පළවෙනි සාමුවෙල් 27:1-12

  • පිලිස්තිවරු දාවිත්ට ෂික්ලග් නගරයේ ජීවත් වෙන්න ඉඩ දෙයි (1-12)

27  ඒත් දාවිත් මෙහෙම හිතුවා. “මං දන්නවා කොයි වෙලාවක හරි සාවුල් මාව මරලා දානවා. හොඳම දේ තමයි පිලිස්තිවරුන්ගේ දේශයට පලා යන එක.+ මං ඊශ්‍රායෙල්වලින් පලා ගිහින් කියලා සාවුල් දැනගත්තාම එයා මාව හොයන එක අත්හැරලා දායි.”+  ඉතින් දාවිත් එයාත් එක්ක හිටපු මිනිස්සු 600දෙනා+ එක්ක ගාත්වල රජ වන ආකිෂ්+ ළඟට ගියා. ආකිෂ් මායොක්ගේ පුතා.  දාවිත් දිගටම ගාත්වල රජ වුණ ආකිෂ් ළඟ ජීවත් වුණා. දාවිත් එක්ක එයාගේ භාර්යාවන් දෙන්නාත් හිටියා. එක් කෙනෙක් යෙෂ්‍රෙයෙල්වල අහිනොවම්.+ අනිත් කෙනා අබිගායිල්.+ අබිගායිල් කලින් විවාහ වෙලා හිටියේ කර්මෙල්වල නාබල් එක්ක. දාවිත් එක්ක ගිය අනිත් පුරුෂයොත් එයාලාගේ පවුල් එක්ක එහේ ජීවත් වුණා.  දාවිත් ගාත්වලට පලා ගිහින් කියලා සාවුල්ට ආරංචි වුණාම එයා දාවිත් පස්සේ පන්නන එක අත්හැරලා දැම්මා.+  දවසක් දාවිත් ආකිෂ් රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මං ඔබත් එක්ක මේ රාජකීය නුවරේ ජීවත් වෙන එක එච්චර සුදුසු නැහැ. ඔබ මං ගැන සතුටුයි නම් ගම්බද පැත්තකට ගිහින් ජීවත් වෙන්න මට අවසර දෙන්න.”  එදා ආකිෂ් රජ දාවිත්ට ෂික්ලග්+ නගරයේ ජීවත් වෙන්න අවසර දුන්නා. ෂික්ලග් නගරය මේ වෙන කල්ම යූදා රජවරුන්ට අයිති වෙන්නේ ඒ නිසයි.  දාවිත් පිලිස්තිවරුන්ට අයිති ඒ ගම්බද පළාතේ අවුරුද්දකුත් මාස හතරක් ජීවත් වුණා.+  සමහර දවස්වලදී දාවිත් සහ එයාත් එක්ක හිටපු පුරුෂයන් ගෙෂූර්වරුන්ටයි,+ ගිර්ෂිවරුන්ටයි, අමලෙක්වරුන්ටයි+ විරුද්ධව සටනට ගියා. මොකද ඒ ජාතීන් ජීවත් වුණේ තේලාම් ඉඳන් ෂුර්+ දක්වාත් ඊජිප්තුව දක්වාත් තියෙන ප්‍රදේශයේ.  දාවිත් ඒ ජාතීන්ට පහර දීලා එයාලාගේ ඇඳුම් පැලඳුම්, එළු බැටළු රැළවල්, ගව රැළවල්, ඔටුවන් සහ බූරුවන්ව පැහැරගත්තා. ඒත් එයා ඒ තැන්වල හිටපු පුරුෂයන් සහ ස්ත්‍රීන් හැමෝවම මරලා දැම්මා.+ එහෙම කරලා දාවිත් ආයෙත් ආකිෂ් රජ ළඟට ගියා. 10  ඒ වගේ වෙලාවලදී ආකිෂ් රජ “අද ඔයා මේ දේවල් පැහැරගත්තේ කාගෙන්ද” කියලා ඇහුවා. එතකොට දාවිත් “යූදාවලට දකුණු පැත්තේ*+ ඉන්න අයගෙන්” නැත්තම් “යෙරාමෙයෙල්වරුන්ගේ+ දේශයට දකුණින් ඉන්න අයගෙන්” එහෙමත් නැත්නම් “කේනිවරුන්ගේ+ දේශයට දකුණින් ඉන්න අයගෙන්” කියලා කිව්වා. 11  දාවිත් එයා පහර දුන්න ප්‍රදේශවල හිටපු කිසිම පුරුෂයෙක්වත් ස්ත්‍රියක්වත් ගාත්වලට එක්කන් ආවේ නැහැ. ඒ හැමෝවම එයා මරලා දැම්මා. මොකද දාවිත් මෙහෙම කිව්වා. “අපි එයාලව ගාත්වලට අරන් ආවොත් ‘දාවිත් අපිට මෙහෙම කළා’ කියකිය එයාලා අපිව පාවලා දෙයි.” (දාවිත් පිලිස්තිවරුන්ගේ ගම්බද පළාතේ ජීවත් වුණ කාලේ පුරාම ඒ විදිහට කළා.) 12  ආකිෂ් රජත් දාවිත් කියපු දේ විශ්වාස කළා. එයා මෙහෙම හිතුවා “දැන් ඊශ්‍රායෙල්වරු අනිවාර්යයෙන්ම දාවිත්ට වෛර කරනවා ඇති. ඒ නිසා එයා හැමදාටම මගේ සේවකයෙක් විදිහට ඉඳියි.”

පාදසටහන්

හෝ, “නෙගෙබ් පළාතේ.”