පළවෙනි ලේකම් 19:1-19

  • අම්මොන්වරු දාවිත් යවපු පණිවිඩකරුවන්ට නින්දා කරයි (1-5)

  • අම්මොන්වරුන්ව සහ සිරියාව පරාජය කරයි (6-19)

19  පස්සේ කාලෙක අම්මොන්වරුන්ගේ රජ වුණ නාහාෂ් මැරුණා. ඊටපස්සේ එයාගේ පුතා රජ වුණා.+  ඒ ගැන දාවිත්ට ආරංචි වුණාම එයා මෙහෙම කිව්වා. “නාහාෂ් රජ ජීවත් වෙලා ඉද්දී එයා මට හුඟක් කරුණාවෙන් සැලකුවා. මාත් එයාගේ පුතා හානුන්ට කරුණාව පෙන්නන්න ඕනේ.”+ තාත්තාගේ මරණය නිසා දුකෙන් ඉන්න හානුන්ව සනසන්න දාවිත් පණිවිඩකරුවන් කීපදෙනෙක්ව යැව්වා. හානුන්ව සනසන්න දාවිත්ගේ සේවකයන් අම්මොන්වරුන්ගේ+ දේශයට ආවාම  ඒ දේශයේ අධිපතීන් හානුන්ට මෙහෙම කිව්වා. “ඔබ හිතනවාද දාවිත් ඔබව සනසන්න මිනිස්සුන්ව එවලා තියෙන්නේ ඔබේ තාත්තාට ගෞරවයක් විදිහටයි කියලා? අපේ දේශය ගැන ඔත්තු බලලා ඒක අල්ලගන්නයි දාවිත් එයාලව මෙහෙට එවලා තියෙන්නේ.”  ඒක ඇහුවාම හානුන් රජ දාවිත්ගේ සේවකයන්ගේ රැවුල් කපලා,+ තට්ටම් පේන විදිහට එයාලාගේ ඇඳුම් කොටට කපලා දැම්මා. ඊටපස්සේ එයාලව එහෙන් පිටත් කරලා යැව්වා.  එයාලට වුණ දේ ආරංචි වුණාම දාවිත් ඉක්මනින්ම එයාලව හම්බ වෙන්න පිරිසක්ව යැව්වා. මොකද වෙච්ච දේ නිසා ඒ අය හිටියේ හුඟක් ලැජ්ජාවෙන්. ඉතින් දාවිත් එයාලට මෙහෙම දන්වලා යැව්වා. “ඔයාලාගේ රැවුල් ආයෙත් වැවෙන කල් යෙරිකෝවට+ වෙලා ඉන්න. ඊටපස්සේ ආයෙත් එන්න.”  අම්මොන්වරු දැනගත්තා දාවිත් එයාලත් එක්ක ඉන්නේ කේන්තියෙන් කියලා. ඉතින් හානුන් සහ අම්මොන්වරු අශ්ව රථයි, අසරුවන්වයි කුලියට ගන්න රිදී තලෙන්ත* 1,000ක් මෙසපොතේමියාවට,* ආරම්මයකාවලට සහ ෂොබාවලට+ යැව්වා.  ඒ විදිහට එයාලා අශ්ව රථ 32,000කුයි, මයකාවල රජ සහ එයාගේ සේනාවයි කුලියට ගත්තා. ඒ හැමෝම ඇවිල්ලා මේදෙබා+ ළඟ කඳවුරු බැඳගත්තා. අම්මොන්වරුනුත් යුද්දෙට යන්න එයාලාගේ නගරවලින් පිටත් වෙලා ආවා.  ඒ ගැන දැනගත්තාම දාවිත් යෝවාබ්වයි,+ මුළු හමුදාවමයි සටනට පිටත් කරලා යැව්වා. එයාගේ හොඳම සෙබළුත්+ ඒ අතරේ හිටියා.  අම්මොන්වරු නගරයේ දොරටුව ඉස්සරහට ගිහින් සටන් කරන්න පෙළ ගැහුණා. එයාලට උදව් කරන්න ඇවිල්ලා හිටපු රජවරු රැස් වෙලා හිටියේ එළිහමනේ. 10  සතුරු හමුදාව ඉස්සරහිනුයි, පිටිපස්සෙනුයි පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා දැක්කාම යෝවාබ්, ඊශ්‍රායෙල් හමුදාවේ හිටපු දක්ෂම සෙබළුන් කණ්ඩායමක් තෝරගෙන සිරියානුවන්ට පහර දෙන්න එයාලව පෙළ ගැස්සුවා.+ 11  එයා ඉතුරු සෙබළුන්ව එයාගේ සහෝදරයා වුණ අබිෂයිට+ භාර දීලා එයාලට කිව්වා අම්මොන්වරුන්ට පහර දෙන්න පෙළ ගැහෙන්න කියලා. 12  ඊටපස්සේ එයා අබිෂයිට මෙහෙම කිව්වා. “සිරියානුවන්+ අපිව පරද්දනවා කියලා ඔයාලා දැක්කොත් ඔයාලා අපේ උදව්වට එන්න. අම්මොන්වරු එක්ක සටන් කරන්න ඔයාලට අමාරු වුණොත් අපි ඔයාලාගේ උදව්වට එන්නම්. 13  අපි හිතට ධෛර්යය අරන් සටන් කරමු! අපේ සෙනඟ වෙනුවෙනුත් අපේ දෙවියන්ගේ නුවරවල් වෙනුවෙනුත් අපි එඩිතරව+ සටන් කරන්න ඕනේ. යෙහෝවාට හොඳයි කියලා හිතෙන දේ ඔහු අනිවාර්යයෙන්ම කරයි.” 14  යෝවාබ් සහ එයාගේ හමුදාව සිරියානුවන්ට පහර දුන්නා. ඉතින් සිරියානුවන් එයාලාගෙන් පලා ගියා.+ 15  සිරියානුවන් පලා යනවා දැක්කාම අම්මොන්වරුනුත් යෝවාබ්ගේ සහෝදරයා වුණ අබිෂයිගෙන් පලා ගිහින් එයාලාගේ නගරයට ඇතුල් වුණා. ඊටපස්සේ යෝවාබ් ආපහු යෙරුසලමට ගියා. 16  ඊශ්‍රායෙල්වරු අතින් පරාජයට පත් වුණ සිරියානුවන් පණිවිඩකරුවන් යවලා මහ ගඟ* අවට ප්‍රදේශයේ+ හිටපු සිරියානුවන්ට එන්න කිව්වා. එයාලාගේ නායකයා වුණේ හදද්එෂෙර්ගේ හමුදාපති වුණ ෂෝපාක්.+ 17  ඒ ගැන දාවිත්ට ආරංචි වුණ ගමන්ම එයා මුළු හමුදාවම රැස් කරගෙන යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා එයාලට විරුද්ධව සටන් කරන්න ගියා. සිරියානුවන්ට විරුද්ධව සටන් කරන්න දාවිත්ගේ හමුදාව පෙළ ගැහුණා. එයාලා දාවිත්ට විරුද්ධව සටන් කරන්න පටන්ගත්තා.+ 18  ඒත් දාවිත් සිරියානුවන්ගේ අශ්ව රථ පදවන අය 7,000කුයි, පාබළ හමුදාවට අයිති සෙබළු 40,000කුයි මරලා දැම්මා. එයා සිරියානුවන්ගේ හමුදාපති වුණ ෂෝපාක්වත් මරලා දැම්මා. ඒ නිසා සිරියානුවන් ඊශ්‍රායෙල්වරුන්ගෙන් පලා ගියා. 19  හදද්එෂෙර් යටතේ හිටපු හැමෝම ඊශ්‍රායෙල්වරුන් අතින් පරාජයට පත් වුණ+ නිසා එයාලා ඉක්මනටම ගිහින් දාවිත් එක්ක සමාදාන වෙලා දාවිත්ට සේවය කරන්න පටන්ගත්තා.+ එදායින් පස්සේ අම්මොන්වරුන්ට උදව් කරන්න සිරියානුවන් කැමති වුණේ නැහැ.

පාදසටහන්

තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
මූ.අ., “ආරම්නාහරායිම්වලට.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.