පළවෙනි රාජාවලිය 20:1-43

  • සිරියානුවන් ආහබ්ට විරුද්ධව සටන් කරයි (1-12)

  • ආහබ් සිරියානුවන්ව පරද්දයි (13-34)

  • ආහබ්ට විරුද්ධව කියපු අනාවැකිය (35-43)

20  සිරියාවේ+ රජ වුණ බෙන්හාදද්+ එයාගේ මුළු හමුදාවයි, තව රජවරු 32දෙනෙක්වයි, එයාලාගේ හමුදාවනුයි, අශ්වයනුයි, අශ්ව රථයි එකතු කරගෙන සමාරියට+ ගිහින් ඒක වැටලුවා.+ ඊටපස්සේ ඒකට විරුද්ධව සටන් කළා.  එයා නගරයේ හිටපු ඊශ්‍රායෙල්වල රජ වුණ ආහබ්+ ළඟට පණිවිඩකරුවන් යවලා මෙහෙම දැන්නුවා. “බෙන්හාදද්ගේ පණිවිඩේ මේකයි.  ‘ඔබට අයිති රත්තරන්, රිදී මට දෙන්න. ඔබට ඉන්න ලස්සනම භාර්යාවන්වයි, කඩවසම්ම පුතාලවයි මට දෙන්න ඕනේ.’”  එතකොට ඊශ්‍රායෙල්වල රජ මෙහෙම කියලා යැව්වා. “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, ඔබ කැමති දෙයක් කරන්න. මම ඔබට යටත් වෙනවා. මට තියෙන හැම දෙයක්මත් ඔබට ගන්න පුළුවන්.”+  පණිවිඩකරුවන් ආයෙත් ඇවිල්ලා මෙහෙම දැන්නුවා. “බෙන්හාදද්ගේ පණිවිඩේ මේකයි. ‘“ඔබට අයිති රත්තරන්, රිදී මට දෙන්න. ඔබට ඉන්න භාර්යාවන්වයි, පුතාලවයි මට දෙන්න” කියලා මම කලින් ඔබට දැන්නුවා.  ඒත් හෙට මේ වෙලාව වෙද්දී මං මගේ සේවකයන්ව එවනවා. එයාලා ඔබේ මාලිගාවටයි, ඔබේ සේවකයන්ගේ ගෙවල්වලටයි ගිහිල්ලා හැම තැනක්ම හොඳට සෝදිසි කරලා බලලා වටිනවා කියලා ඔබ සලකන හැම දෙයක්ම ගන්නවා.’”  ඒක ඇහුවාට පස්සේ ඊශ්‍රායෙල්වල රජ දේශයේ හිටපු වැඩිමහල්ලන් හැමෝටම එන්න කියලා මෙහෙම කිව්වා. “එයා මගේ භාර්යාවන්වයි, පුතාලවයි, මට අයිති රත්තරනුයි, රිදීයි ඉල්ලුවා. මම ඒවා එයාට දෙන්න බැහැ කියලා කිව්වාද? බලන්නකෝ මේ මනුස්සයාට ඕනෙ අපිව විනාශ කරලාම දාන්නයි.”  එතකොට වැඩිමහල්ලන් හැමෝමයි, මුළු සෙනඟයි රජට මෙහෙම කිව්වා. “එයාට යටත් වෙන්න එපා. එයා කියන දේවලට එකඟ වෙන්නත් එපා.”  ඉතින් රජ බෙන්හාදද්ගේ පණිවිඩකරුවන්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මෙහෙම කියන්න. ‘ඔබේ සේවකයා වන මගෙන් ඔබ මුලින් ඉල්ලපු හැම දෙයක්ම දෙන්න මම එකඟ වෙනවා. ඒත් ඔබ දැන් ඉල්ලන දේට එකඟ වෙන්න මට බැහැ.’” පණිවිඩකරුවන් එතනින් ගිහින් ඒක එයාට දැනුම් දුන්නා. 10  එතකොට බෙන්හාදද් ආහබ්ට මේ පණිවිඩය එව්වා. “මගේ හමුදාවේ ඉන්න අයට සමාරියෙන් වැලි අහුරක්වත් ගන්න බැරි වෙන විදිහට මං සමාරිය නැත්තටම නැති කරනවා. මං එහෙම කළේ නැත්තං මගේ දෙවිවරුන් මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ.” 11  ඊශ්‍රායෙල්වල රජ මෙහෙම කිව්වා. “‘යුද්දේ පටන්ගන්නත් කලින් යුද්දෙන් දිනුවා වගේ මහ ලොකුවට කතා කරන්න එපා’ කියලා ගිහින් එයාට කියන්න.”+ 12  ඒ පණිවිඩය ලැබෙද්දී බෙන්හාදද් සහ අනිත් රජවරු එයාලාගේ කූඩාරම්වල හොඳට මත්පැන් බිබී හිටියේ. ඒක අහපු ගමන්ම බෙන්හාදද් එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “පහර දෙන්න ලෑස්ති වෙන්න.” ඉතින් එයාලා ඒ නගරයට පහර දෙන්න ලෑස්ති වුණා. 13  ඒත් අනාගතවක්තෘවරයෙක් ඊශ්‍රායෙල්වල රජ වුණ ආහබ්+ ළඟට ඇවිත් මේ දේ කිව්වා. “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘ඔයාට මේ ලොකු හමුදාව පේනවාද? එයාලව පරාජය කරන්න අද මං ඔයාට උදව් කරනවා. එතකොට යෙහෝවා කියන්නේ කවුද කියලා ඔයා තේරුම්ගනියි.’”+ 14  එතකොට ආහබ් “ඒක කරන්න පාවිච්චි කරන්නේ කාවද” කියලා ඇහුවා. අනාගතවක්තෘවරයා මෙහෙම කිව්වා. “‘පළාත්වල ඉන්න ආණ්ඩුකාරයන්ගේ* සේවකයන්ව තමයි ඒකට පාවිච්චි කරන්නේ’ කියලා යෙහෝවා කියනවා.” එතකොට ආහබ් “කවුද යුද්දේ පටන්ගන්න ඕනෙ” කියලා ඇහුවා. “ඔයා තමයි” කියලා එයා උත්තර දුන්නා. 15  ඊටපස්සේ ආහබ් පළාත්වල ඉන්න ආණ්ඩුකාරයන්ට සේවකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරලා බැලුවා. සේවකයන් 232දෙනෙක් එයාලට හිටියා. ඊශ්‍රායෙල් සෙබළු කීදෙනෙක් ඉන්නවාද කියලත් එයා බැලුවා. සෙබළු 7,000ක් හිටියා. 16  එයාලා මහ දවල් යුද්දෙට පිටත් වෙලා ගියා. ඒ වෙලාවේ බෙන්හාදද් සහ එයාගේ උදව්වට ආපු රජවරු 32දෙනා කූඩාරම්වලට වෙලා මත්පැන් බිබී හිටියා. එයාලා හොඳටම වෙරි වෙලයි හිටියේ. 17  පළාත්වල ඉන්න ආණ්ඩුකාරයන්ගේ සේවකයන් ඉස්සරහින්ම එනවා දැක්කාම බෙන්හාදද් වෙන්නේ මොකක්ද කියලා බලන්න කීපදෙනෙක්ව යැව්වා. ඒ අය ආපහු ඇවිත් “ඒ එන්නේ සමාරියේ ඉන්න මිනිස්සු” කියලා එයාට කිව්වා. 18  එතකොට බෙන්හාදද් “එයාලා සමාදාන වෙන්න ආවත් යුද්ධ කරන්න ආවත් මට කමක් නෑ. එයාලව පණපිටින් අල්ලගෙන එන්න” කියලා කිව්වා. 19  ආණ්ඩුකාරයන්ගේ සේවකයනුයි, එයාලට පිටිපස්සෙන් ආපු හමුදාවයි නගරයෙන් එළියට ඇවිත් 20  එයාලාගේ සතුරන්ට පහර දෙන්න පටන්ගත්තා. එතකොට සිරියානුවන් පැනලා දිව්වා.+ ඊශ්‍රායෙල්වරු එයාලා පස්සේ එළවගෙන ගියා. ඒත් සිරියාවේ රජ වුණ බෙන්හාදද් අශ්වයෙක්ගේ පිටේ නැඟලා තවත් අසරුවන් කීපදෙනෙක් එක්ක එතනින් පැනගත්තා. 21  ඒත් ඊශ්‍රායෙල්වල රජ අශ්වයන්ටයි, අශ්ව රථවලටයි දිගටම පහර දීලා සිරියානුවන්ව අන්ත පරාජයට පත් කළා. 22  අනාගතවක්තෘවරයා+ ආයෙත් සැරයක් ඊශ්‍රායෙල්වල රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මුලදී සිරියාවේ රජ ආයෙත් ඔබට විරුද්ධව එනවා.+ ඉතින් දැන් ඔබේ හමුදාව ශක්තිමත් කරගෙන ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා හොඳට හිතලා බලන්න.”+ 23  සිරියාවේ රජගේ උපදේශකයන් එයාට මෙහෙම කිව්වා. “එයාලාගේ දෙවියන් කඳුවලට අධිපති දෙවි කෙනෙක්. ඒකයි අපිව පරද්දන්න එයාලට පුළුවන් වුණේ. ඒත් අපි තැනිතලාවක එයාලා එක්ක සටන් කළොත් අපිට දිනන්න පුළුවන්. 24  මේ දේත් කරන්න. රජවරුන් වෙනුවට+ හමුදාවේ පෙරමුණ ගන්න ආණ්ඩුකාරයන්ව පත් කරන්න. 25  ඔබට නැති වුණ හමුදාව තරම්ම ලොකු හමුදාවක් ආයෙත් එකතු කරගන්න. කලින් තරම්ම අශ්වයනුයි, අශ්ව රථයි එකතු කරගන්න. අපි තැනිතලාවකට ගිහින් එයාලා එක්ක සටන් කරමු. එතකොට අපිට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්.” රජ එයාලා දීපු උපදෙස් පිළි අරන් ඒ විදිහටම කළා. 26  ඊළඟ අවුරුද්ද මුලදී* බෙන්හාදද් සිරියානු හමුදාව රැස් කරගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න අපෙක්+ නගරයට ගියා. 27  ඊශ්‍රායෙල් හමුදාවේ අයවත් යුද්දෙට සූදානම් කළා. එයාලට අවශ්‍ය දේවලුත් ලෑස්ති කරලා තිබුණා. ඊටපස්සේ එයාලා සටන් කරන්න පිටත් වෙලා ගියා. ඊශ්‍රායෙල් හමුදාව සතුරු හමුදාව ඉස්සරහා කඳවුරු බැඳගත්තාම එයාලව පෙනුණේ හරියට පොඩි එළු රැළවල් දෙකක් වගේ. සිරියානු හමුදාවෙන් මුළු තැනිතලාවම වැහිලා තිබුණා.+ 28  එතකොට සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවෙක් ඊශ්‍රායෙල්වල රජ ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “යෙහෝවා මේ දේ කියනවා. ‘සිරියානුවන් හිතාගෙන ඉන්නේ “යෙහෝවා කඳුවලට අධිපති දෙවි කෙනෙක් මිසක් තැනිතලාවලට අධිපති දෙවි කෙනෙක් නෙමෙයි” කියලා. ඒ නිසා මේ විශාල හමුදාවම පරාජය කරන්න මම ඔයාට උදව් කරනවා.+ එතකොට යෙහෝවා කියන්නේ කවුද කියලා ඔයා අනිවාර්යයෙන්ම තේරුම්ගනියි.’”+ 29  හමුදා දෙකම දවස් හතක් යන කල් මුහුණට මුහුණ කඳවුරු බැඳගෙන හිටියා. හත්වෙනි දවසේදී එයාලා සටන් කරන්න පටන්ගත්තා. ඊශ්‍රායෙල් හමුදාව සිරියානු පාබළ හමුදාවේ සෙබළුන් ලක්ෂයක් එක දවසින් මරලා දැම්මා. 30  ඉතුරු සෙබළු අපෙක්+ නගරයට පැනලා ගියා. ඒත් නගරයේ පවුර කඩාගෙන වැටිලා සෙබළු 27,000ක් ඒකට යට වෙලා මැරුණා. බෙන්හාදද් රජත් ඒ නගරයට ඇවිත් එහේ තිබුණ ගේක ඇතුළෙම කාමරේක හැංගිලයි හිටියේ. 31  එයාගේ සේවකයෝ එයාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වල රජවරු හරිම කරුණාවන්ත* අය කියලා අපි අහලා තියෙනවා. ඉතින් අපිට අවසර දෙන්න ගෝණි රෙදි ඉණ වටේ බැඳගෙන, ඔළුවේ ලණු දාගෙන ඊශ්‍රායෙල්වල රජව හම්බ වෙන්න යන්න. අපි එහෙම කළොත් සමහරවිට එයා ඔබේ ජීවිතේට අනතුරක් කරන එකක් නැහැ.”+ 32  ඊටපස්සේ එයාලා ගෝණි රෙදි ඉණ වටේ බැඳගෙන, ඔළුවේ ලණු දාගෙන ඊශ්‍රායෙල්වල රජ ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “ඔබේ සේවක බෙන්හාදද් ‘අනේ, මාව මරන්න එපා’ කියලා ඔබෙන් ඉල්ලනවා.” එතකොට රජ “එයා තාම ජීවත් වෙනවාද? එයා මට සහෝදරයෙක් වගේ” කියලා කිව්වා. 33  රජ කියපු දේ විශ්වාස කරපු එයාලා ඒක හොඳ ලකුණක් විදිහට සැලකුවා. ඉතින් එයාලා මෙහෙම කිව්වා. “ඇත්තටම බෙන්හාදද් ඔබට සහෝදරයෙක් වගේ තමයි.” එතකොට රජ එයාලට කිව්වා “එයාව එක්කගෙන එන්න” කියලා. බෙන්හාදද් ආහබ් රජ ළඟට ගියාම රජ එයාව අශ්ව රථයට නග්ගගත්තා. 34  ඊටපස්සේ බෙන්හාදද් ආහබ්ට මෙහෙම කිව්වා. “මගේ තාත්තා ඔබේ තාත්තාගෙන් අල්ලගත්ත නගර මම ආපහු ඔබට දෙන්නම්. මගේ තාත්තා සමාරියේ කඩසාප්පු දාගත්ත* විදිහටම ඔබටත් පුළුවන් දමස්කයට ඇවිත් කඩසාප්පු දාගන්න.” එතකොට ආහබ් “මේ කොන්දේසිය උඩ* මම ඔබව නිදහස් කරලා යවනවා” කියලා කිව්වා. ඒ විදිහට ආහබ් එයාත් එක්ක එකඟතාවකට ඇවිත් එයාව නිදහස් කරලා යැව්වා. 35  අනාගතවක්තෘවරුන්ගේ පුතාලාගෙන්* කෙනෙක්ට+ යෙහෝවාගෙන් අණක් ලැබුණා. ඒ අණට අනුව එයාත් එක්ක හිටපු කෙනෙක්ට එයා මෙහෙම කිව්වා. “අනේ, මට ගහන්න.” ඒත් ඒ කෙනා එහෙම කරන්න කැමති වුණේ නැහැ. 36  ඉතින් එයා ඒ කෙනාට මෙහෙම කිව්වා. “ඔයා යෙහෝවාගේ අණට කීකරු වුණේ නැති නිසා ඔයා මෙතනින් ගිය ගමන්ම සිංහයෙක් ඇවිත් ඔයාව මරලා දායි.” ඒ කෙනා එතනින් පිටත් වෙලා යද්දී සිංහයෙක් කඩා පැනලා එයාව මරලා දැම්මා. 37  පස්සේ එයා තව කෙනෙක් ළඟට ගිහින් “අනේ, මට ගහන්න” කියලා කිව්වා. ඉතින් ඒ කෙනා ගහලා එයාට තුවාල කළා. 38  ඊටපස්සේ ඒ අනාගතවක්තෘවරයා එයාව අඳුරගන්න බැරි වෙන්න රෙදි පටියකින් එයාගේ ඇස් දෙක බැඳගෙන රජ එන කල් පාරට වෙලා බලාගෙන හිටියා. 39  රජ එයාව පහු කරගෙන යද්දී එයා කෑගහලා මෙහෙම කිව්වා. “ඔබේ සේවකයා වන මම යුද්දෙට ගියා. සටන දරුණුවටම යද්දී එක මනුස්සයෙක් යුද පිටියේ ඉඳන් තවත් මනුස්සයෙක්ව අරගෙන මං ළඟට ඇවිත් මෙහෙම කිව්වා. ‘මෙයාව බලාගන්න. මෙයා පැනලා ගිහින් තිබ්බොත් ඔයාට ඔයාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි.+ නැත්නම් වන්දියක් හැටියට රිදී තලෙන්තයක්* ගෙවන්න වෙයි.’ 40  ඒත් ඔබේ සේවකයාට එක එක වැඩ තිබුණ නිසා එහෙට මෙහෙට යන්න වුණා. පස්සේ බලද්දී ඒ මනුස්සයා එතන හිටියේ නැහැ.” එතකොට ඊශ්‍රායෙල්වල රජ එයාට මෙහෙම කිව්වා. “ඔයාට ලැබෙන්න ඕනෙ දඬුවම ඔයාම කිව්වා.” 41  ඒක ඇහුණ ගමන්ම ඇස් දෙකේ බැඳගෙන හිටපු රෙදි පටිය එයා ගැලෙව්වා. එතකොට එයා අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් කියලා ඊශ්‍රායෙල්වල රජ අඳුරගත්තා.+ 42  එයා රජට මෙහෙම කිව්වා. “යෙහෝවා මෙහෙම කියනවා. ‘මම විනාශ කරන්න කියලා කියපු කෙනාට නිදහස් වෙලා යන්න ඔයා ඉඩ දුන්නා.+ ඒ නිසා එයා වෙනුවට ඔයාට මැරෙන්න සිද්ධ වෙනවා.+ එයාගේ සෙනඟ වෙනුවට ඔයාගේ සෙනඟ මැරෙනවා.’”+ 43  ඒක අහලා ඊශ්‍රායෙල්වල රජ මූණ එල්ලගෙන, හරිම කලකිරීමෙන් සමාරියේ+ තිබුණ එයාගේ මාලිගාවට ගියා.

පාදසටහන්

ඒ කියන්නේ විවිධ පළාත් පාලනය කරපු අධිපතීන්ගේ.
ඒ කියන්නේ වසන්ත කාලේ.
හෝ, “නොසැලෙන ආදරයක් තියෙන.”
හෝ, “මංමාවත් අයිති කරගත්ත.”
හෝ, “ගිවිසුමට අනුව.”
මේ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ අනාගතවක්තෘවරුන්ගෙන් උපදෙස් ලබපු කට්ටියක්ව නැත්නම් අනාගතවක්තෘවරුන් එක්ක සේවය කරපු කට්ටියක්ව විස්තර කරන්නයි.
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප B14 බලන්න.