුවේ නැහැ.”
මූ.අ., “අබියාම්ට පහනක් දුන්නා.”
හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.
හෝ, “සම්පූර්ණ භක්තියක් පෙන්නුවා.”
මූ.අ., “ශුද්ධයි කියලා වෙන් කරපු.”
හෝ, “වැඩි දියුණු කළා; ආයෙත් ඉදි කළා.”
හෝ, “ආරක්ෂාව වැඩි කරන්න කරපු වැඩ; අලුතින් කරපු වැඩ.”
හෝ, “ආයෙත් ඉදි කළා.”
හෝ, “ආරක්ෂාව වැඩි කරපු; ආයෙත් ඉදි කරපු.”