පළවෙනි රාජාවලිය 7:1-51

  • සලමොන්ගේ මාලිගා සංකීර්ණය (1-12)

  • දක්ෂ කර්මාන්තකරුවෙක් වුණ හීරාම් සලමොන්ට උදව් කරයි (13-47)

    • තඹ කුලුනු දෙක (15-22)

    • වාත්තු කරලා හදපු විශාල භාජනය (23-26)

    • කරත්ත දහය සහ තඹ භාජන (27-39)

  • රත්තරන්වලින් හදන බඩු හදලා ඉවර කළා (48-51)

7  සලමොන් රජට එයාගේ මාලිගාව සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න අවුරුදු 13ක් ගත වුණා.+  එයා ලෙබනොන් වනාන්තරය කියලා හඳුන්වපු ශාලාවත්+ ගොඩනැඟුවා. ඒකේ දිග රියන්* 100යි. පළල රියන් 50යි. උස රියන් 30යි. දේවදාර කණු පේළි හතරක් උඩින් දේවදාර ලී බාල්ක+ දාලා ඒක උඩ තමයි ඒ ශාලාව හදලා තිබුණේ.  කණු පේළි මත හරහට පරාල දාලා ඒවා දේවදාර ලෑලිවලින් සම්පූර්ණයෙන් වහලා තිබුණා. පේළියකට 15 ගාණේ ඒවා* 45ක් තිබුණා.  ගොඩනැඟිල්ල වටේටම රාමු කරපු ජනෙල් පේළි තුනක් තිබුණා. ඒ ජනෙල් පේළි හදලා තිබුණේ එකකට එකක් උඩින් තියෙන විදිහට. ඒ හැම ජනේලයක් ඉස්සරහම අනිත් පැත්තේ තව ජනේලයක් තිබුණා.  උළුවහු ඇතුළුව ඇතුල් වෙන හැම තැනක්ම හතරැස් හැඩයට* හදලා තිබුණා. ඒ වගේම එකකට එකක් උඩින් තියෙන විදිහට හදලා තිබුණ ජනෙල් පේළි තුනයි, ඒවා ඉස්සරහා අනිත් පැත්තේ තිබුණ ජනෙල් පේළි තුනයි හදලා තිබුණෙත් හතරැස් හැඩයට.  එයා කුලුනු ශාලාවත්* හැදුවා. ඒකේ දිග රියන් 50යි. පළල රියන් 30යි. ඒකටම අල්ලලා කුලුනු තියෙන තව පොඩි ශාලාවකුත් ඇතුල් වෙන තැන හැදුවා. ඒකටත් වහලයක් තිබුණා.  සෙනඟව විනිශ්චය කරන්න එයා සිංහාසන ශාලාවත්*+ හැදුවා. ඒකට විනිශ්චය ශාලාව+ කියලත් කියනවා. ඒකේ බිම ඉඳන් පරාල වෙන කල් දේවදාර ලීවලින් ආවරණය කරලා තිබුණා.  සිංහාසන ශාලාවට ටිකක් දුරින් තිබුණ අනිත් මළුවේ+ රජගේ මාලිගාව හැදුවා. රජගේ මාලිගාව හදලා තිබුණෙත් සිංහාසන ශාලාව හදලා තිබුණ විදිහටමයි. සලමොන් ඒ ශාලාව වගේ තවත් මාලිගාවක් එයා විවාහ කරගත්ත පාරාවෝගේ දුව+ වෙනුවෙනුත් හැදුවා.  ඒ ගොඩනැඟිලි හැම එකක්ම හැදුවේ හරිම වටින ගල්වලින්.+ ඒ ගල්වල ඇතුල් පැත්තයි, පිට පැත්තයි කියත්වලින් ගාණට කපලා තිබුණා. ගොඩනැඟිලිවල අත්තිවාරමේ ඉඳලා බිත්තිවල උඩම ගල් පේළිය වෙන කල් හදලා තිබුණේ ඒ වගේ ගල්වලින්. මහ මළුව*+ වෙන කල් ඉදි කරපු හැම දෙයක්ම හැදුවේ ඒ වගේ ගල් පාවිච්චි කරලයි. 10  අත්තිවාරම දාන්න පාවිච්චි කළේ හරිම ලොකු, ගොඩක් වටින ගල්. සමහර ගල් රියන් දහයක් ලොකුයි. තවත් සමහර ඒවා රියන් අටක් ලොකුයි. 11  ඒ ගල්වලට උඩින් ගාණට කපාගත්ත තවත් වටින ගල් සහ දේවදාර ලී අල්ලලා තිබුණා. 12  මහ මළුව වටේ තාප්පයක් තිබුණා. ඒක හදලා තිබුණේ කපපු ගල් පේළි තුනක් සහ දේවදාර ලී තට්ටුවක් පාවිච්චි කරලයි. ඒක යෙහෝවා දෙවියන්ගේ ගෘහය වටේ තිබුණ ඇතුල් මළුවේ+ තාප්පය සහ ගෘහයට* ඇතුල් වෙන ශාලාව+ වටේ තිබුණ තාප්පය හදපු විදිහටයි හදලා තිබුණේ. 13  සලමොන් රජ පණිවිඩයක් යවලා තීර්වල පදිංචි වෙලා හිටපු හීරාම්ව+ ගෙන්නගත්තා. 14  එයාගේ අම්මා නෆ්තලී ගෝත්‍රයට අයිති කෙනෙක්ගේ වැන්දඹුවක්. තඹ කර්මාන්තය කරපු+ එයාගේ තාත්තා තීර්වල කෙනෙක්. හීරාම් හරිම දක්ෂ කර්මාන්තකරුවෙක්. තඹ* කර්මාන්තය ගැන එයාට හොඳ දැනුමක්+ සහ අද්දැකීම් තිබුණා. ඉතින් එයා සලමොන් රජ ළඟට ඇවිල්ලා එයාට භාර දීපු හැම වැඩක්ම කළා. 15  එයා රියන් 18ක් උස තඹ කුලුනු දෙකක්+ හැදුවා. ඒ එක එක කුලුනේ වටප්‍රමාණය මැන්නාම ඒක රියන් 12ක් වුණා.+ 16  ඒ කුලුනු මුදුනේ තියන්න වැඩ දාපු කොටස් දෙකක් තඹවලින් හැදුවා. ඒක හැදුවේ අච්චුවකට දාලා. ඒ එක කොටසක උස රියන් පහයි. අනිත් කොටසේ උසත් ඒ ගාණමයි. 17  කුලුනු මුදුනේ තිබ්බ ඒ කොටසේ දැලක් තිබුණා. ඒ දැල දම්වැල්වලින් සරසලයි තිබුණේ.+ එකකට දම්වැල් හත ගාණේ තිබුණා. 18  ඒ කොටස් දෙක සරසපු දැල්වල එල්ලන්න එයා දෙළුම් ගෙඩි හදලා එක දැලකට දෙළුම් ගෙඩි පේළි දෙකක් ඇල්ලුවා. ඒ විදිහටම අනිත් දැලෙත් ඇල්ලුවා. 19  ඇතුල් වෙන ශාලාව ළඟ තිබුණ කුලුනු මුදුනේ තිබ්බ කොටස් හදලා තිබුණේ ලිලී මලක හැඩයට. ලිලී මලක හැඩයට තිබුණ කොටසේ උස රියන් හතරයි. 20  ඒ කොටස තිබුණේ කුලුනු දෙක මුදුනේ දැල්වලින් සරසපු බඳ කොටසට උඩින්. ඒ වැඩ දාපු කොටස වටේ දෙළුම් ගෙඩි 200ක් පේළි දෙකකට එල්ලලා තිබුණා.+ 21  එයා ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තිබුණ ශාලාව ඉස්සරහින් ඒ කුලුනු තිබ්බා.+ එයා දකුණු පැත්තේ තිබුණ කුලුනට යාකින්* කියන නම දැම්මා. වම් පැත්තේ තිබුණ කුලුනට බෝවස්* කියන නම දැම්මා.+ 22  ඒ කුලුනු මුදුනේ ලිලී මලක පෙති කැටයම් කරලා තිබුණා. ඒ විදිහට කුලුනුවල වැඩ ඉවර කළා. 23  එයා මුහුද* කියලා හඳුන්වපු විශාල භාජනය වාත්තු කරලා හැදුවා.+ ඒක රවුම් හැඩයට හදලා තිබුණා. ඒ භාජනයේ කටේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට දිග රියන් 10යි. ඒකේ උස රියන් 5යි. වටප්‍රමාණය රියන් 30යි.+ 24  ඒකේ කටට යටින් භාජනය වටේට කොමඩුවල හැඩේට ගෙඩි+ පේළි දෙකක් කැටයම් කරලා තිබුණා. ඒ ගෙඩි පේළි කැටයම් කරලා තිබුණේ එක රියනකට ගෙඩි දහයක් තියෙන විදිහට. 25  ඒ භාජනය තියලා තිබුණේ ගොනුන්ගේ රූප 12ක් උඩ.+ ඒ ගොනුන්ගෙන් 3දෙනෙක් උතුරටත් 3දෙනෙක් බස්නාහිරටත් 3දෙනෙක් දකුණටත් 3දෙනෙක් නැඟෙනහිරටත් මුහුණ ලා තියෙන විදිහට හදලා තිබුණා. උන්ගේ පිටිපස්ස ඇතුළට හිටින විදිහට උන්ව තියලා ඒ භාජනය උන්ගේ පිට උඩ තියලා තිබුණා. 26  ඒකේ ගනකම අල්ලක්* තරම් වුණා. කෝප්පයක හැඩේ තිබුණ ඒකේ කට හදලා තිබුණේ පිපුණු ලිලී මලක් වගේ. ඒකට වතුර බාත් මිනුම්* 2,000ක් දාලා තිබුණා. 27  ඊටපස්සේ එයා තඹ කරත්ත* දහයක් හැදුවා.+ ඒ හැම එකක්ම රියන් හතරක් දිග, රියන් හතරක් පළල, රියන් තුනක් උස ඒවා වුණා. 28  ඒ කරත්ත හදලා තිබුණේ මේ විදිහටයි. ඒකේ පැති රාමුවලට බෙදලා තිබුණා. ඒ රාමු ඇතුළේ පැතලි තහඩු ගහලා තිබුණා. 29  ඒ පැතලි තහඩුවල සිංහයන්වයි,+ ගොනුන්වයි, කෙරුබ්වරුන්වයි+ කැටයම් කරලා තිබුණා. රාමුවලත් ඒ කැටයම්ම තිබුණා. කැටයම් කරපු සිංහයන් සහ ගොනුන්ට ඉහළිනුයි, පහළිනුයි මල් මාලාත් කැටයම් කරලා තිබුණා. 30  හැම කරත්තයකටම තඹ රෝද හතරක් තිබුණා. ඒ රෝද සම්බන්ධ කරලා තිබුණේ තඹ පොලුවලින්. රෝද සහ ඒවා සම්බන්ධ කරපු පොලුවලට ආධාරක විදිහට තව පොලු හතරක් කොන් හතරේ උඩ අතට හයි කරලා තිබුණා. ඒවා උඩ තමයි භාජනය රඳවලා තිබුණේ. භාජනය තියලා තිබුණ ඒ ආධාරක දෙපැත්තේ මල් මාලා කැටයම් කරලා තිබුණා. 31  ආධාරකයේ උඩ කොටස රවුම් හැඩයකට තමයි හදලා තිබුණේ. භාජනයේ කට ආධාරකයේ උඩ කොටසේ හිටින විදිහට ඒක ඇතුළට බස්සලා තිබුණා. භාජනයේ පතුලේ ඉඳලා ආධාරකයේ දාරයක් වෙන කල් රියනක් තිබුණා. ආධාරකයේ භාජනය රඳවලා තිබුණ කොටසේ උස රියන් එකහමාරයි. ආධාරකය උඩ කොටස වටේට කැටයම් තිබුණා. ආධාරකය වටේ ගහලා තිබුණ තහඩු රවුම් ඒවා නෙමෙයි හතරැස් ඒවා. 32  පැතලි තහඩු ගහලා තිබුණ කරත්තයේ පැති හතරට පහළින් තමයි රෝද හතර තිබුණේ. රෝද රඳවලා තියන්න පාවිච්චි කරපු ඇණ කරත්තයට හයි කරලා තිබුණා. එක රෝදයක උස රියන් එකහමාරයි. 33  ඒ රෝද හදලා තිබුණේ අශ්ව කරත්තයක රෝද වගේ. රෝද,* රෝද රඳවලා තියන්න පාවිච්චි කරපු ඇණ, රෝද මැද තිබුණ බොස්ගෙඩිය, බොස්ගෙඩියේ ඉඳන් වටේට තිබුණ ගරාදි හදලා තිබුණේ වාත්තු කරලයි. 34  හැම කරත්තයකම කොන් හතරේ ආධාරක හතරක් තිබුණා. ඒ ආධාරක හතරම කරත්තයට සම්බන්ධ කරලා තිබුණා.* 35  කරත්තේ උඩ තිබුණ ආධාරකයේ ඉහළම කොටසේ උස රියන් භාගයයි. ඒක හදලා තිබුණේ රවුම් හැඩයට. ඒකයි, ඒ වටේට ගහලා තිබුණ රාමුයි, තහඩුයි කරත්තයටම සම්බන්ධ කරලා වාත්තු කරලා තිබුණා.* 36  ඒ රාමුවලයි, තහඩුවලයි තිබුණ ඉඩ ප්‍රමාණය අනුව කෙරුබ්වරුන්ගේ, සිංහයන්ගේ, තාල වර්ගයේ ගස්වල රූප වගේම මල් මාලාත් කැටයම් කරලා තිබුණා.+ 37  ඒ විදිහට තමයි එයා කරත්ත දහයම හැදුවේ.+ ඒ හැම එකක්ම එකම විදිහට වාත්තු කරලා හදලා තිබුණා.+ ඒවා හදලා තිබුණේ එකම ප්‍රමාණයට සහ එකම හැඩයට. 38  එයා තඹ භාජන දහයක් හැදුවා.+ ඒ හැම භාජනයකටම වතුර බාත් මිනුම් 40ක් දාන්න පුළුවන්. ඒ හැම භාජනයකම කටේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට දිග* රියන් හතරයි. කරත්ත දහයටම එක භාජනය ගාණේ තිබුණා. 39  එයා කරත්ත පහක් ගෘහයේ දකුණු පැත්තෙයි, අනිත් කරත්ත පහ ගෘහයේ වම් පැත්තෙයි තිබ්බා. මුහුද කියලා හඳුන්වපු විශාල භාජනය තිබ්බේ ගෘහයේ දකුණු පැත්තේ ගිනිකොන දිශාවට වෙන්න.+ 40  බේසම්, සවල්+ සහ බඳුනුත්+ හීරාම්+ හැදුවා. යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් සලමොන් රජ එයාට හදන්න කියලා කියපු හැම දෙයක්ම එයා හැදුවා.+ එයා හැදුව දේවල් තමයි මේ: 41  කුලුනු දෙකයි,+ ඒවා මුදුනේ තියන්න වැඩ දාපු ගෝලාකාර කොටස් දෙකයි, ගෝලාකාර කොටස් දෙක සරසන්න දැල් දෙකයි,+ 42  දැල් දෙකේ එල්ලන්න දෙළුම් ගෙඩි 400කුයි+ හැදුවා. එක දැලකට දෙළුම් ගෙඩි පේළි දෙකක් අල්ලලා තිබුණා. කුලුනු දෙක මුදුනේ තිබුණ ගෝලාකාර කොටස් සරසන්න තමයි ඒවා හැදුවේ. 43  කරත්ත දහයයි,+ ඒ කරත්ත උඩ තියන්න භාජන දහයයි,+ 44  මුහුද+ කියලා හඳුන්වපු විශාල භාජනයයි, ඒ භාජනය රඳවලා තියන්න ගොනුන් 12දෙනායි හැදුවා. 45  අළු දාන්න භාජන, සවල්, බඳුන් සහ අවශ්‍ය අනිත් උපකරණත් හැදුවා. සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදන්න කියපු හැම දෙයක්ම හීරාම් තඹවලින් හදලා ඒවා හොඳට ඔප දැම්මා. 46  රජ ඒවා හදන්න කියලා අණ කළේ මැටි අච්චුවල දාලා. යොර්දාන් දිස්ත්‍රික්කයේ සුක්කොත් සහ ෂාරෙතාන් අතර ප්‍රදේශයේ තමයි ඒවා හැදුවේ. 47  උපකරණ ගොඩක් තිබුණ නිසා සලමොන් රජ ඒවා කිරලා බලන්න උත්සාහ කළේ නැහැ. මොකද කිරලා ඉවර කරන්න බැරි තරම් තඹ ප්‍රමාණයක් ඒවාට පාවිච්චි කරලා තිබුණා.+ 48  යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අවශ්‍ය කරන හැම දෙයක්ම සලමොන් හැදුවා. එයා හදපු දේවල් තමයි මේ: රත්තරන්වලින් හදපු පූජාසනය,+ දෙවියන්ට පූජා කරන රොටි තියන රත්තරන් මේසය+ සහ 49  පිරිසිදු රත්තරන්වලින් හදපු පහන් රුක්.+ ඒවායින් පහක් අතිශුද්ධස්ථානය ළඟ දකුණු පැත්තෙත් අනිත් පහ වම් පැත්තෙත් තියලා තිබුණා. මල්,+ පහන් සහ පහන් තිර අල්ලන අඬු රත්තරන්වලින්+ හැදුවා. 50  පිරිසිදු රත්තරන්වලින් බේසම්, පහන් තිර නිවලා දාන උපකරණ,+ බඳුන්, කුසලාන+ සහ ගිනි අඟුරු දාන භාජන+ හැදුවා. අතිශුද්ධස්ථානයේ දොර පියන්වලට+ සහ ශුද්ධස්ථානයේ දොර පියන්වලට+ රත්තරන්වලින් සරනේරු හැදුවා. 51  ඒ විදිහට සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් කරන්න තිබුණ හැම දෙයක්ම කරලා ඉවර කළා. ඊටපස්සේ සලමොන් එයාගේ තාත්තා වුණ දාවිත් කැප කරපු දේවල්+ වගේම රත්තරන්, රිදී සහ වටින අනිත් හැම දෙයක්ම ගෙනල්ලා යෙහෝවාගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තිබ්බා.+

පාදසටහන්

රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5). උප. B14 බලන්න.
මෙතන කතා කරන්නේ හරහට දාපු පරාල ගැන වෙන්න පුළුවන්.
හෝ, “ඍජුකෝණාස්‍රයක හැඩයට.”
හෝ, “ඉස්තෝප්පුවත්.”
හෝ, “ඉස්තෝප්පුවත්.”
හෝ, “පිටත මළුව.”
හෝ සමහරවිට, “මාලිගාවට.”
හෝ, “ලෝකඩ.” මෙතන සහ මේ පරිච්ඡේදයේ තඹ ගැන කතා කරන තැන්වලට ඒක අදාළයි.
තේරුම “ශක්තිමත්” වෙන්න පුළුවන්.
තේරුම, “ඔහු [ඒ කියන්නේ යෙහෝවා] ස්ථිරව පිහිටුවනු ලැබේවා!”
හෝ, “ජලාශය.”
බාත් මිනුමක් කියන්නේ ලීටර් 22ක්. උප. B14 බලන්න.
සෙ.මී. 7.4ක් (අඟල් 2.9ක්) විතර. උප. B14 බලන්න.
හෝ, “වතුර කරත්ත.”
ඒ කියන්නේ රිම් එක.
හෝ, “කරත්තේම කොටසක් විදිහට තිබුණා.”
හෝ, “කරත්තේම කොටසක් විදිහට තිබුණා.”
හෝ, “විෂ්කම්භය.”