දෙවෙනි කොරින්ති 11:1-33

  • පාවුල් සහ සුපිරි නියෝජිතයන් (1-15)

  • නියෝජිතයෙක් විදිහට පාවුල් මූණ දීපු දුෂ්කරතා (16-33)

11  මං කියන්න යන දේවල් විකාර කතා කියලා ඔයාලට හිතෙයි. ඒත් මං කැමතියි ඔයාලා මං කියන දේවල් අහන් ඉන්නවාට. දැනටමත් ඔයාලා එහෙම කරනවා කියලා මං දන්නවා.  ඇත්තටම දෙවියන්ට ඔයාලා ගැන තියෙනවා වගේ සැලකිල්ලක් මටත් ඔයාලා ගැන තියෙනවා. මං පොරොන්දු වුණේ ඔයාලව එක පුරුෂයෙක්ට විවාහ කරලා දෙනවා කියලයි. මට ඕනෙ වුණේ නිර්මල යුවතියක්* විදිහට ඔයාලව ක්‍රිස්තුස්ට භාර දෙන්නයි.+  ඒත් මට ලොකු බයක් තියෙනවා සර්පයා හරිම කපටි විදිහට ඒවව අල්ලගත්තා+ වගේ කවුරු හරි ඔයාලවත් අල්ලගෙන ඔයාලාගේ සිතුවිලි දූෂ්‍ය කරයි කියලා. එහෙම වුණොත් ඔයාලා අවිශ්වාසවන්ත, අපවිත්‍ර ජීවිතයක් ගත කරන අය වෙයි. ඒත් ක්‍රිස්තුස්ට අයිති අය විශ්වාසවන්ත, පිරිසිදු අය වෙන්න ඕනේ.+  මට ඔයාලා ගැන බයක් තියෙනවා කියලා කිව්වේ, කෙනෙක් ඇවිත් අපි ඔයාලට දේශනා කරපු යේසුස් ගැන නෙමෙයි වෙන යේසුස් කෙනෙක් ගැන දේශනා කළොත් ඔයාලා ඒක හරිම ඉක්මනින් පිළිගන්න නිසයි. ඔයාලාගේ සිතුවිලිවලට මඟ පෙන්නපු බලයට වඩා වෙනස් බලයක් ඔයාලට මඟ පෙන්වීම් දුන්නොත් ඔයාලා ඒක පිළිගන්න නිසයි. ඒ වගේම ඔයාලා පිළිගත්ත ශුභාරංචියට වඩා වෙනස් ශුභාරංචියක්+ දේශනා කළොත් ඔයාලා ඒකත් පිළිගන්න නිසයි.  මං දන්නවා ඔයාලාගේ සුපිරි නියෝජිතයන්ට වඩා මං කිසිම විදිහකින් පහත් කියලා කියන්න එක හේතුවක්වත් නැහැ කියලා.+  මං කතා කරන්න දක්ෂ කෙනෙක් නෙමෙයි වුණත්+ මට දැනුමෙන් නම් කිසිම අඩුවක් නැහැ. ඒක ඇත්තක් කියලා අපි හැම පැත්තෙන්ම ඔයාලට පැහැදිලිව පෙන්නලා තියෙනවා.  ඔයාලාගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැතුව+ මං දෙවියන් ගැන ශුභාරංචිය හරිම සතුටින් ඔයාලට දේශනා කළා. ඔයාලට ගෞරවය ලැබෙන්න ඕනෙ නිසා මං යටහත්ව සේවය කළා. එහෙම කරපු එක වැරදිද?  ඇත්තටම මට අවශ්‍ය දේවල්* මං අනිත් සභාවලින් ලබාගෙන* තමයි ඔයාලා වෙනුවෙන් සේවය කළේ.+  ඔයාලා එක්ක ඉද්දී මට අගහිඟකම් ඇති වුණාම මං ඔයාලාගෙන් කාටවත් බරක් වුණේ නැහැ. මොකද මැසිඩෝනියාවේ ඉඳන් ආපු සහෝදරයෝ මට අවශ්‍ය දේවල් කිසිම අඩුවක් නැතුව දුන්නා.+ ඔයාලට බරක් වෙන්නේ නැතුව ඉන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම මං කළා. ඉස්සරහටත් ඒක එහෙමයි.+ 10  මං ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වෙලා ඉන්න තාක් කල් මේ ගැන ආඩම්බරයෙන් කතා කරන එක නතර කරන්නේ නැහැ.+ ඒක මං ඇකේයා ප්‍රදේශය පුරාම කරනවා. 11  මං ඔයාලට බරක් වුණේ නැත්තේ ඇයි? ඔයාලට ආදරේ නැති නිසාද? මං ඔයාලට කොච්චර ආදරෙයිද කියලා දෙවියන් දන්නවා. 12  මහ ඉහළින් කතා කරන සමහරු කියනවා එයාලත් අපි වගේ නියෝජිතයන් කියලා. ඉතින් මං මේ වෙන කල් කරපු දේවල් මං ඒ විදිහටම කරනවා.+ එතකොට එයාලට මහ ඉහළින් කතා කරන්න දෙයක්* නැති වෙයි. 13  එයාලා බොරු නියෝජිතයෝ. එයාලා අනිත් අයව රවට්ටන්න දේවල් කරනවා. ක්‍රිස්තුස්ගේ නියෝජිතයන් විදිහට මවාපානවා.+ 14  ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද සාතනුත් තමන් ආලෝකය ලබා දෙන දේවදූතයෙක් විදිහට මවාපානවා.+ 15  ඉතින් එයාගේ සේවකයොත් හරි දේ කරනවා වගේ මවාපාද්දී ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් එයාලා කරන දේවල්වල ප්‍රතිඵල අන්තිමට එයාලට ලැබෙනවා.+ 16  මං ආයෙත් සැරයක් මේ දේ ඔයාලට කියනවා. මං කියන්නේ විකාර දේවල් කියලා හිතන්න එපා. මං කියවන්නේ විකාර කියලා ඔයාලා හිතුවත් මං ගැන ඉවසන්න. එතකොට එයාලා වගේ මටත් පුළුවන් ටිකක් ආඩම්බරයෙන් කතා කරන්න. 17  දැන් මං කතා කරන්න යන්නේ ස්වාමීන්ව ආදර්ශයට ගන්න කෙනෙක් වගේ නෙමෙයි විකාර කියවන කෙනෙක් වගේ. තමන් ගැන විශ්වාසය තියලා හරිම ආඩම්බරයෙන් කතා කරන කෙනෙක් වගේ. 18  හුඟදෙනෙක් මහ ඉහළින් කතා කරන්නේ ලෝකේ මිනිස්සු වැදගත් කියලා සලකන දේවල් ගැන. ඉතින් මාත් ඒවා ගැනම කතා කරනවා. 19  ඔයාලා හරිම බුද්ධිමත්! ඒකයි කිසිම තේරුමක් නැති දේවල් කරන අය එක්ක ඔයාලා හොඳට පෑහිලා ඉන්නේ. 20  ඔයාලා ඔයාලව පාලනය කරන, ඔයාලට තියෙන හැම දෙයක්ම හූරං කන, ඔයාලට වඩා උඩින් ඉන්න හදන, ඔයාලාගේ කම්මුලට ගහන අයගේ වැඩ ඉවසනවා. 21  ඒ ගැන කියන්නත් අපිට ලැජ්ජයි. ඒත් මං ඒක කියනවා. මොකද ඔයාලාගෙන් සමහරදෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට තියෙන අධිකාරිය පාවිච්චි කරන්න අපි බයයි කියලා. සමහරුන්ට ආඩම්බරයෙන් කතා කරන්න කිසිම ලැජ්ජාවක් නැහැ. එහෙමනම් මමත් ආඩම්බරයෙන් කතා කරන්න ලැජ්ජා වෙන්නේ නැහැ. මං විකාර කියවනවා කියලා හිතුවත් මං එහෙම කරනවා. 22  එයාලා හෙබ්‍රෙව් ජාතිකයන්ද? මාත් එහෙමයි.+ එයාලා ඊශ්‍රායෙල්වරුන්ද? මාත් එහෙමයි. එයාලා ආබ්‍රහම්ගෙන් පැවතෙන අයද? මාත් එහෙමයි.+ 23  එයාලා ක්‍රිස්තුස්ගේ සේවකයන්ද? පිස්සු හැදුණ කෙනෙක් වගේ මං කෑගහලා කියන්නේ මං එයාලට වඩා කැපීපේන විදිහට ක්‍රිස්තුස්ගේ සේවකයෙක් කියලා ඔප්පු කරලා තියෙනවා කියලා. මං එයාලට වඩා වැඩියෙන් සේවය කරලා තියෙනවා.+ එයාලට වඩා වැඩි වාර ගාණක් හිරේ ඉඳලා තියෙනවා.+ ගණන් කරන්න බැරි තරමට ගුටි කාලා තියෙනවා. මරණය ළඟටම ගිය අවස්ථා සෑහෙන්න තියෙනවා.+ 24  පහරවල් 39 ගාණේ මං පස් වතාවක් යුදෙව්වන් අතින් පහර කෑවා.+ 25  තුන් පාරක් මං කෝටුවලින් ගුටි කෑවා.+ එක පාරක් මට ගල් ගැහුවා.+ මං ගිය නැව් තුන් වතාවක්ම මුහුදුබත් වුණා.+ මම මහ මුහුදේ මුළු රැයකුත් දවාලකුත් හිටියා. 26  මම නිතරම දුර ගමන් ගියා. මං ගංගා හරහා යද්දී එන දුෂ්කරතාවලට, මංකොල්ලකාරයන්ගේ අනතුරුවලට, මගේම සෙනඟගෙන් ආපු කරදරවලට,+ වෙනත් ජාතීන්ට අයිති අයගෙන් ආපු කරදරවලට+ මූණ දුන්නා. නගරවලදීත්+ පාළු පැතිවලදීත් මුහුදේදීත් වෙන අනතුරුවලට මූණ දෙන්න මට සිද්ධ වුණා. සහෝදරයන් කියලා මවාපාන අයගෙන් ආපු ප්‍රශ්නවලටත් මං මූණ දුන්නා. 27  මම දාඩිය මහන්සියෙන් සේවය කළා. නිතරම නිදි මැරුවා.+ බඩගින්නෙන්, තිබහෙන් හිටියා.+ කන්න නැතුව+ හිටපු අවස්ථා ගොඩක් තියෙනවා. සීතලේ, හරි හමං ඇඳුමක්වත් නැතුව මං ඉඳලා තියෙනවා. 28  ඒ දේවල් විතරක් නෙමෙයි හැම සභාවක් ගැනම හිතද්දී මගේ හිතට ලොකු බරක් දැනෙනවා.+ ඒ බර මට හැම දවසකම දැනෙනවා. 29  කෙනෙක් දුර්වල වෙද්දී ඒක මට වේදනාවක් නෙමෙයිද? කෙනෙක් වැටිලා යද්දී ඒ ගැන මට කේන්තියක් දැනෙන්නේ නැද්ද? 30  මට ආඩම්බරයෙන් කතා කරන්නම වෙනවා නම් මං දුර්වලයි කියලා පෙන්නන දේවල් ගැන කතා කරන්නම්. 31  මං කියන්නේ බොරු නෙමෙයි කියලා ස්වාමීන් වන යේසුස්ගේ තාත්තා ඒ කියන්නේ දෙවියන් දන්නවා. හැමදාටම ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ තැනැත්තා ඔහුයි. 32  මං දමස්කයේ ඉද්දී අරෙතස් රජ යටතේ සේවය කරපු ආණ්ඩුකාරයා මාව අල්ලගන්න ඒ නගරයේ දොරටු ළඟ මුරකාරයන්ව තිබ්බා. 33  ඒත් සහෝදරයන් මාව ලොකු කූඩයක* දාලා පවුරේ තිබ්බ කවුළුවකින් පහළට බැස්සුවා.+ ඒ නිසා මට එයාගේ අතින් බේරෙන්න පුළුවන් වුණා.

පාදසටහන්

මූ.අ., “කන්‍යාවක්.”
මූ.අ., “හොරකම් කරලා.”
හෝ, “අවශ්‍ය උදව්.”
හෝ, “පදනමක්.”
හෝ, “පන් කූඩයක.”