පළවෙනි ලේකම් 21:1-30

  • දාවිත් අකීකරු වෙලා සෙනඟව ගණන් කරයි (1-6)

  • යෙහෝවාගෙන් ලැබුණ දඬුවම (7-17)

  • දාවිත් පූජාසනයක් හදයි (18-30)

21  ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්න හිතපු සාතන්* එයාලා කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරලා බලන්න දාවිත්ව පෙලඹුවා.+  ඉතින් දාවිත් යෝවාබ්ටයි,+ සෙනඟ අතරේ හිටපු ප්‍රධානීන්ටයි මෙහෙම කිව්වා. “දැන් ගිහින් දාන්+ ඉඳන් බෙයර්ෂෙබා වෙන කල් ඉන්න ඊශ්‍රායෙල් සෙනඟව ගණන් කරලා කීදෙනෙක් ඉන්නවාද කියලා මට කියන්න.”  ඒත් යෝවාබ් දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, යෙහෝවාට පුළුවන් ඔහුගේ සෙනඟව 100 ගුණයකින් වුණත් වැඩි කරන්න. මේ මුළු සෙනඟම ඔබේ සේවකයන් නේද? මගේ ස්වාමීනි, ඉතින් ඇයි ඔබ මේ වගේ දෙයක් කරන්න හිතුවේ? ඒ වගේ දෙයක් කරලා ඔබ ඊශ්‍රායෙල් සෙනඟව වරදකට පොලඹවන්න හදන්නේ ඇයි?”  ඒත් රජ යෝවාබ් කියපු දේ ඇහුවේ නැහැ. ඉතින් යෝවාබ් ඒක කරන්න මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ගමන් කරලා ආයෙත් යෙරුසලමට ආවා.+  යෝවාබ් ලියාපදිංචි කරපු සෙනඟගේ ගාණ දාවිත්ට දැන්නුවා. ඊශ්‍රායෙල් ගෝත්‍රවල කඩුවලින් යුද්ධ කරන්න දක්ෂ පුරුෂයන් ලක්ෂ එකොළහකුත් යූදා ගෝත්‍රයෙන් කඩුවලින් යුද්ධ කරන්න දක්ෂ පුරුෂයන් හාරලක්ෂ හැත්තෑදාහකුත් හිටියා.+  රජ කියපු දේ කරන්න යෝවාබ් කොහොමටවත් කැමති වුණේ නැති නිසා+ එයා ලියාපදිංචි කරපු ගාණට ලෙවී සහ බෙන්ජමින් ගෝත්‍රවල හිටපු පුරුෂයන්ව ඇතුළත් කළේ නැහැ.+  දාවිත් කරපු දේ ගැන සැබෑ දෙවියන් පොඩ්ඩක්වත් සතුටු වුණේ නැති නිසා ඔහු ඊශ්‍රායෙල් සෙනඟට පහර දුන්නා.  ඉතින් දාවිත් සැබෑ දෙවියන්ට මෙහෙම කිව්වා. “මං කළේ ලොකු වරදක්.+ අනේ, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම වැඩ කළේ මෝඩයෙක් වගෙයි.”+  සාමාන්‍යයෙන් දෙවියන්ගෙන් ලැබුණ දර්ශන දාවිත්ට දැනුම් දුන්නේ ගාද්.+ යෙහෝවා ගාද්ට මෙහෙම කිව්වා. 10  “ඔයා දාවිත් ළඟට ගිහින් මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔයාට මේ දේ කියනවා. “මම ඔයාට කියන මේ දඬුවම් තුනෙන් එකක් තෝරගන්න. ඔයාට විඳින්න වෙන්නේ ඔයා තෝරගන්න එකයි.”’” 11  ඉතින් ගාද්, දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාට මේ දේ කියන්න කිව්වා. ‘ඔයාට මේවායින් එකක් තෝරගන්න පුළුවන්. 12  ඔයා කැමති අවුරුදු තුනක් තිස්සේ දේශයේ සාගතයක් තියෙනවාටද?+ නැත්තං මාස තුනක් තිස්සේ ඔයාගේ සතුරන්ගේ කඩුවට අහු වෙලා එයාලා අතින් පරාජය වෙනවාටද?+ එහෙමත් නැත්තං දවස් තුනක් පුරා යෙහෝවාගේ කඩුවෙන් පහර කන්නද? ඒ කාලේදී දේශයේ වසංගතයක් තියෙයි.+ යෙහෝවාගේ දූතයා ඊශ්‍රායෙල් දේශය පුරාම විනාශයක් කරයි.’+ හිතලා බලලා මේ තුනෙන් එකක් තෝරගන්න. එතකොට මං ගිහින් මාව එවපු දෙවියන්ට ඒ ගැන කියන්නම්.” 13  දාවිත් ගාද්ට මෙහෙම කිව්වා. “මේක මට දරාගන්න බැරි දුකක්. ඒත් යෙහෝවා හරිම දයාන්විත දෙවි කෙනෙක්.+ ඒ නිසා මිනිස්සුන්ගේ අතින් දඬුවම් විඳිනවාට වඩා+ දෙවියන්ගේ අතින් දඬුවම් විඳින එක හොඳයි.” 14  ඉතින් යෙහෝවා ඊශ්‍රායෙල් දේශයට වසංගතයක් ගෙනාවා.+ ඒකෙන් ඊශ්‍රායෙල් සෙනඟගෙන් 70,000ක් මැරුණා.+ 15  සැබෑ දෙවියන් යෙරුසලම විනාශ කරන්නත් දේවදූතයෙක්ව එහෙට යැව්වා. ඒත් ඒ දේවදූතයා ඒක විනාශ කරන්න යද්දී සිද්ධ වෙලා තිබුණ විනාශය දැකලා යෙහෝවාට ලොකු දුකක් දැනුණා.+ ඒ නිසා සෙනඟට පහර දීපු දේවදූතයාට ඔහු මෙහෙම කිව්වා. “දැන් ඇති.+ ඔයාගේ අත පල්ලෙහට දාන්න.” ඒ වෙලාවේ යෙහෝවාගේ දූතයා හිටියේ යෙබූසිවරයෙක්+ වුණ ඔර්නාන්ගේ+ කමත ළඟ. 16  අහසත් පොළොවත් අතර හිටිය යෙහෝවාගේ දූතයා යෙරුසලම දිහාවට එයාගේ කඩුව දික් කරගෙන ඉන්නවා දාවිත් දැක්කා.+ ගෝණි රෙදි ඇඳගෙන+ හිටපු දාවිත් සහ වැඩිමහල්ලෝ ඒ වෙලාවෙම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා.+ 17  දාවිත් සැබෑ දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ මගේ දෙවි යෙහෝවා, සෙනඟව ගණන් කරන්න කියලා කිව්වේ මමයි. මම තමයි පව් කළේ. වැරැද්ද තියෙන්නේ මගේ අතේ.+ බැටළුවන් වගේ ඉන්න මේ සෙනඟ කරපු වරද මොකක්ද? අනේ ඉතින්, ඔයාගේ සෙනඟට දඬුවම් කරන්න එපා.+ මටයි, මගේ තාත්තාගේ පවුලේ අයටයි දඬුවම් කරන්න.” 18  ඒ වෙලාවේ යෙහෝවාගේ දූතයා ගාද්ට කතා කරලා+ කිව්වා යෙබූසිවරයෙක් වුණ ඔර්නාන්ගේ කමතේ යෙහෝවාට පූජාසනයක් හදන්න කියලා දාවිත්ට කියන්න කියලා.+ 19  ඉතින් යෙහෝවාගේ නමින් ගාද් කියපු දේ කරන්න දාවිත් පිටත් වෙලා ගියා. 20  ඔය අතරේ තිරිඟු සුද්ද කරකර හිටපු ඔර්නාන් දේවදූතයාව දැක්කා. ඔර්නාන් එක්ක හිටපු එයාගේ පුතාලා හතරදෙනා දේවදූතයාව දැක්කාම ගිහින් හැංගුණා. 21  දාවිත් ඔර්නාන්ව හම්බ වෙන්න ගියා. ඔර්නාන් දාවිත්ව දැක්ක ගමන්ම ඉක්මනින්ම කමතෙන් ඇවිත් එයාගේ ඔළුව බිමටම පහත් කරලා දාවිත්ට ආචාර කළා. 22  දාවිත් ඔර්නාන්ට මෙහෙම කිව්වා. “මට මේ කමත විකුණන්න.* ඒකේ සම්පූර්ණ වටිනාකම මම දෙන්නම්. මට ඕනෙ මෙතන යෙහෝවාට පූජාසනයක් හදන්න. එහෙම කළොත් මේ වසංගතේ නවතියි.”+ 23  එතකොට ඔර්නාන් දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ මේ කමත ගන්න. ඔබට කැමති ඕනෙම දෙයක් කරන්න. මට මුකුත් ගෙවන්න ඕනෙ නැහැ. දවන පූජාවට ගවයෝ ඉන්නවා. ධාන්‍ය මඩින්න+ පාවිච්චි කරන මේ ලෑලි දර විදිහට පාවිච්චි කරන්න. ධාන්‍ය පූජාවට මේ තිරිඟුත් ගන්න. මම මේ හැම දෙයක්ම ඔබට දෙනවා.” 24  ඒත් දාවිත් රජ ඔර්නාන්ට මෙහෙම කිව්වා. “නෑ නෑ. මට ඕනෙ මේ කමතේ සම්පූර්ණ වටිනාකම දීලා ඒක ගන්න. මං කොහොමද ඔයාට අයිති දෙයක් අරගෙන යෙහෝවාට දෙන්නේ? කිසිම වියදමක් දරන්නේ නැතුව මං දවන පූජා ඔප්පු කරන්නේ කොහොමද?”+ 25  ඉතින් දාවිත් රත්තරන් ෂෙකෙල්* 600ක් කිරලා ඒක ඔර්නාන්ට දීලා ඉඩම ගත්තා. 26  දාවිත් එතන යෙහෝවාට පූජාසනයක් හදලා+ දවන පූජායි, හවුල් පූජායි ඔප්පු කරලා යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. එතකොට දෙවියන් දවන පූජාව තිබුණ පූජාසනයට ස්වර්ගයෙන් ගින්නක් එවලා එයාට උත්තර දුන්නා.+ 27  ඊටපස්සේ යෙහෝවා, දේවදූතයාට අණ කළා+ එයාගේ කඩුව ආපහු කොපුවට දාගන්න කියලා. 28  යෙබූසිවරයෙක් වුණ ඔර්නාන්ගේ කමතේදී එයා කරපු කන්නලව්වට යෙහෝවා උත්තර දුන්නා කියලා දාවිත් දැක්කාම එයා දිගටම එතන පූජා ඔප්පු කළා. 29  පාළුකරයේදී මෝසෙස් හදපු යෙහෝවා දෙවියන්ගේ ශුද්ධ කූඩාරමයි, දවන පූජා ඔප්පු කරන පූජාසනයයි ඒ කාලේ තිබුණේ ගිබියොන්වල නමස්කාර කරන්න තිබුණ ස්ථානයේ.+ 30  ඒත් දාවිත් දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගන්න එහෙට ගියේ නැහැ. මොකද යෙහෝවා එව්ව දේවදූතයාගේ කඩුව දැක්ක නිසා එයා හිටියේ ගොඩක් බයෙන්.

පාදසටහන්

හෝ සමහරවිට, “විරුද්ධකාරයෙක්.”
මූ.අ., “දෙන්න.”
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4යි. උප. B14 බලන්න.