පළවෙනි සාමුවෙල් 22:1-23

  • දාවිත් අදුල්ලාම්වලට සහ මිෂ්පේවලට යයි (1-5)

  • සාවුල් නොබ්වල හිටපු පූජකයන්ව මරන්න කියයි (6-19)

  • අබියාතර් බේරෙයි (20-23)

22  දාවිත් එතනින් පලා ගිහින්+ අදුල්ලාම්වල+ තියෙන ගුහාව ළඟට ආවා. ඒ ගැන ආරංචි වුණාම එයාගේ අයියලයි, එයාගේ තාත්තාගේ පවුලේ හැමෝමයි එයාව හම්බ වෙන්න එතනට ගියා.  ඒ වගේම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්න, ණය බරින් මිරිකිලා හිටිය සහ හොඳටම කලකිරිලා හිටිය අයත් දාවිත්ට එකතු වුණා. එයා ළඟට පුරුෂයන් 400ක් විතර ආවා. එයාලාගේ නායකයා විදිහට වැඩ කළේ දාවිත්.  ටික දවසකට පස්සේ දාවිත් මෝවබ්+ දේශයේ මිෂ්පේ කියන තැනට ගිහින් මෝවබ්වල රජව හම්බ වෙලා මෙහෙම කිව්වා. “දෙවියන් මට මොනවාද කියන්නේ කියලා දැනගන්න කල් ටික දවසකට මගේ අම්මාවයි, තාත්තාවයි ඔයාලා ළඟ නවත්තගන්න පුළුවන්ද?”  ඉතින් දාවිත් එයාගේ දෙමාපියන්ව මෝවබ් රජ ළඟට එක්කන් ගියා. දාවිත් කඳුකරයේ* හැංගිලා හිටිය කාලය පුරාම එයාගේ දෙමාපියන් හිටියේ මෝවබ් රජගේ දේශයේ.+  ඔය අතරේ අනාගතවක්තෘවරයෙක් වුණ ගාද්+ දාවිත්ට කිව්වා “දිගටම කඳුකරයේ හැංගිලා ඉන්න එපා. ඔයා දැන් යූදා දේශයට යන්න”+ කියලා. ඉතින් දාවිත් එයා හිටපු තැනින් පිට වෙලා හෙරෙත් කියන කැලෑවට ගියා.  ගිබෙයාවල+ කන්දක කිහිරි ගහක්* යට ඉඳගෙන ඉද්දී සාවුල්ට ආරංචි වුණා දාවිත්වයි, එයාත් එක්ක හිටපු අයවයි හොයාගත්තා කියලා. ඒ වෙලාවේ සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබුණා. එයාගේ සේවකයන් හැමෝමත් එයාත් එක්ක හිටියා.  සාවුල් එයාලට මෙහෙම කිව්වා. “බෙන්ජමින්වරුනි, මම දැන් කියන දේ අහන්න. යෙස්සේගේ+ පුතාට පුළුවන්ද මං වගේ ඔයාලා හැමෝටම කෙත්වතුයි, මිදිවතුයි දෙන්න? සෙබළු දාහක් නැත්නම් සීයක් ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන් විදිහට එයා ඔයාලව පත් කරයි කියලා හිතනවාද?+  ඔයාලා හැමෝම මට විරුද්ධව කුමන්ත්‍රණය කළා. මගේම පුතා යෙස්සේගේ පුතා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා+ කියලා කවුරුත්ම මට කිව්වේ නැහැ. මඟ රැකගෙන ඉඳලා මට පහර දෙන්න මගේ සේවකයාට මගේම පුතා උදව් කරනවා. ඔයාලා හැමෝම ඒක මගෙන් හැංගුවා. කිසි කෙනෙක්ට මං ගැන අනුකම්පාවක් නැහැ.”  සාවුල් රජගේ සේවකයන්ගේ ප්‍රධානියෙක් වුණ ඒදොම් ජාතික දොවෙග්+ ඒ වෙලාවේ එතන හිටියා. එයා සාවුල්ට මෙහෙම කිව්වා.+ “යෙස්සේගේ පුතා නොබ්වලට ඇවිත් ඉන්නවා මං දැක්කා. එයා අහිතුබ්ගේ පුතා අහිමෙලෙක්ව+ හම්බ වෙන්න ආවා. 10  අහිමෙලෙක් දාවිත් වෙනුවෙන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා එයාට කන්න දුන්නා. ඒ විතරක් නෙමේ දාවිත්ට ගොලියත්ගේ කඩුවත් දුන්නා.”+ 11  රජ ඒ වෙලාවෙම සේවකයන්ට අණ කළා නොබ්වල හිටිය අහිතුබ්ගේ පුතා වුණ අහිමෙලෙක්වයි, එයාගේ තාත්තාගේ පවුලට අයිති පූජකයන්වයි එතනට එක්කන් එන්න කියලා. පස්සේ ඒ හැමෝම රජ ඉස්සරහට ආවා. 12  සාවුල් රජ “ඔයා අහිතුබ්ගේ පුතා නේද? මේක හොඳට අහගන්න” කියලා අහිමෙලෙක්ට කිව්වා. එතකොට අහිමෙලෙක් කිව්වා “මගේ ස්වාමීනි කියන්න, මං අහගෙනයි ඉන්නේ” කියලා. 13  සාවුල් එයාට මෙහෙම කිව්වා. “ඇයි ඔයා යෙස්සේගේ පුතා එක්ක එකතු වෙලා මට විරුද්ධව කුමන්ත්‍රණය කළේ? ඔයා එයාට කෑමයි, කඩුවකුයි දුන්නා. ඒ මදිවට එයා වෙනුවෙන් දෙවියන්ගෙන් මඟ පෙන්වීමුත් පැතුවා. දැන් එයා මාව අල්ලගන්න මඟ රැකගෙන ඉන්නවා.” 14  එතකොට අහිමෙලෙක් මෙහෙම කිව්වා. “ඔබතුමාගේ සේවකයන් අතරේ දාවිත් තරම් විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවාද?+ එයා ඔබේම බෑනා.+ ඔබේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා. එයා ඔබේ නිවසේ ඉන්න හැමෝගෙම ගෞරවය දිනාගෙනත් තියෙනවා.+ 15  මම එයා වෙනුවෙන් දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න පටන්ගත්තේ අද ඊයේ නෙමෙයි.+ අනේ මගේ ස්වාමීනි, ඔබ කියන මේ කිසිම දෙයක් ගැන මම කලින් දැනගෙන හිටියේ නැහැ.+ මම ඔබතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා තියා එහෙම දෙයක් ගැන හිතලවත් නැහැ. අනේ, ඔබේ සේවකයා වන මටවත් මගේ පවුලේ අයටවත් විරුද්ධව ඒ වගේ චෝදනාවක් නම් එල්ල කරන්න එපා.” 16  ඒත් රජ “මම උඹවයි, උඹේ තාත්තාගේ පවුලේ ඉන්න හැමෝවමයි+ මරලා දානවා”+ කියලා අහිමෙලෙක්ට කිව්වා. 17  ඊටපස්සේ රජ එතන හිටපු ආරක්ෂක නිලධාරීන්ට මෙහෙම කිව්වා. “මෙතන ඉන්න යෙහෝවාගේ පූජකයන්ව මරලා දාන්න. එයාලා හැමෝම ඉන්නේ දාවිත්ගේ පැත්තේ. දාවිත් පැනලා යනවා කියලා දැනදැනත් මට ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ.” ඒත් රජගේ සේවකයෝ යෙහෝවා දෙවියන්ගේ පූජකයන්ට විරුද්ධව අත උස්සන්න කැමති වුණේ නැහැ. 18  ඒ නිසා රජ “මේ පූජකයන්ව මරලා දාන්න” කියලා දොවෙග්ට+ අණ කළා. ඒක කිව්ව ගමන්ම ඒදොම් ජාතික+ දොවෙග් පූජකයන්ට පහර දීලා එයාලව මරලා දැම්මා. ලිනන් රෙදිවලින් මහපු ඒෆොද් ඇඳුම්+ ඇඳගෙන හිටිය පූජකයන් 85දෙනෙක්ව එදා එයා මරලා දැම්මා. 19  ඒ වගේම එයා ඒ පූජකයන්ගේ නගරය වන නොබ්වලට+ ගිහින් ඒකට පහර දීලා එහේ හිටපු පුරුෂයන්ව, ස්ත්‍රීන්ව, දරුවන්ව, කිරි දරුවන්ව, ගවයන්ව, බූරුවන්ව, බැටළුවන්ව කඩුවෙන් මරලා දැම්මා. 20  ඒත් අහිතුබ්ගේ පුතා වුණ අහිමෙලෙක්ගේ එක පුතෙක් බේරුණා. එයාගේ නම අබියාතර්.+ එයා එතනින් බේරිලා දාවිත් ළඟට ගියා. 21  එයා දාවිත් ළඟට ඇවිත් “සාවුල් යෙහෝවාගේ පූජකයන්ව මරලා දැම්මා” කියලා දාවිත්ට කිව්වා. 22  ඒක අහලා දාවිත් මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තාගේ පවුලේ හැම කෙනෙක්ගෙම මරණයට වග කියන්න ඕනෙ මමයි. එදා පූජකයා ළඟට ගිය වෙලාවේ ඒදොම් ජාතික දොවෙග් එතන ඉන්නවා මං දැක්කා. මට ඒ වෙලාවෙම හිතුණා+ එයා මං ආපු එක ගැන සාවුල්ගේ කනේ තියයි කියලා. 23  ඔයා බය වෙන්න එපා. කවුරු හරි කෙනෙක් ඔයාව මරන්න හදනවා කියන්නේ එයා මාවත් මරන්න හදනවා කියන එකයි. ඔයා මං එක්කම ඉන්න. මං ඔයාව ආරක්ෂා කරන්නම්.”+

පාදසටහන්

හෝ, “ආරක්ෂිත තැන්වල.”
මූ.අ., “ටැමරිස්ක් ගහක්.”