පළවෙනි සාමුවෙල් 11:1-15

  • සාවුල් අම්මොන්වරුන්ව පරද්දයි (1-11)

  • සාවුල්ගේ රජකම ආයෙත් ස්ථිර කරයි (12-15)

11  අම්මොන්+ ජාතික නාහාෂ්, ගිලියද් ප්‍රදේශයේ තිබුණ යාබෙෂ්+ ළඟ කඳවුරු බැඳගෙන ඒ නගරයේ අයත් එක්ක යුද්ධ කරන්න ලෑස්ති වුණා. එතකොට යාබෙෂ්වල හිටපු පුරුෂයන් හැමෝම “අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න. එතකොට අපි ඔයාලාගේ සේවකයන් වෙන්නම්” කියලා නාහාෂ්ට කිව්වා.  ඒත් අම්මොන් ජාතික නාහාෂ් මෙහෙම කිව්වා. “මම උඹලා එක්ක ගිවිසුමක් ඇති කරගන්නේ උඹලාගේ දකුණු ඇස් ටික උගුල්ලලා දැම්මාට පස්සෙයි. මම ඊශ්‍රායෙල් ජාතියටම ලැජ්ජා කරනවා.”  ඒක ඇහුවාම යාබෙෂ්වල වැඩිමහල්ලෝ මෙහෙම කිව්වා. “අපිට දවස් හතක් කල් දෙන්න. අපි ඊශ්‍රායෙල් දේශයේ හැම පළාතකටම මේ ගැන දන්වන්නම්. අපිව බේරගන්න කවුරුත් ආවේ නැත්නම් අපි ඔයාලට යටත් වෙන්නම්.”  ඉතින් යාබෙෂ්වල අය යවපු පණිවිඩකරුවෝ සාවුල් හිටිය ගිබෙයා+ නගරයට ඇවිත් එහේ ඉන්න අයට ඒ ගැන කිව්වා. ඒක ඇහුවාම මුළු සෙනඟම හයියෙන් අඬන්න පටන්ගත්තා.  ඒ වෙලාවේ සාවුල් ගව රැළ දක්කගෙන කෙතේ ඉඳන් එතනට ආවා. එයා එතන ඉන්න අයගෙන් ඇහුවා “මිනිස්සු ඇයි මේ විදිහට අඬන්නේ” කියලා. එතකොට එයාලා යාබෙෂ්වල පණිවිඩකරුවෝ කියපු හැම දෙයක්ම සාවුල්ට කිව්වා.  ඒක අහපු ගමන්ම දෙවියන්ගේ බලය සාවුල් තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා.+ එයා ලොකු කේන්තියකින්  ගවයන් දෙන්නෙක්ව මරලා උන්ව කෑලි කෑලිවලට කැපුවා. ඊටපස්සේ එයා කපපු මස් කෑලි ඒ පණිවිඩකරුවන් අතේ ඊශ්‍රායෙල් දේශයේ හැම පළාතකටම යැව්වා. එයාලා හැම පළාතකටම ගිහින් සාවුල් එයාලට කියන්න කිව්ව මේ පණිවිඩය දැන්නුවා. “සාවුල්ගෙයි, සාමුවෙල්ගෙයි පැත්ත ගන්නේ නැති හැම කෙනෙක්ගෙම ගවයන්ට වෙන්නෙත් මේ දේමයි!” යෙහෝවා දෙවියන් ගැන සෙනඟට ලොකු බයක් ඇති වෙලා එයාලා එකා වගේ යුද්දෙට යන්න ඉදිරිපත් වුණා.  සාවුල් සටන් කරන්න ආපු සෙනඟව බෙෂෙක්වලදී ගණන් කළා. ඊශ්‍රායෙල් පුරුෂයෝ ලක්ෂ තුනකුත් යූදා පුරුෂයෝ තිස්දාහකුත් එතනට ඇවිත් හිටියා.  ඊටපස්සේ ඒ හමුදාවේ අය යාබෙෂ්වල පණිවිඩකරුවන්ට මෙහෙම කිව්වා. “ගිලියද්වල යාබෙෂ් නගරේ ඉන්න අයට මෙහෙම කියන්න. ‘හෙට ඉර මුදුන් වෙද්දී අපි ඔයාලව බේරගන්නවා.’” පණිවිඩකරුවන් යාබෙෂ්වල අයට ඒ ගැන කිව්වාම එයාලා හුඟක් සතුටු වුණා. 10  ඒත් එයාලා අම්මොන්වරුන්ට කිව්වේ “හෙට අපි ඔයාලට යටත් වෙන්නම්. ඔයාලා කැමති ඕනෙම දෙයක් අපිට කරන්න”+ කියලයි. 11  පහුවෙනිදා සාවුල්, හමුදාව කණ්ඩායම් තුනකට බෙදුවා. එයාලා අන්තිම රැකවල් යාමේදී* අම්මොන්වරුන්ගේ කඳවුර මැදට ගිහින් ඉර මුදුන් වෙන කල්ම අම්මොන්වරු+ එක්ක සටන් කළා. අම්මොන්වරු අතරින් බේරුණේ ටිකදෙනායි. ඒ ටිකදෙනා තනි තනියෙන් එක එක පැතිවලට පලා ගියා. 12  ඊටපස්සේ සෙනඟ සාමුවෙල්ට මෙහෙම කිව්වා. “කෝ අර ‘සාවුල්ට පුළුවන්ද අපේ රජ වෙන්න’ කියලා කියපු අය?+ එයාලව අපිට භාර දෙන්න. අපි එයාලව මරලා දාන්නම්.” 13  ඒත් සාවුල් මෙහෙම කිව්වා. “අද යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීම දුන්නා. ඒ නිසා අද කිසි කෙනෙක්ව මරන්න එපා.”+ 14  ඊටපස්සේ සාමුවෙල් සෙනඟට කිව්වා “අපි දැන් ගිල්ගාල්+ නගරයට යමු. එහෙදී අපි සාවුල්ගේ රජකම ස්ථිර කරමු”+ කියලා. 15  ඉතින් සෙනඟ ගිල්ගාල්වලට ගිහින් යෙහෝවා ඉස්සරහා සාවුල්ගේ රජකම ස්ථිර කළා. ඊටපස්සේ එයාලා යෙහෝවා දෙවියන් ඉස්සරහා හවුල් පූජා ඔප්පු කළා.+ සාවුල් සහ ඊශ්‍රායෙල් පුරුෂයෝ හැමෝම ඒ අවස්ථාව හුඟක් සතුටින් සැමරුවා.+

පාදසටහන්

ඒ කියන්නේ පාන්දර දෙකේ ඉඳන් පාන්දර හය දක්වා කාලයයි.