පළවෙනි සාමුවෙල් 20:1-42

  • යොනාතාන් දාවිත්ට විශ්වාසවන්ත යාළුවෙක් වුණා (1-42)

20  දාවිත් රාමාවල තියෙන නායොත් කියන ගමෙන් පලා ගියා. එයා යොනාතාන් ළඟට ඇවිත් “මං ඔයාගේ තාත්තාට කරපු වරද මොකද්ද?+ මං මොනා කරපු නිසාද එයා මාව මරන්න හදන්නේ” කියලා එයාගෙන් ඇහුවා.  එතකොට යොනාතාන් එයාට මෙහෙම කිව්වා. “මට ඒක විශ්වාස කරන්න බැහැ.+ මගේ තාත්තා ඔයාව මරන්න හදනවා නම් ඒ ගැන එයා මට නොකියා ඉඳියිද? මට කියන්නේ නැතුව එයා කිසිම දෙයක් කරන්නේ නැහැ. බය වෙන්න එපා. එයා ඔයාව මරන්නේ නැහැ.”  ඒත් දාවිත් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තා දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා.+ ඒ නිසා ‘මං දාවිත්ව මරන්න හදනවා කියලා යොනාතාන් දැනගත්තොත් එයාට දුක හිතෙයි. ඒ හින්දා එයාට ඒ ගැන දැනගන්න ඉඩ තියන්න හොඳ නෑ’ කියලා එයා හිතනවා ඇති. මං දන්නවා කොයි වෙලාවක හරි එයා මාව මරලා දානවා.+ ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහත් ඔයා ඉස්සරහත් මං ඒක දිවුරලාම කියනවා.”  ඊටපස්සේ යොනාතාන් දාවිත්ට කිව්වා “ඔයා කියන ඕනෙම දෙයක් මං කරන්නම්” කියලා.  එතකොට දාවිත් එයාට මෙහෙම කිව්වා. “හෙට නව සඳ පායන දවස.+ ඒ නිසා රජ බලාපොරොත්තු වෙනවා මම එයා එක්ක ඉඳගෙන කෑම කයි කියලා. ඒත් මාලිගාවට යන්නේ නැතුව කෙතට ගිහින් දවස් තුනක් හැංගිලා ඉන්න මට අවසර දෙන්න. අනිද්දා හවස් වෙනකම්ම මං කෙතේ හැංගිලා ඉන්නම්.  ඔයාගේ තාත්තා මං කොහෙද කියලා ඇහුවොත් ඔයා මෙහෙම කියන්න. ‘දාවිත් එයාගේ ගම වන බෙත්ලෙහෙම්වලට+ යන්න මගෙන් අවසර ඉල්ලුවා. හැම අවුරුද්දකම එයාගේ පවුලේ අය එහේ පූජාවක් ඔප්පු කරනවා. ඒ පූජාවට සහභාගි වෙන්න එයාත් ගියා.’+  ඔයාගේ තාත්තා ‘ඒකට කමක් නැහැ’ කියලා කිව්වොත් ඔයාගේ සේවකයා වන මට අනතුරක් නැහැ. ඒත් ඒක අහලා එයාට කේන්ති ගියොත් ඒකෙන් හොඳටම තේරෙනවා එයා මාව මරන්න තීරණය කරලා තියෙනවා කියලා.  යෙහෝවා දෙවියන් ඉස්සරහා ඔයා මාත් එක්ක ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා+ කියලා අමතක කරන්න එපා. ඒ නිසා ඔයාගේ සේවකයා වන මාව අත්හරින්නේ නැතුව දිගටම මට ආදරෙන් සලකන්න.+ ඒත් ඔයා හිතනවා නම් මගේ අතින් වරදක් වෙලා තියෙනවා කියලා+ මාව ඔයාගේ තාත්තා ළඟට එක්කන් යන්න ඕනෙ නෑ, ඔයාම මාව මරලා දාන්න.”  එතකොට යොනාතාන් දාවිත්ට මෙහෙම කිව්වා. “මට කවදාවත් ඒ වගේ දෙයක් කරන්න බෑ. ඔයාගේ අතේ කිසි වරදක් නැහැ. මගේ තාත්තා ඔයාට අනතුරක් කරන්න හදනවා කියලා මට දැනගන්න ලැබුණොත් ඔයා හිතනවාද මං ඒක ඔයාට නොකියා ඉඳියි කියලා?”+ 10  දාවිත් යොනාතාන්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයාගේ තාත්තා මාත් එක්ක කේන්තියෙන් ඉන්නවාද නැද්ද කියලා කොහොමද මං දැනගන්නේ?” 11  ඊටපස්සේ යොනාතාන් “එන්න, අපි දෙන්නා දැන් කෙතට යමු” කියලා දාවිත් එක්ක කෙතට ගියා. 12  යොනාතාන් මෙහෙම කිව්වා. “මම හෙට නැත්නම් අනිද්දා මේ වෙලාවට මගේ තාත්තා එක්ක කතා කරලා එයාගේ හිතේ තියෙන්නේ මොනවාද කියලා දැනගන්නම්. එයාගේ හිතේ ඔයා ගැන කේන්තියක් නැත්නම් මං ඔයාට ඒ ගැන දන්වන්නම්. මං ඔයාට දුන්න මේ පොරොන්දුවට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා සාක්ෂිකරුවෙක්. 13  ඒත් මගේ තාත්තා ඔයාට අනතුරක් කරන්න යනවා කියලා දැනදැනත් මං ඒ ගැන ඔයාට කියන්නේ නැතුව ඔයාට මොකක් හරි අනතුරක් වුණොත් යෙහෝවා මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ! යෙහෝවා මගේ තාත්තාට ආශීර්වාද කරපු විදිහටම+ ඔයාටත් ආශීර්වාද කරන්න ඕනේ!+ 14  යෙහෝවා වගේ ඔයාත් මාව අත්හරින්නේ නැතුව මං මැරෙන කල්ම මට ආදරෙන් සලකන්න.* මං මැරුණත් මාව අමතක කරන්න එපා.+ 15  යෙහෝවා දෙවියන් ඔයාගේ හතුරෝ හැමෝවම විනාශ කළාට පස්සෙත් මගේ පවුලේ අයට දිගටම ආදරෙන් සලකන්න* අමතක කරන්න එපා.”+ 16  යොනාතාන් දාවිත්ගේ පවුලේ අය එක්ක ගිවිසුමක් ඇති කරගෙන මෙහෙම කිව්වා. “දාවිත්ගේ හතුරන්ට අනිවාර්යයෙන්ම යෙහෝවාට ගණන් දෙන්න වෙනවා.” 17  ඉතින් යොනාතාන් දාවිත්ගෙන් ඉල්ලුවා එයාට හැමදාටම ආදරෙන් සලකනවා කියලා ආයෙත් දිවුරලා පොරොන්දු වෙන්න කියලා. මොකද යොනාතාන් එයාගේ පණට වගේ දාවිත්ට ආදරේ කළා.+ 18  ඊටපස්සේ යොනාතාන් මෙහෙම කිව්වා. “හෙට නව සඳ පායන දවස.+ ඔයා ඉඳගන්න තැන හිස් කියලා දැක්කාම තාත්තා ඒ ඇයි කියලා බලයි. 19  අනිද්දා වෙද්දී එයා අනිවාර්යයෙන්ම ඔයා කෝ කියලා හොයලා බලයි. කලින් දවසක* ඔයා කළා වගේ එදාටත් ඔයා මේ ගල ළඟ හැංගිලා ඉන්න. 20  මම ඉලක්කයකට විදිනවා වගේ ගලේ එක පැත්තකට ඊතල තුනක් විදින්නම්. 21  ඊටපස්සේ ‘ඊතල ටික හොයාගෙන එන්න’ කියලා මං මගේ සේවකයාට කියන්නම්. ‘ඊතල ටික තියෙන්නේ ඔයාට එහා පැත්තෙන්. ඒවා අරගෙන එන්න’ කියලා මං සේවකයාට කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ මගේ තාත්තාගෙන් ඔයාට කිසිම අනතුරක් නැහැ කියන එකයි. ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා මම දිවුරලා කියන්නේ, මං මගේ සේවකයාට එහෙම කිව්වොත් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට ආයෙත් එන්න පුළුවන්. 22  ඒත් ‘ඊතල ටික තියෙන්නේ තව ඈතට වෙන්න’ කියලා මං මගේ සේවකයාට කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා ඔයාට මෙහෙන් යන්න කියන එකයි. එතකොට ඔයා ඉක්මනටම මෙහෙන් යන්න. 23  අපි දෙන්නා වුණ මේ පොරොන්දුවට+ යෙහෝවා දෙවියන් හැමදාටම සාක්ෂිකරුවෙක් වෙයි.”+ 24  ඊටපස්සේ දාවිත් කෙතේ හැංගුණා. නව සඳ පායන දවසේදී රජ කෑමට ඉඳගත්තා.+ 25  වෙනදා වගේ එදත් රජ ඉඳගත්තේ බිත්තිය ළඟ තිබුණ පුටුවේ. එයාට ඉස්සරහින් යොනාතාන් ඉඳගෙන හිටියා. සාවුල්ගේ එක පැත්තක අබ්නේර්+ ඉඳගෙන හිටියා. ඒත් දාවිත්ගේ පුටුව හිස් වෙලයි තිබුණේ. 26  දාවිත් කෑමට ආවේ නැත්තේ ඇයි කියලා සාවුල් එදා ඇහුවේ නැහැ. මොකද සාවුල් හිතුවා “මොකක් හරි හේතුවක් නිසා එයා අපවිත්‍ර වෙලා ඇති” කියලා.+ 27  ඒත් පහුවෙනිදාත් දාවිත්ගේ පුටුව හිස් කියලා දැක්කාම සාවුල් යොනාතාන්ගෙන් ඇහුවා “යෙස්සේගේ+ පුතා මේ දවස් දෙකේම කෑමට ආවේ නැත්තේ ඇයි” කියලා. 28  එතකොට යොනාතාන් එයාට මෙහෙම කිව්වා. “දාවිත් බෙත්ලෙහෙමට යන්න මගෙන් අවසර ඉල්ලුවා.+ 29  එයා මට මෙහෙම කිව්වා. ‘අනේ, මට ගෙදර යන්න අවසර දෙන්න. මගේ පවුලේ අය අපේ ගමේ පූජාවක් ඔප්පු කරනවා. මගේ අයියා කිව්වා මටත් ඒකට එන්න කියලා. ඉතින් මගේ අයියලව හම්බ වෙන්න යන්න මට අවසර දෙන්න පුළුවන්ද?’ ඒ නිසයි එයා රජතුමා එක්ක කෑම කන්න ආවේ නැත්තේ.” 30  එතකොට සාවුල්ට යොනාතාන් එක්ක හොඳටම කේන්ති ගිහින් කෑගහලා මෙහෙම කිව්වා. “උඹ මහ කැරලිකාර පුතෙක්!* උඹ යෙස්සේගේ පුතාගේ පැත්ත ගත්තා කියලා මං දන්නේ නැහැ කියලා හිතුවාද? උඹ උඹටම ලැජ්ජා කරගන්නද හදන්නේ? උඹ උඹේ අම්මාටත් ලැජ්ජාවක්! 31  යෙස්සේගේ පුතා ජීවත් වෙන කල් උඹට කවදාවත් රජ වෙන්න හම්බ වෙන්නේ නැහැ.+ ඉක්මනටම කාව හරි යවලා දාවිත්ව මෙහෙට එක්කන් එනවා. මං ඌව මරලා දානවා.”+ 32  ඒත් යොනාතාන් “ඇයි දාවිත්ව මරන්න හදන්නේ?+ මොකද්ද එයා කරපු වරද” කියලා එයාගේ තාත්තාගෙන් ඇහුවා. 33  එතකොට සාවුල් යොනාතාන් දිහාවට හෙල්ලය වීසි කළා.+ තාත්තා දාවිත්ව මරන්න තීරණය කරලා කියලා තේරුම්ගත්ත+ 34  යොනාතාන් හරිම කේන්තියෙන් කෑම මේසයෙන් නැඟිටලා ගියා. එදා එයා කිසිම දෙයක් කෑවේ නැහැ. මොකද එයාගේ තාත්තා දාවිත්ට නින්දා කරපු නිසා එයා හිටියේ ලොකු දුකකින්.+ 35  පහුවෙනිදා උදේ දාවිත්ට පොරොන්දු වුණ විදිහටම යොනාතාන් සේවකයෙක් එක්ක කෙතට ගියා.+ 36  “ඉක්මනට ගිහින් මම විදින ඊතල ටික හොයාගෙන එන්න” කියලා යොනාතාන් එයාගේ සේවකයාට කිව්වා. සේවකයා දුවගෙන යද්දී යොනාතාන් එයාව පහු කරගෙන යන විදිහට ඊතලය විද්දා. 37  සේවකයා ඊතලය තිබුණ තැනට ආවාම යොනාතාන් කෑගහලා මෙහෙම කිව්වා. “ඊතලය තියෙන්නේ තව ඈතට වෙන්න නේද? 38  ඉක්මන් කරන්න. බලන් ඉන්නේ නැතුව දුවලා යන්න.” සේවකයාත් ඊතල ටික අහුලගෙන ඇවිත් එයාගේ ස්වාමියාට දුන්නා. 39  යොනාතාන් එහෙම කිව්වේ ඇයි කියලා දැනගෙන හිටියේ එයායි, දාවිතුයි විතරයි. එයාගේ සේවකයා ඒ කිසි දෙයක් ගැන දැනන් හිටියේ නැහැ. 40  ඊටපස්සේ යොනාතාන් එයාගේ ආයුධ ටික සේවකයාට දීලා කිව්වා “මේවාත් අරගෙන නගරෙට යන්න” කියලා. 41  දාවිත් හැංගිලා හිටියේ යොනාතාන් හිටපු තැනට දකුණු පැත්තට වෙන්නයි. සේවකයා එතනින් ගියාට පස්සේ දාවිත් හැංගිලා හිටපු තැනින් එළියට ඇවිත් දණින් වැටිලා තුන් පාරක් ඔළුව නමලා යොනාතාන්ට ආචාර කළා. එයාලා දෙන්නා එකිනෙකාගේ මූණ ඉඹගෙන හුඟක් වෙලා ඇඬුවා. වැඩියෙන්ම ඇඬුවේ දාවිත්. 42  යොනාතාන් දාවිත්ට මෙහෙම කිව්වා. “‘අපි ඇති කරගත්ත ගිවිසුමට යෙහෝවා හැමදාටම අපි දෙන්නා ඉස්සරහත් අපේ දරුදැරියන් ඉස්සරහත් සාක්ෂිකරුවෙක් වෙයි’+ කියලා අපි දෙන්නාට දෙන්නා යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වුණා.+ ඒ නිසා ඔයා දැන් සමාදානයෙන් යන්න.” ඊටපස්සේ දාවිත් එතනින් පිටත් වෙලා ගියා. යොනාතාන් ආයෙත් නගරයට ආවා.

පාදසටහන්

හෝ, “නොසැලෙන ආදරේ පෙන්නන්න.”
හෝ, “නොසැලෙන ආදරේ පෙන්නන්න.”
මූ.අ., “වැඩ කරන දවසක.”
හෝ, “කැරලිකාර ස්ත්‍රියකගේ පුතෙක්!” ඒක යොනාතාන්ට අපහාස කරන්න කියපු දෙයක්.