පළවෙනි ලේකම් 22:1-19

  • දාවිත් දේවමාලිගාවට දේවල් සූදානම් කරයි (1-5)

  • දාවිත් සලමොන්ට දුන්න උපදෙස් (6-16)

  • සලමොන්ට උදව් කරන්න කියලා අධිපතීන්ට අණ කරයි (17-19)

22  දාවිත් මෙහෙම කිව්වා. “මෙතන තමයි සැබෑ දෙවි වන යෙහෝවාගේ ගෘහයයි, ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් දවන පූජා ඔප්පු කරන පූජාසනයයි ඉදි කරන්න ඕනේ.”+  ඊටපස්සේ දාවිත් ඊශ්‍රායෙල් දේශයේ හිටපු විදේශිකයන්ව+ එකට රැස් කරන්න කියලා අණ කළා. සැබෑ දෙවියන්ගේ ගෘහය ඉදි කරන්න ඕනෙ කරන ගල් කඩලා, ඒවා අවශ්‍ය හැඩේට කපලා සකස් කරන්න එයා එයාලට භාර දුන්නා.+  ඇතුල් වෙන තැන්වල දොරවල්වලට ඇණ හදන්නයි, ඒවා සම්බන්ධ කරන්න අවශ්‍ය දේවල්* හදන්නයි විශාල යකඩ ප්‍රමාණයක් දාවිත් සූදානම් කළා. කිරන්න බැරි තරම් විශාල තඹ ප්‍රමාණයකුත් එයා සූදානම් කළා.+  ඒ වගේම දේවදාර ලී+ විශාල ප්‍රමාණයකුත් එකතු වුණා. මොකද සීදොන්වල+ සහ තීර්වල+ මිනිස්සු දේවදාර ලී ලොකු ප්‍රමාණයක් දාවිත්ට දුන්නා.  දාවිත් මෙහෙම හිතුවා. “මගේ පුතා සලමොන් තරුණයි. එයාට අද්දැකීමුත් අඩුයි.+ යෙහෝවා වෙනුවෙන් හදන මේ ගෘහය තේජසෙන් බැබළෙන එකක් වෙන්න ඕනේ.+ එතකොට ඒකේ ලස්සන හැම දේශයකම ඉන්න මිනිස්සු අතරේ ප්‍රසිද්ධ වෙයි.+ ඒ නිසා පුතාට උදව් කරන්න මට පුළුවන් හැම දේම මං කරන්න ඕනේ.” ඉතින් දාවිත් මැරෙන්න කලින් ගෘහය හදන්න අවශ්‍ය දේවල් ගොඩක් ලෑස්ති කළා.  ඊටපස්සේ දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට අඬගහලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ගෘහයක් හදන වැඩේට අවශ්‍ය මඟ පෙන්වීම් දුන්නා.  දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට මෙහෙම කිව්වා. “මගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න+ මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා.  ඒත් යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඔයා ගොඩක් යුද්ධවලට සම්බන්ධ වුණා. ගොඩක් ලේ හැලුවා. මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයාට බැහැ.+ මොකද ඔයා මං ඉස්සරහා ගොඩක් ලේ හලලා තියෙනවා.  ඔයාට පුතෙක් හම්බ වෙනවා.+ එයා ගත කරන්නේ සාමකාමී ජීවිතයක්. එයාගේ සතුරන්ගෙන් එයාට කිසිම හිරිහැරයක් වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ.+ එයාගේ නම සලමොන්.*+ එයා පාලනය කරන කාලේදී මම ඊශ්‍රායෙල් දේශයේ ඉන්න මිනිස්සුන්ට සාමය පිරුණු, නිදහස් ජීවිතයක් දෙනවා.+ 10  එයා තමයි මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්නේ.+ මම එයාට තාත්තා කෙනෙක් වෙනවා. එයා මගේම පුතෙක් වෙනවා.+ මම එයාගේ රජකම ස්ථිර කරලා එයාගේ සිංහාසනය ඊශ්‍රායෙල් දේශයේ හැමදාටම පිහිටුවනවා.’+ 11  “සලමොන් මගේ පුතේ, යෙහෝවා හැමදාම ඔයාත් එක්ක ඉන්න කියලත් ඔයාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් හදන ගෘහයේ වැඩ සාර්ථකව ඉවර කරන්න ඔයාට පුළුවන් වෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනවා! දෙවියන් ඔයා ගැන කිව්ව විදිහටම කරන්න ඔයාට පුළුවන් වෙයි.+ 12  දෙවියන් ඔයාව රජ විදිහට පත් කළාම ඒ හැම දේටම වඩා යෙහෝවාගෙන් ප්‍රඥාවයි, අවබෝධයයි+ ඔයාට ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා! එතකොට ඔයාගේ දෙවි වන යෙහෝවාගේ නීති ඒ විදිහටම පිළිපදින්න ඔයාට පුළුවන් වෙයි.+ 13  යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට දුන්න+ නියෝග සහ තීන්දු ඒ විදිහටම පිළිපැද්දොත්+ ඔයාට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. හිතට ධෛර්යය අරන් එඩිතරව ඉන්න.+ 14  මං ලොකු වෙහෙසක් දරලා යෙහෝවා දෙවියන්ගේ ගෘහය හදන්න අවශ්‍ය දේවල් සූදානම් කළා. රන් තලෙන්ත* ලක්ෂයකුයි, රිදී තලෙන්ත ලක්ෂ දහයකුයි, කිරලා බලන්න බැරි තරම් විශාල තඹ සහ යකඩ ප්‍රමාණයකුයි ලෑස්ති කළා.+ ඒ විතරක් නෙමෙයි ගෘහයට අවශ්‍ය ලී, ගල් මං ලෑස්ති කරලා තියෙනවා.+ ඔයාට පුළුවන් තවත් දේවල් ඒ වෙනුවෙන් ලෑස්ති කරගන්න. 15  ගෘහය හදන වැඩවලට දක්ෂතා තියෙන ගොඩක් අය ඔයා එක්ක ඉන්නවා. ගල් කපන්න, බිත්ති බඳින්න,+ වඩු වැඩ කරන්න වගේම එක එක කර්මාන්තවලට දක්ෂ ගොඩක් අය ඉන්නවා.+ 16  කිරලා බලන්න බැරි තරම් රත්තරන්, රිදී, තඹ, යකඩ ලොකු ප්‍රමාණයක් මම එකතු කරලා තියෙනවා.+ ඉතින් දැන් ඔයාට භාර දීපු වැඩේ පටන්ගන්න. යෙහෝවාගේ උදව් හැමදාම ඔයාට ලැබෙන්න කියලා මං පතනවා!”+ 17  දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට උදව් කරන්න කියලා ඊශ්‍රායෙල්වල හිටපු අධිපතීන් හැමෝටම අණ කළා. එයා එයාලට මෙහෙම කිව්වා. 18  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා එක්ක ඉන්නවා. ඔයාලා වටේ ඉන්න සතුරන්ගෙන් ඔයාලට සම්පූර්ණ නිදහසක් ලබා දුන්නේ ඔහුයි. මේ දේශයේ හිටපු මිනිස්සුන්ව යටත් කරගන්න ඔහු මට උදව් කළා. දැන් මේ දේශය තියෙන්නේ යෙහෝවා යටතෙයි, ඔහුගේ සෙනඟ යටතෙයි. 19  ඉතින් ඔයාලාගේ මුළු හිතින්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පිළිපදින්න අධිෂ්ඨාන කරගන්න.+ ඒ වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් හැම දේම කරන්න.* සැබෑ දෙවි වන යෙහෝවා වෙනුවෙන් හදන ශුද්ධස්ථානයේ වැඩ පටන්ගන්න.+ එතකොට යෙහෝවාගේ නමට ගෞරවයක් ගේන්න හදන ඒ ගෘහයට+ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටියයි, සැබෑ දෙවියන්ට කැප කරපු ශුද්ධ භාජනයි අරන් යන්න පුළුවන්.”+

පාදසටහන්

මූ.අ., “කලම්ප.”
ඒ නම හැදිලා තියෙන්නේ “සාමය” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකින්.
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.