පළවෙනි ලේකම් 13:1-14

  • ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම් ඉඳලා අරන් එයි (1-14)

    • උස්සාහ්ව මරලා දායි (9, 10)

13  දාවිත් දාහේ සහ සීයේ කණ්ඩායම්වල ප්‍රධානීන්ගෙනුත් අනිත් හැම නායකයෙක්ගෙනුත්+ අදහස් ගන්න එයාලා එක්ක සාකච්ඡාවක් කළා.  ඊටපස්සේ දාවිත් රැස් වෙලා හිටපු ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වා. “අපිත් එක්ක දැන් මෙතන නැති මුළු ඊශ්‍රායෙල් දේශයේම ඉන්න අපේ සහෝදරයන්ටයි, තම තමන්ගේ නගරවල*+ ඉන්න පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි පණිවිඩයක් යවලා එයාලව මෙහෙට ගෙන්නගමුද? ඔයාලා ඒකට කැමතියි නම් අපේ දෙවි යෙහෝවාත් ඒකට කැමතියි නම් අපි ඒ කට්ටියට මෙහෙට එන්න කියමු.  අපි එකතු වෙලා අපේ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය මෙහෙට අරගෙන එමු.”+ දාවිත් එහෙම කිව්වේ සාවුල්ගේ කාලේදී මිනිස්සු ඒකට කිසිම ගෞරවයක් දීලා තිබුණේ නැති නිසයි.+  එහෙම කරන එක හොඳයි කියලා හිතුණ නිසා රැස් වෙලා හිටපු හැමෝම දාවිත්ගේ අදහසට එකඟ වුණා.  ඉතින් දාවිත් කිර්යත්යෙයාරීම්වල+ තිබුණ සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් එන්න ඊජිප්තු ගඟේ* ඉඳන් ලේබෝහමාත්*+ වෙන කල් ජීවත් වුණ ඊශ්‍රායෙල්වරු හැමෝවම රැස් කළා.  ඊටපස්සේ දාවිත් මුළු ඊශ්‍රායෙල් සෙනඟ එක්ක යූදා ගෝත්‍රයට අයිති බායලාවලට+ ඒ කියන්නේ කිර්යත්යෙයාරීම්වලට ගියා. එයාලා එහෙට ගියේ කෙරුබ්වරුන්ට+ ඉහළින්* ඉඳගෙන ඉන්න සැබෑ දෙවි වන යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එහෙන් අරන් එන්නයි. සාමාන්‍යයෙන් මිනිස්සු දෙවියන්ගේ නමින් අයැදින්නේ ගිවිසුම් පෙට්ටිය ළඟට ගිහිල්ලයි.  ඒත් එයාලා අබිනාදාබ්ගේ ගෙදර තිබුණ සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් ආවේ අලුත් කරත්තයක තියාගෙන.+ කරත්තය දක්කගෙන ආවේ උස්සාහ් සහ අහියෝ.+  දාවිත් රජයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟයි හොරණෑ,+ රබන්,+ අත්තාළම්,+ වීණා සහ කුඩා වීණා වාදනය කරකර ගීතිකා කියකිය ලොකු උද්‍යෝගයකින් සැබෑ දෙවියන් ඉස්සරහා සතුටු වුණා.  එයාලා කීදොන් කියන කමත ළඟට ආවාම කරත්තය ඇදගෙන ආපු හරක් කුලප්පු වුණා. උස්සාහ් ඒක දැක්කාම ගිවිසුම් පෙට්ටිය කරත්තයෙන් වැටෙයි කියලා හිතලා ඒක අල්ලගත්තා. 10  ඒ වෙලාවේ යෙහෝවාට උස්සාහ් එක්ක හුඟක් කේන්ති ගියා. උස්සාහ් ගිවිසුම් පෙට්ටිය අල්ලපු නිසා දෙවියන් එයාට පහර දුන්නා.+ ඉතින් එයා දෙවියන් ඉස්සරහා මැරිලා වැටුණා.+ 11  යෙහෝවාට කේන්ති ගිහින් උස්සාහ්ට ඒ වෙලාවෙම පහර දුන්න නිසා දාවිත්ට හුඟක් කේන්ති ගියා.* ඒ තැනට පෙරෙෂ්උස්සාහ්* කියන නම තිබ්බේ ඒ සිද්ධියෙන් පස්සෙයි. අද වෙන කල්ම ඒ තැන හඳුන්වන්නේ ඒ නමින්. 12  එදා දාවිත්ට සැබෑ දෙවියන් ගැන ලොකු බයක් ඇති වුණා. “මං කොහොමද සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය මං ඉන්න තැනට ගේන්නේ”+ කියලා එයා හිතුවා. 13  ඒ නිසා එයා ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට අරන් ගියේ නැහැ. ඒ වෙනුවට එයා ඒක ගාත්වල පදිංචි වෙලා හිටපු ඕබෙද්ඒදොම්ගේ ගෙදරට අරන් යන්න කියලා අණ කළා. 14  සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ඕබෙද්ඒදොම්ගේ ගෙදර මාස තුනක් තිබුණා. ඒ කාලේදී යෙහෝවා ඕබෙද්ඒදොම්ටත් එයාගේ ගෙදර හිටපු හැමෝටමත් ආශීර්වාද කළා.+

පාදසටහන්

මූ.අ., “තණබිම් එක්ක තියෙන නගරවල.”
හෝ, “ෂිහොර්වල.”
හෝ, “හමාත්වල දේශ සීමාව.”
හෝ සමහරවිට, “කෙරුබ්වරුන් අතරේ.”
හෝ, “දාවිත් කලබල වුණා.”
තේරුම, “උස්සාහ්ට විරුද්ධව කේන්තිය ඇවිළුණා.”